දියාරු පිතිකරණය තවත් ජයග්‍රහණ සිහිනයක් බොඳකර දමයි

1939

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ අද (06) ජය ගන්නට තිබූ තරගයක් ලැජ්ජා සහගත පරාජයකින් කෙලවර කළහ. ඒ අනුව ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ තරග 2ක් නිමාවන විට 2 – 0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ සත්කාරක දකුණු අප්‍රිකාවයි. සෙන්චූරියන් හිදී පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිළ අනුගමනය කළ දියාරු පිතිකරණ රටාව නිසා අවසානයේ උරුම වූයේ ලකුණු 113ක දැවැන්ත පරාජයකි.

වැරදි අඩුවෙන්ම කළ දකුණු අප්‍රිකාවට පහසු ජයක්!

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ මුල්ම තරගය අද…….

කාසියේ වාසිය දිනාගත් මාලිංගගේ ඇරයුමට අනුව ඇරඹුනු දකුණු අප්‍රිකානු ඉනිම සැබවින්ම රසවත් සිදුවීම් රැසකින් පිරුණකි. ඉනිමේ මුල් කොටසේ දී ලසිත් මාලිංග පමණක් පාලනයකින් යුතුව පන්දු යැවූ අතර අනෙක් පන්දු යවන්නන් සියලු දෙනාටම දකුණු අප්‍රිකාවෙන් ලැබුනේ හොඳ සංග්‍රහයකි. පළමු කඩුල්ලේ සබඳතාවයම පන්දුවාර 15කදී ලකුණු 91ක් දක්වා දිව යෑමත් සමඟ බොහෝ දෙනා සිතුවේ ලකුණු 350ක පමණ දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවයි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් විවිධත්වයකින් තොරව පන්දු යවමින් සිටි මේ අවස්ථාවේ මාලිංග තම අත්දැකීම් යොදා ගනිමින් යැවූ කෙටි පන්දුවක් නිසා ප්‍රතිවාදීන්ගේ මුල්ම කඩුල්ල බිඳ වැටුනි.

ඉන් නොසැලුණු ක්වින්ටන් ඩි කොක් තම සුපුරුදු ප්‍රහාරය දිගින් දිගටම දියත් කළ අතර ටෙස්ට් තරගාවලියේ සිටම ශ්‍රී ලංකාවට හිසරදයක් බවට පත්වූ එකම පිතිකරුවා වූයේ ඔහුයි. කෙසේවෙතත් තම ශතකය හයේ පහරක් මගින් සම්පූර්ණ කිරීමට ගිය ඔහුට අවසානයේ සිදුවූයේ ලකුණු 94කට ක්‍රීඩාගාරයට හැරී යාමටයි. ඒ තිසර යැවූ පන්දුව ඩි කොක්ගේ පිත්තේ යට කොටසේ වැදී එක තැන ඉහළ නැගීම නිසයි. තමා අත තිබූ ශතකය ගිලිහී යාමේ සොවින් ඩි කොක් ක්‍රීඩාගාරයට ගොස් තම පිත්ත ද පොළවේ ගසනු දැකගන්නට ලැබුණි. දැවී යනවිට ඔහු හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් එල්ල කොට සිටියේය.

පසුගිය තරග වලදී ඉහළම දක්ෂතා දක්වා සිටි වැන් ඩර් ඩුසේන් අද පිටියට පැමිණි විගස දැවී ගියේ තිසරගේ දෙවැනි ගොදුර ලෙසයි. ඔහුට මෙම කඩුල්ල ලබා දීම වෙනුවෙන් කසුන් රාජිත හතරේ සීමාව අසල සිට වේගයෙන් ඉදිරියට දිව එමින් සුපිරි උඩපන්දුවක් රැක ගත්තේය. වියාන් මුල්ඩර් අද ලකුණු 17ක් රැස් කරමින් හොඳ ආරම්භයක් ලබා ගත්තද අවසානයේ දැවී ගියේ ඔහුගේ වරදකට වඩා විශ්ව ප්‍රනාන්දු සතු වූ වාසනාවක් නිසාවෙනි. මන්ද එම පන්දුව මුල්ඩර්ට පිටුපසින් ගොස් පා ඉන්නේ යන්තමින් දැවටී එක් බේලයක් බිම දැමීමට සමත් වීම නිසයි. කෙසේවෙතත් විශ්වගේ අද දිනයේ සමස්ථ පන්දු යැවීම එක්දින තරගයට අනුචිත වූ බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

ටෙස්ට් වගේ වෙයි ද ODI?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර…..

