පොලීසිය නිරුත්තර කරමින් CH තවත් පියවරක් ඉදිරියට

341

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ එකොළොස් වන සති අන්තයේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක් අද (26) කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටු අතර සත්කාරක පොලිස් ක්‍රීඩා සමාජය සහ ප්‍රතිවාදී CH&FC කණ්ඩායම අතර පැවති මෙම තරගයෙන් ලකුණු 25-38ක් වශයෙන් විශිෂ්ට ජයක් අත්කර ගැනීමට CH&FC කණ්ඩායම සමත් විය.

පෙරළිකාර යුධ හමුදාවට CR&FC අර්ධ ශතකයකින් සංග්‍රහ කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් විශේෂ තරගයක් අද (26) CR&FC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ පෙරළිකාර යුධ හමුදා ක්‍රීඩා සමාජය හා CR&FC…

සත්කාරක පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම තමන් අවසන් වරට සහභාගී වූ තරගයේ දී ප්‍රබල මහනුවර කණ්ඩායමට කරට කර සටනක් ලබා දීමෙන් අනතුරුව ගෞරවාන්විත පරාජයකට උරුමකම් කීවේ තවමත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ඒමේ සටන අතහැර නොමැති බවට ඉඟියක් ද ලබාදෙමිනි.

ප්‍රතිවාදී CH පිල තරගාවලියේ දෙවන අදියර ක්‍රියාත්මක කරමින් මෙතෙක් ක්‍රීඩා කළ තරග ත්‍රිත්වයේම ජයග්‍රහණය තමන්ගේ නම ඉදිරියෙහි සටහන් කරගැනීමට සමත් වීම වඩාත් කැපී පෙණුනු අතර ඔවුන් ප්‍රබල මහනුවර සහ හැව්ලොක් කණ්ඩායම්වලට පමණක් දෙවෙනි වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයෙහි පසු විය.

දෙපිලේම ආධාරකරුවන් රැසක් තම කණ්ඩායම් දිරිමත් කිරීම සඳහා එක්රැස්ව සිටි අතර උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ප.ව 4.00ට CH කණ්ඩායමේ සැමුවෙල් මධුවන්තගේ පා පහරින් තරගය ආරම්භ විය.

කණ්ඩායම් දෙකම පළමු විනාඩි 10 තුල දී දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ නමුත් පොලිස් කණ්ඩායම එල්ල කළ පීඩනය හමුවේ පන්දුව පාලනය කිරීමේ දී අතපසුවීම් කිහිපයක්ම CH ක්‍රීඩකයින් අතින් සිදුවීම කැපී පෙනුණි.

එසේ සිදු වූ අත්වැරදීමක් තම වාසියට හරවාගත් පොලිස් කණ්ඩායමේ සචිත් සිල්වා තමාට හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව ගෝල කණු අතරින් පා කර හැරියේ පොලිස් කණ්ඩායම තරගයේ එක් පියවරක් ඉදිරියට ඔසවා තබමිනි. (පොලිස් 03 – 00 CH)

තරගයේ මුල්භාගයේ දී ම තමන් වෙත එල්ල වූ අභියෝගයට සාර්ථක පිළිතුරක් ලබා දීමට CH පිල සමත් වූයේ ඉතා අලංකාර ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් පොලිස් කණ්ඩායමට සංග්‍රහ කිරීමට සමත් වීමත් සමඟිනි. ඇඩම් ගවුඩර් පොලිස් ආරක්ෂක වැට කඩුලු බිඳ දමමින් ඉදිරියට වේගයෙන් ඇඳුණු අතර ආරක්ෂිතව පන්දුව හිරන්ත පෙරේරාගේ සුරතට පත් කළේ නියත උත්සාහක දිනුමක පහස CH කණ්ඩායමට විඳ ගැනීමට ඉඩ සලස්වමිනි. එහි ප්‍රවර්තනය සාර්ථකත්ව ගෝල කණු අතරින් යොමු කිරීමට සැමුවෙල් මධුවන්ත සමත් විය. (පොලිස් 03-07 CH)

