යුරෝපා පාපන්දු පිටියේ වත්මන් ශූරයන් සොයා යන “Euro 2020” තරගාවලියේ කණ්ඩායම් 16 වටයේ අවසන් තරග ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (29) රාත්‍රියේ සහ අද (30) උදෑසන පැවැත්වුනා.
එම තරගවලින් ජර්මනිය සහ ස්වීඩනය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ යුක්‍රේනයට හැකි වුනා.
England v Germany
එංගලන්තයේ සත්කාරකත්වයෙන් Wembley ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජර්මනිය පරදවා ජයග්‍රහණය කිරීමට සත්කාරකයන්ට හැකි වුනා.
සිය කාණ්ඩයේ පෙරමුණ ගනිමින් තරගයට පිවිසි එංගලන්තය තරගය ආරම්භයේ සිටම ප්‍රබල අභියෝගයක් ප්‍රතිවාදීන්ට එල්ල කිරීමට සමත් වූවත් 16 වැනි මිනිත්තුවේ දී Raheem Sterling එල්ල කළ පහරක් ඉතා දක්ෂ ලෙස නවතාලීමට ජර්මානු ගෝල රකින ක්‍රීඩක Manuel Neuer සමත් වුනා.
34 වැනි මිනිත්තුවේ දී ජර්මානු ක්‍රීඩක Timo Werner ගෝලයේ මැද කොටසට එල්ල කළ පහරක් වැළැක්වීමට එංගලන්ත ගෝල රකින්නා සමත් වීම නිසා පළමු අර්ධය ගෝල රහිතව අවසන් කිරීමට සිදු වුනා.

තරගයේ 75 වැනි මිනිත්තුවේ දී Luke Shaw ලබා දුන් අගනා පන්දුවක් දඬුවම් රාමුවේ සිට ගෝලය තුළට එල්ල කරමින් තරගයේ පළමු ගෝලය රැස්කිරීමට එංගලන්ත ක්‍රීඩක Raheem Sterling සමත් වුනේ ජර්මානු ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් ගෙන දෙමින්.
Kai Havertz ලබා දුන් පන්දුවක් ගෝල රාමුව අසලට ගෙනවිත් එංගලන්ත ගෝල රකින්නා පසුකරමින් ගෝලය දෙසට එල්ල කිරීමට Thomas Muller සමත්වූවත් එය ගෝලයේ වම් රාමුව අසලින් ක්‍රීඩා පිටියට ඇදී ගියේ ජර්මානු ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු ද සුන් කරමිනි.

අර්ධ අවසන් පූර්ව වටයේ දී එංගලන්තය යුක්‍රේනය සමඟින් ජූලි 04 වැනිදා තරග වැදීමට නියමිතයි.
අවසන් ලකුණු තත්වය: එංගලන්තය 2 – 0 ජර්මනිය
ගෝල ලාභීන්:
- එංගලන්තය: Raheem Sterling 75’, Harry Kane 86’
Sweden v Ukraine
අමතර අතිරේක කාලයක් දක්වා ගිය මෙම තරගය ගෝල 2-1ක් ලෙස තියුණු සටනකින් පසුව ජය ගැනීමට යුක්‍රේන ක්‍රීඩකයන් සමත් වුනා.
ස්කොට්ලන්තයේ Hampden Park ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු ගෝලය රැස්කිරීමට යුක්‍රේන ක්‍රීඩක Oleksandr Zinchenko සමත් වුනේ තරගයේ 27 වැනි මිනිත්තුවේ දීයි. Andriy Yarmolenko ලබා දුන් පන්දුවක් දඬුවම් රාමුවේ වම් කෙළවරේ සිට ගෝලයට එල්ල කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දීමට Zinchenkoට හැකි වුනා.

තියුණු පළමු අර්ධයකින් පසු දෙවැනි අර්ධයට පිවිසි ස්වීඩන් ක්‍රීඩක Emil Forsberg එල්ල කළ අලංකාර පහරක් ගෝලයේ වම් රාමුවේ වැදී ක්‍රීඩා පිටියෙන් ඉවතට ඇදී ගියේ Emil Forsberg ද පුදුමයට පත් කරමිනි.
එම අර්ධය තුළ දී ස්වීඩන් ක්‍රීඩකයන් විසින් ප්‍රබල අභියෝගයක් යුක්‍රේන ක්‍රීඩකයන්ට ලබා දුන් නමුත් කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වීම නිසා ගෝල 1-1ක් ලෙස තරගයේ මුළු කාලය අවසන් වීම නිසා අතිරේක අමතර කාලයක් ලබා දීමට සිදු වුනා.
අමතර කාලය ආරම්භ වී කෙටි වේලාවක් තුළ එනම් 98’ වැනි මිනිත්තුවේ දී ස්වීඩන් ක්‍රීඩක Marcus Danielson සිදු කළ අනතුරුදායක වැළැක්වීමක් නිසා ඔහුට රතු කාඩ්පතක් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළා.
එම නිසාවෙන් අමතර අතිරේක කාලය ක්‍රීඩකයන් දස දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට ස්වීඩනයට සිදු වූ අතර එයින් උපරිම වාසි ලබා ගත් යුක්‍රේන ක්‍රීඩක Artem Dovbyk තරගයේ ජයග්‍රාහී ගෝලය රැස්කිරීමට සමත් වුනේ අවසන් ආබාධ කාලය තුළයි.

ඒ අනුව යුක්‍රේනය ජූලි 04 වැනිදා ප්‍රබල එංගලන්තය සමඟින් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට සහභාගී වීමට නියමිතව ඇත.
අවසන් ලකුණු තත්වය: ස්වීඩනය 1 – 2 යුක්‍රේනයට
ගෝල ලාභීන්:
- ස්වීඩනය: Emil Forsberg 43’
- යුක්‍රේනය: Oleksandr Zinchenko 27’, Artem Dovbyk 120+1
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග සිකුරාදා (02) ආරම්භ වීමට නියමිතව ඇත. එම තරගවල තොරතුරු සඳහාත් රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<





