පළමු එක්දින තරගයේ නොදැවී ශතකයක් ලබාගත් ෆැෆ් ඩු ප්ලෙසිස් අදත් අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් දස්කම් දැක්වුවද අවසානයේ තිසර පෙරේරා යැවූ වේගය අඩාල කළ පන්දුවක් හමුවේ කඩුල්ල බිඳ ගත්තේය. ඒ ශ්‍රී ලංකා පිළ නැවතත් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ කරමිනි. දැවී යනවිට ඔහු හතරේ පහර 7ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියේය. දකුණු අප්‍රිකානු නායකයා පිටිය හැර යාමෙන් අනතුරුව පසුපෙළ කඩුලු කිහිපය ගැටලුවකින් තොරව බිඳ දැමීමට ශ්‍රී ලංකාවට අපහසු වූයේ නැත. අද පිටිය තුල එතරම් විශ්වාසයකින් යුතුව පන්දුවට පහර නොදුන් ඩේවිඩ් මිලර් ලකුණු 25කට දැවී ගියේ ධනංජය සිල්වාගේ පන්දුවක් හමුවේයි.

පසුගිය තරගාවලියේ දී පාකිස්තානු කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් ලබා ගනිමින් තනිවම කණ්ඩායම ජයග්‍රහණයක් කරා ගෙන ගිය අන්දිල් පෙලුක්වායෝ ද අද සාර්ථක වූයේ නැත. මේ නිසාවෙන්ම විශාල ලකුණු සංඛ්‍යාවකට යන්නට තිබූ දකුණු අප්‍රිකානු ඉනිම අවසානයේ නිමාවූයේ ලකුණු 251කටයි. පන්දු යැවීමේ දී තිසර පෙරේරා බිඳ හෙලූ කඩුලු 3 ශ්‍රී ලංකා පිළට නැවතත් තරගයට අවතීර්ණ වීමට කදිම ආධාරයක් වූ අතර මාලිංග සහ ධනංජය කඩුලු 2 බැගින් දවා ගනිමින් ප්‍රතිවාදීන්ට තර්ජනයක් වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් සියලු දෙනාම එක් කඩුල්ල බැගින් හෝ බිඳ හෙලීමද විශේෂත්වයකි.

මෙම තණතිල්ලේ හැසිරීම අනුව කල් මැනීම ඉතා අපහසු බව පැහැදිලි වුවද ශ්‍රී ලංකා පිතිකරුවන් ඒ කිසිවක් තඹයකට මායිම් කලේ නැත. ඔවුන් මුල සිටම අනවශ්‍ය ප්‍රහාරයකට උත්සාහ කළේ මෙය අඩු ලකුණු එක්දින තරගයකට වඩා ප්‍රදර්ශනාත්මක විස්සයි විස්ස තරගයක් ලෙස සිතූ පරිද්දෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස දික්වැල්ල මුලින්ම දැවී ගියේ ඩි කොක් අද දැවී ගිය ආකාරය පුනරූපනය කරමිනි. නමුත් ඩි කොක් ලකුණු 94ක් රැස්කර සිටියදී එල්ල කල පහර සහ දික්වැල්ල ලකුණු 6ක් ලබා සිටියදී එල්ල කළ පහර අතර අවස්ථානුකූලව විශාල වෙනසක් තිබුණි. අවිශ්ක ප්‍රනාන්දු අද ලකුණු 10කට දැවී ගියේ ශ්‍රී ලංකාවේ තණතිලි සහ දකුණු අප්‍රිකාවේ තණතිලි අතර වෙනස හඳුනා ගනිමින් විය යුතුය.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට සංග්‍රාම නැවැත්විය හැකිය

අපි මහා ක්‍රිකට් සංග්‍රාම සහ ක්‍රිකට් සටන් අගයන කාල පරිච්ඡේදයක් පසුකරමින්…..

