තුන් ඉරියව්වේ දිදුලන තරුව – අකිල දනංජය

2498

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (21) අවසන් වන විට නම් තරගයේ වැඩි වාසිය තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සතුවයි. ඒ සඳහා අකිල දනංජය පිත්තෙන් නොදැවී ලබාගත් ලකුණු 43*ක් හා  පන්දු යැවීමෙන් ලබාගත් කඩුලු 5ක් විශාල සවියක් වූ බව නිසැකය.

අකිල – දිල්රුවන් දකුණු අප්‍රිකානු ඉනිම වනසති

ඊයේ (21) කොළඹ එස්. එස්. සී. පිටියේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන…

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේ මුල්පෙළ ස්ථාවර වුවත් මැදපෙළේ ඇතිවූ තරමක අස්ථාවර බව නිසාවෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 300 ඉක්මවා රැගෙන යාමේ වගකීම හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් හටයි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු සටහන ලකුණු 247ක් වෙද්දී කඩුලු 7ක් දැවී ගොස් තිබුණි. ඒ වෙද්දී නම් දකුණු අප්‍රිකානු කණ්ඩායම තරමක සතුටින් සිටියේ මෑත කාලීනව ශ්‍රී ලංකාවේ පසුපෙළ ටෙස්ට් පිතිකරුවන් හොඳ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන නොතිබූ නිසයි.

නමුත් දිල්රුවන් පෙරේරා හා නායක සුරංග ලක්මාල් දැවී ගිය පසුව 10 වන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු වමතට පිත්ත හුරු රංගන හේරත් හා අකිල දනංජය ලොව ප්‍රබල වේගපන්දු යවන්නන්ගේ නාමලේඛනයේ ඉදිරියෙන්ම සිටින කගීසෝ රබාඩා, ඩේල් ස්ටේන් වැනි පන්දු යවන්නන් හමුවේ නිත්‍ය පිතිකරුවන් මෙන් සිය පිතිකරණ විලාසය ඉතාමත් අපූරු ලෙසින් එස්. එස්. සී. පිටිය මත දිග හරින්නට වූයේ කිසිදු බයකින් හෝ සැකයකින් තොරවයි.

දකුණු අප්‍රිකානු තරගාවලිය ආරම්භ වීමට පෙර ගෙවී ගිය වසර 4ක කාලය පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ අවසන් පිතිකරුවන් යුගලයක් ලකුණු 50 සීමාව ඉක්මවා සබඳතාවයක් ගොඩනංවා නොමැත.

බැඳීම් අලුත් කරමින් ජය මාවත විවර කළ SSC මිතුදම

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය වූ ඊයේ (20) දිනයේ දී දිමුත්…

නමුත් අද දිනයේ දී ඉතාමත් ඉවසිලිමත්ව පිතිකරණයේ නිරත වූ අකිල හා රංගන හේරත් ලකුණු 74ක සබඳතාවයක් අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූයේ මා ඉහත සඳහන් කළ පන්දු යවන්නන්ගේ හිස් මුදුනේ තබාගෙන ඇති උජාරුව තරමකට හෝ අඩුකරමින් බවට නම් කිසිම සැකයක් නැත. අකිල ඒ පන්දු යවන්නන්ගේ සමහර පන්දුවලට පහර දුන් ආකාරය බලන විට එය ඔහු සතු පිතිකරණ හැකියාව ඉතාමත් හොඳින් එළියට පෙන්නපු අවස්ථාවකි.

ඒ සඳහා අකිල සමඟ අනෙක් අන්තයෙන් පිත්තෙන් දස්කම් දක්වමින් ඔහුට සවියක් වුන රංගන හේරත් හා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන තිලාන් සමරවීර මහතාගේ උපදෙස් ඔහුට ඉතාමත් වැදගත් වී ඇති බව පෙනෙනවා.

“තිලාන් අයියාත් එක්ක මම මේ දවස්වල batting පැත්ත හදා ගන්න හුඟක් වැඩ කළා. ඒකට තිලාන් අයියා මට ලොකු support එකක් දුන්නා. හේරත් අයියත් මාව දිරිගැන්වූවා පොඩ්ඩ පොඩ්ඩ ලොකු ඉනිමකට යමු කියලා” යැයි අකිල දනංජය දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී පවසන ලදි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල අවසන් කඩුල්ල වෙනුවෙන් ලබාගෙන ඇති හොඳම සබඳතාවය වන ලකුණු 79 සබඳතාවය වාර්තා වී ඇත්තේ චමින්ද වාස් හා මුත්තයියා මුරලිදරන්ගේ නමට ඉදිරියෙනි. එය මීට වසර 14කට පමණ ඉහත දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති තරගයක දී වාර්තා වී ඇත. ඒ තරගය සඳහා සත්කාරකත්වය දක්වා ඇත්තේ මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.