කන්ද උඩරටින් ආගන්තුකයින්ට සැර සත්කාරයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අර්ධයේ සිව්වැනි සතියේ ආරම්භක තරගය සඳහා මහනුවර ක්‍රීඩා සමාජය නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේ දී නාවික…

18 වැනි මිනිත්තුවේ දී CH කණ්ඩායම off side වරදට හසුවීමත් සමඟ හිමි වූ දඬුවම් පහර නිවැරදිව ඉලක්කය වෙත එල්ල කිරීමට නැවත වතාවක් සචිත් සිල්වා සමත් වූයේ ලකුණු පරතරය එක් ලකුණක් දක්වා පහත හෙළමිනි. (පොලිස් 06-07 CH)

පොලිස් අන්තයේ මීටර් පහේ සීමා රේඛාව ආසන්නයෙන් දිනා ගත් Scrum අවස්ථාවෙන් උපරිම ඵලනෙලා ගත් CH නායක රෝහිත රාජපක්ෂ හට පොලිස් කණ්ඩායමේ  පසුපෙළ ක්‍රීඩකයින් අතරින් රිංගා යමින් ධවල රේඛාව අභිබවා යාමට හැකි වූයේ සැමුවෙල්ගේ සාර්ථක ප්‍රවර්තනයත් සමඟින් CH ලකුණු පුවරුව 14 දක්වා ඉහළ දමමිනි. (පොලිස් 07-14 CH)

තම ආධාරකරුවන්ගේ නොමඳ දිරිමත් කිරීම හමුවේ යළි ජීවය ලැබූ පොලිස් පිළ ඉතා ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූයේ පැමිණ සිටි සියල්ලන්ම මවිතයට පත් කරමිනි.

ඒ අනුව ඉරෝශන් සහ සචිත් සිල්වා අතර සිදු වූ දැකුම්කළු පන්දු හුවමාරුවකින් අනතුරුව පන්දුව වගීෂ වීරසිංහගේ ග්‍රහණයට නතු වූයේ පොලිස් කණ්ඩායමට තරගයේ පළමු උත්සාහක දිනුම දිනා දීමේ ගෞරවය ඔහුගේ නම ඉදිරියේ ලියා ගැනීමට අවකාශ සලසාදෙමිනි. සචිත් සිල්වාගේ ප්‍රවර්තන උත්සහය එවර අසාර්ථක විය. (පොලිස් 11-14 CH)

පළමු අර්ධය නිමාවීමට විනාඩියකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී පොලිස් කණ්ඩායමට දඬුවම් උත්සාහක දිනුමක් පිරිනැමීමට විනිසුරු ලෙස කටයුතු කළ ප්‍රියන්ත ගුණරත්න මහතා පියවර ගත්තේ අඩක් නිමා වූ තරගයේ වැඩි වාසි පොලිස් පිල වෙත හිමිකර දෙමිනි. (පොලිස් 18 – 14 CH)

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 18 – 14 CH&FC කණ්ඩායම

දෙවන අර්ධය ආරම්භ වී විනාඩි තුනක් ගත වීමටත් මත්තෙන් CH ලකුණු පුවරුව පණ ගැන්වීමට සැමුවෙල් මධුවන්ත සමත් වූයේ හිමි වූ දඬුවම් පහර කල්යල් බලා මැනවින් ගෝල කණු අතරින් පා කර හැරීමත් සමඟිනි. (පොලිස් 18-17 CH)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තම වේගවත් ආක්‍රමණශීලී තරග රටාව කෙමෙන් කෙමෙන් තර කළ CH කණ්ඩායම දිගින් දිගටම එල්ල කළ දැඩි අභියෝග නිසාවෙන් පොලිස් පිල තරමක අසීරු අඩියකට ඇඳ වැටුණු අතර ඔවුන් සිදු කළ අතපසු වීම් දාමයක් මැනවින් උපයෝගී කර ගත් CH ක්‍රීඩකයින් 45 වන සහ 67 වන මිනිත්තුව ලදී ප්‍රවර්තිත උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළේ තරගයේ පාලනය ඉතා පහසුවෙන් තමන්ගේ දෙසට හරවා ගනිමිනි.