ටෙස්ට් තරගාවලියේ හොඳින් සාර්ථක වීමෙන් පසුව අසාර්ථක පිතිකරුවන් ගොන්න අතරට එක්වී සිටින කුසල් පෙරේරා අද රැස් කළේ ලකුණු 8ක් පමණි. ඉන් අනතුරුව ඕෂධ සහ මෙන්ඩිස් අතරේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සබඳතාවයක් ගොඩ නැගුණද ඉන් වාසියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වූයේ පාසල් මට්ටමේවත් නොදකින ආකාරයේ දුවද්දී දැවී යාමක් නිසාවෙනි. ඕෂධ පන්දුව තර්ඩ්-මෑන් කලාපයට යොමු කරමින් ඒදෙස බලා සිටියද ඔහු ලකුණක් කරා දිව යෑමට උත්සාහ නොකළ අතර ඒ වනවිටත් තණතිල්ලේ අඩක් දුවගොස් තිබූ කුසල් මෙන්ඩිස්ට අවසානයේ කඩුල්ල අහිමි විය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දී සාමාන්‍යයෙන් දැකිය නොහැකි වුවද මේ මොහොතේ ආවේගය පාලනය කරගත නොහැකි වූ කුසල් මෙන්ඩිස් පිටිය මැදම පිත්ත විසිකර දැමුවේ දැවී යාම ගැන විරෝධය පල කරමිනි. ඉන් සුළු මොහොතකට පසු ඕෂධ ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ ලකුණු 31ක් ලබා සිටියදීයි. තිසර පෙරේරා අද ලකුණු 23ක් රැස්කර ගත්තද අවසානයේ හොඳින්ම පන්දු යවන තහීර්ට එරෙහිව දිගින් දිගටම පහර එල්ල කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස තම කඩුල්ල අහිමි කර ගත්තේය. ඒ අනුව අවසන් බලාපොරොත්තුවත් කඩවුනු ශ්‍රී ලංකා ඉනිම ලකුණු 138කට නතර විය.

සැබවින්ම ශ්‍රී ලංකා පිතිකරුවන් එක්දින තරග වලදී දක්වන මෙම දියාරු පිතිකරණ රටාව ලෝක කුසලාන තරගාවලිය පිලිබඳව ඇති සිහින සියල්ලම බොඳකර දැමීමට හේතු වී ඇත. ඒ ඔවුන් පිටිය මැදදී හැසිරෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩකයින් සතු වගකීම පෙරදැරිව නොවන බැවිනි. තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී නායක මාලිංග ප්‍රකාශ කළේද ක්‍රීඩකයින් තමන්ට ලැබෙන අවස්ථා වල වටිනාකම තේරුම් නොගෙන වචන හරඹ කිරීමෙන් ඵලක් නොවන බවයි. සැබවින්ම එය තම නායකයාගෙන් කටින් හෝ අසා ගැනීමෙන් පසු ක්‍රීඩකයින් යථාර්ථය තේරුම් ගතහොත් ඉදිරි තරග වලදී හෝ යම් ප්‍රගතියක් දැකිය හැකිවනු ඇත.

Photos: Sri Lanka vs South Africa – 2nd ODI

දකුණු අප්‍රිකාව – සියල්ලන්ම දැවී ලකුණු 251 (පන්දුවාර 45.1) : ක්වින්ටන් ඩි කොක් 94, ෆැෆ් ඩු ප්ලෙසිස් 57, රීසා හෙන්රික්ස් 29, ඩේවිඩ් මිලර් 25, වියාන් මුල්ඩර් 17, අන්රික් නොට්ජේ 8, තිසර පෙරේරා 3/26, ලසිත් මාලිංග 2/39, ධනංජය ද සිල්වා 2/55, අකිල ධනංජය 1/38.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 32.2) : ඕෂධ ප්‍රනාන්දු 31, කුසල් මෙන්ඩිස් 24, තිසර පෙරේරා 23, ධනංජය ද සිල්වා 15, අවිශ්ක ප්‍රනාන්දු 10, කාගිසෝ රබාඩා 3/43, ලුන්ගි න්ගිඩි 2/14, අන්රික් නොට්ජේ 2/25, ඉම්රාන් තහීර්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<