2018 ජූලි 21 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේ දී හේරත් හා අකිල එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාවයට ලකුණු 74 දී තිත තැබුණේ එම වාර්තාව අලුත් කරන්නට තවත් ලකුණු 6ක් ලබා ගන්නට පෙරයි. ඒ කඩුල්ල ශ්‍රී ලංකා ඉනිමෙන් උදුරා ගත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් වෙමින් දඟපන්දු යැවූ කේශව් මහරාජ් විසිනි.

කෙසේ නමුත් වාර්තා පොත් පිරික්සා බැලූ කල එක් වැදගත් කරුණක් නෙත ගැටුණි. එනම් වාස් හා මුරලි එක්ව 2004 වසරේ දී ගොඩනැගූ සබඳතාවය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙනි. නමුත් අද හේරත් – අකිල එක්ව දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව අවසන් කඩුල්ල වෙනුවෙන් තැබූ සබඳතාවය තැබුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙනි. එසේ නම් එම වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාස වාර්තා පොත් අලුත් කරනු ඇත්තේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු ඉනිමක අවසන් කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සබඳතාවය ලෙසයි.

බැඳීම් අලුත් කරමින් ජය මාවත විවර කළ SSC මිතුදම

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය වූ ඊයේ (20) දිනයේ දී දිමුත්…

එපමණක් නොවේ කොළඹ එස්. එස්. සී. ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා පිතිකරුවන් යුගලයක් මේ දක්වා කාලය තුල අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ හොඳම සබඳතාවය ද වන්නේ හේරත් හා අකිල එක්ව ගොඩනැංවූ ඒ සටන්කාමී සබඳතාවයයි. මීට පෙර ඒ වාර්තාව තබා තිබුණේ දකුණත් පිතිකරුවෙක් වන රොමේෂ් කළුවිතාරණ හා මුත්තයියා මුරලිදරන් විසිනි. 1998 වසරේ ජුනි මස 10 වනදා නවසීලන්තයට එරෙහිව ඒ ලකුණු 71 සබඳතාවය ගොඩනංවා ඇත.

අකිලගේ පිතිකරණය ගැන සාකච්ඡා කිරීමේ දී ඔහු අද පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය තුල දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව නව පන්දුව අතට ගත්තේ හේරත් හා දිල්රුවන් පෙරේරා යන දඟපන්දු යවන ක්‍රීඩකයින් කණ්ඩායම තුල සිටිය දී ය. එය කණ්ඩායමේ මෙන්ම අත්දැකීම් බහුල හේරත් හා දිල්රුවන් අකිල පිළිබඳව තබා තිබෙන විශ්වාසය වන්නට පුළුවන. අද තරගයේ එක් අන්තයකින් දිල්රුවන් නව පන්දුව අතට ගන්නා විට අනෙක් අන්තයෙන් පන්දුව අතට ගත්තේ මේ වයස අවුරුදු 24 හැවරිදි යොවුන් ළාබාල ක්‍රීඩක අකිලයි.

ඔහු ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ සිටම දකුණු අප්‍රිකානු පිතිකරුවන් ග්‍රහණයට ගැනීමට ඔහු සමත් වුනා. අකිලගේ අතේ හැසිරීම සාමාන්‍ය භාෂාවෙන් අපි කියනවා නම් “අත කියවීම” ප්‍රබල දකුණු අප්‍රිකානු පිතිකරුවන් හට හරියාකාරයෙන් නොහැකි වීම නිසා අකිල දනංජය ඩීන් එල්ගාර්, තෙවුනිස් ඩී බෘයින්, ක්වින්ටන් ඩී කොක් යන ප්‍රබල පිතිකරුවන්ගේ කඩුලු ද සමඟ කඩුලු 5ක් දවා ගත්තේ සිය ක්‍රිකට් දිවියේ ලබාගත් දෙවන කඩුලු 5 අවස්ථාව ද සාර්ථක කරගනිමිනි. අකිල තවමත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට අලුත් ක්‍රීඩකයෙක් වන්නේ අද ඔහු මේ ක්‍රීඩා කරන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුගේ තෙවන ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය වන නිසයි.

“මට රංගන අයියයි දිල්රුවන් අයියයි එක්ක වැඩකරන එක ලේසියි, මොකද ඒ දෙන්නා එක්ක කතා කරනකොටත් මොනවා හරි දෙයක් තියෙනවා ඉගෙන ගන්න, හේරත් අයියා කණ්ඩායමෙන් යන එක අපිට ලොකු පාඩුවක්.” යැයි අකිල අද පැවති මාධ්‍ය හමුවේ දී අවසන් වශයෙන් පවසන ලදි.

අකිල දනංජය පිළිබඳව ගෙතුණු කතා නම් බොහොමයකි. නමුත් මේ ලිපිය ලියවුනේ ඔහු අද (21) තැබූ වාර්තා හා ඉපැරණි ක්‍රිකට් ඉතිහාසයෙන් බිඳක් ගැන පමණයි. එම නිසා සැබවින්ම “අකිල දනංජය” යනු අනාගත ශ්‍රී ලාංකික ක්‍රිකට් වංශ කතාවේ දිදුලන තරුවක් වන බව නම් නිසැකය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<