පසුගිය තරග කිහිපය පුරාවටම CH පිල වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ අනුරාධ හේරත් මෙම තරගයේදීත් තම කණ්ඩායම වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉෂ්ට කිරීමට සමත් වූයේ අගනා උත්සාහක දිනුමකින් CH ලකුණු තීරුව වර්ණවත් කරමිනි.

අද දිනයේ දී තම කණ්ඩායම නිසි අයුරින් මෙහෙයවමින් නායකත්වයේ වගකීම අකුරටම ඉටු කළ රෝහිත රාජපක්ෂ නැවත වතාවක් පෙරමුණ ගනිමින් උත්සාහක දිනුමක් CH පිලට හිමිකර දීමට සමත් වූයේ CH ආධාරකරුවන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය. මෙම අවස්ථාවන් ද්විත්වයේ දී ම අමතර ලකුණු දිනා ගනිමින් කණ්ඩායමේ ලකුණු පුවරුව තවදුරටත් පෝෂණය කිරීමට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන සැමුවෙල් මධුවන්ත සමත් විය. (පොලිස් 18 – CH 31)

රග්බි ක්‍රීඩකයෙකුට සහ භෞත චිකිත්සක වරයෙකුට වැඩ වරදී

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායක ලසිඳු ඉෂාන් කරුණාතිලක සහ මහනුවර ක්‍රීඩා සමාජයේ භෞත චිකිත්සක ලසන්ත බස්නායක හට තරග තහනම් පැනවීමට ශ්‍රී ලංකා රග්බි කමිටුව…

කෙසේ හෝ යලි තරගය තමන් දෙසට නැවත වරක් යොමුකර ගැනීමේ අපේක්ෂාව පෙරදැරිව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම ධනුෂ්ක එදිරිසූරිය විසින් දිනා දුන් උත්සාහක දිනුමත් සමඟම යම් පීඩනයක් CH කණ්ඩායම වෙත යොමු කිරීමට සමත් විය. සචිත් සිල්වා ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් ප්‍රවර්තන ගෝලය සාර්ථක කරගත්තේය. (පොලිස් 25 – 31 CH)

තරගයේ අවසාන භාගයේ දී එල්ල වූ එම පීඩනය ඉතා සාර්ථකත්ව මැඬලීමට රෝහිත රාජපක්ෂ ප්‍රමුඛ CH කණ්ඩායම සමත් වූයේ තරගයේ අවසන් විනාඩියේ දී සැමුවෙල් මධුවන්තගේ සුරතින් වාර්තා කළ උත්සාහක දිනුම නිසාවෙනි. තමාට හිමි වූ සියලුම ප්‍රවර්තන සහ දඬුවම් පහර අවස්ථා සාර්ථක කරගත් මධුවන්ත ලැබුණු මෙම අවස්ථාව ද අපතේ නොයවමින් සාර්ථක කරගැනීමට සමත් විය. (පොලිස් 25 – 38 CH)

අවසන් ලකුණු තත්වය – පොලිස් ක්‍රීඩා සමාජය 25 (2T,2P,1PT,1C) – 38 (5T,5C,1P) CH&FC කණ්ඩායම

  • Thepapare.com තරගයේ වීරයා – රෝහිත රාජපක්ෂ (CH&FC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

පොලිස් ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – ධනුෂ්ක එදිරිසූරිය 1,වගීෂ වීරසිංහ 1
  • ප්‍රවර්තන ගෝල – සචිත් සිල්වා 1
  • දඬුවම් ගෝල – සචිත් සිල්වා 2

CH&FC කණ්ඩායම

  • උත්සාහක දිනුම – රෝහිත රාජපක්ෂ 2 ,හිරන්ත පෙරේරා 1, අනුරාධ හේරත් 1, සුදම් සූරිආරච්චි 1
  • ප්‍රවර්තන ගෝල – සැමුවෙල් මධුවන්ත 5
  • දඬුවම් ගෝල – සැමුවෙල් මධුවන්ත 1

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<