යෙවාන් ඩේවිඩ්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

151

ජාත්‍යන්තර Karting තරගාවලියක දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම දස්කම වාර්තා කිරීමට 13 හැවිරිදි ශ්‍රී ලංකා ක්‍රීඩක යෙවාන් ඩේවිඩ් සමත් වුනා. ඒ බෙල්ජියමේ පැවති Karting තරගාවලියක දීයි. 

යෙවාන් ඩේවිඩ් සිංගප්පූරුවේ ජීවත් වන අතර ඔහු මෙම තරගාවලිය සඳහා සහභාගී වුනේ Forza Racing කණ්ඩායම නියෝජනය කරමින්. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලෙසින්. 

යෙවාන් ඩේවිඩ් සුදුසුකම් ලැබීමේ වටයේ සිව්වන තරගයේ දී පළමු ස්ථානයට පත්වීමෙන් අනතුරුව

ඔහු බෙල්ජියමේ පැවති Champions of the Future 2021 තරගාවලිය සඳහා සහභාගී වූ අතර එහිදී සුදුසුකම් ලැබීමේ වටයේ ධාවන තරග 5ක් පැවැත්වුනා. යෙවාන් ඩේවිඩ් එම එක් තරගයක දී පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වුනා.  

මෙම Champions of the Future තරගාවලිය පැවැත්වෙන්නේ අප්‍රේල් මස 01 වනදා සිට 04 වන දක්වා වන අතර එළඹෙන සතියේ දී European Karting Championship තරගාවලිය පැවැත්වීමට නියමිත Genk හිදීයි. 

මෙම තරගාවලිය සඳහා යෙවාන් ඩේවිඩ් OK Junior කාණ්ඩය යටතේ සහභාගී වුනා. ඒ සඳහා ලොව සෑම රටක්ම පාහේ නියෝජනය කරමින් තරගකරුවන් 92ක් සහභාගී වී සිටියා. යෙවාන් සමස්ත තරගාවලිය තුළ 15 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් වුනා. ඉන් අනතුරුව ඔහු අවසන් පූර්ව වටය සහ අවසන් වටය සඳහා ද සුදුසුකම් ලබාගැනීමටත් සමත් වීම විශේෂත්වයක්. 

මූලික වටයේ දී 15 වන ස්ථානය හිමිකර ගෙන සිටි ඔහු අවසන් වටයේ දීත් සිය ස්ථානය රඳවා ගැනීමට සමත් වුනේ සෙසු ක්‍රීඩකයන්ගේ අභියෝගයන්ට මනා ලෙස මුහුණ දෙමින්. අවසන් වටයේ දී ඔහු 15 වන ස්ථානය දිනාගත්තේ ක්‍රීඩකයන් 35ක් අතුරින්. 

තරගාවලියේ අවසන් ලකුණු සටහන

මූලික වටයේ දී සුදුසුකම් ලැබීමේ ධාවන තරග 5ක් පැවති අතර එහි සිව්වන තරගයේ දී පළමු ස්ථානය දිනාගැනීමට යෙවාන් සමත් වුනේ ජාත්‍යන්තර Karting තරගාවලියක දී පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමින්. 

සුදුසුකම් ලැබීමේ ධාවන තරග 5 තුළදී යෙවාන් පිළිවෙලින් 6 වන ස්ථානය, 7 වන ස්ථානය, 8 වන ස්ථානය, පළමු ස්ථානය සහ 14 වන ස්ථානය දිනාගැනීමට සමත් වුනා. අවසන් පූර්ව වටයේ ඔහු 16 වන ස්ථානය දිනාගැනීමට සමත් වුනා. 

යෙවාන් ඩේවිඩ් තරගාවලිය අතරතුර

අවසන් පූර්ව වටයේ දී යෙවාන් තරමක කල්පනාකාරී සහ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසයක් අනුගමනය කරනු දක්නට ලැබුනා. එම වටය ඔහු නිමාකළේ 15 වන ස්ථානය ලබාගනිමින්.

තරගාවලියේ අවසන් තරගය එදිනම සවස පැවැත්වුනා. එහිදී යෙවාන් තරගාවලිය නිමා කළේ සමස්ථ තරගාවලිය තුළ 15 වන ස්ථානය දිනාගනිමින්. 

OK Junior Class Championship තරගාවලියේ ශූරතාවය එක්සත් රාජධානිය නියෝජනය කළ Freddie Slater හට හිමි වූ අතර දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් Harry Keeble සහ Sony Smith විසින් දිනාගත්තා. 

තරගයෙන් අනතුරුව යෙවාන් ඩේවිඩ්ගේ පියා වන යොහාන් ඩේවිඩ් ThePapare.com සමඟින් විශේෂ සාකච්ඡාවකට එක්වුනා. 

“අපි ගොඩක් ආඩම්බර වෙනවා යොවාන්ගේ දක්ෂතාවය ගැන. විශේෂයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම පිළිබඳව. මේක ඔහුගේ ජීවිතයේ ඉතාමත් වැදගත් සංධිස්ථානයක් වේවි. Europe තරගාවලියක ජයග්‍රහණයක් ලබාගැනීම ඇත්තෙන්ම හීනයක්. අපි ඒක මේ තරම් ඉක්මණින් කරන්න පුළුවන් වේවි කියලා හිතුවේ නැහැ. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉදිරි තරගාවලි සඳහා සහභාගී වෙලා ශ්‍රී ලංකා ධජය ඉහළින්ම ඔසවා තබන්න.” 

2018 වසරේ දී බංඩාරගම Karting ධාවන පථයේ පැවති X30 Asia Cup Karting තරගාවලියේ දීද කැපී පෙනෙන දස්කම් දැක්වීමට යෙවාන් සහ ඔහුගේ සහෝදරයන් දෙදෙනා වන යෙවින් ඩේවිඩ් සහ යනික් ඩේවිඩ් සමත් වුනා. එහිදී ඔවුන් නියෝජනය කළේ Cadet (වයස අවුරුදු 8-14) කාණ්ඩයයි. 

2018 වසරේ දී යෙවාන් ඩේවිඩ් සහභාගී වූ X30 Asia Cup තරගාවලියේ අවසන් තරගය –  

ඩේවිඩ් පවුලේ වැඩිමල් සහෝදරයා වන යෙවාන් ඩේවිඩ් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි වලදී දස්කම් දැක්වීමට සමත්වීම සැබැවින්ම ආඩම්බරයකි. 

ThePapare.com අපි ඔහුගේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවායි මෙලෙස ප්‍රාර්ථනා කර සිටින්නෙමු. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<