මෙම තරග වාරය පුරාවට හොඳින් ලකුණු අතර සිටි කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් 6 දෙනාත්, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමේ ඉතා ප්‍රබල පන්දු යැවීමේ බලඇණියත් කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 139 වන නිල් මහා සටනේ දී කරට කර තරගයක නිරත වන්නට මේ වන විට සියල්ල සූදානමින් ය.
මොරටුවේ ක්‍රිකට් උන්මාදය – මොරටු මහා රන් සටන
ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස මොරටුව හැඳින්වීම ඉතාම කාලෝචිත ය, සුදුසු ය. මන්දයත් ලාංකීය …
2017/18 තරග වාරය
‘B’ කාණ්ඩය දක්වා පහත වැටීමෙන් අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලය එහි දී ඔවුන් සහභාගී වූ තරග 20න් පූර්ණ ජයග්‍රහණ 6ක්, පළමු ඉනිමේ ජයග්‍රහණ 2ක් හා එක් පරාජයක් සමඟින් තරමක් හොඳ තරග වාරයක නිරත වන්නට සමත් විය. කෙසේ නමුත් ඒ ඔවුන් ලබාගත් පූර්ණ ජයග්‍රහණ 6න්, ‘A’ කාණ්ඩයේ කණ්ඩායම් සමඟ ඔවුන් ලබාගෙන ඇත්තේ ජයග්‍රහණ 2ක් පමණි. ඒ සාම්ප්‍රදායික තරග ලෙස පැවති මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර පැවති තරග යි.
තරග වාරය ආරම්භයේ දී යාපනය සාන්ත ජෝන් විද්‍යාලය හමුවේ නොසිතූ පරාජයකට මුහුණ දීමෙන් අනතුරුව නැවතත් සිය කාණ්ඩය තුළ ඉහළ දස්කම් අතරට පැමිණෙන්නට රාජකීය විද්‍යාලයීය කණ්ඩායම සමත් වූ නමුත් ‘A’ කාණ්ඩයේ පෙර සඳහන් කළ කණ්ඩායම් ද්විත්වයට එරෙහිව ලබාගත් ජයග්‍රහණ ද්විත්වයට අමතරව ‘A’ කාණ්ඩයේ කණ්ඩායම් හමුවේ පළමු ඉනිමේ ජයග්‍රහණයක් හෝ වාර්තා කරගන්නට ඔවුන් සමත්ව නැත.
අනෙක් පසින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම ඔවුන් මෙම තරග වාරය තුළ සහභාගී වූ තරග 18න් පූර්ණ ජයග්‍රහණ 6ක් හා පළමු ඉනිමේ ජයග්‍රහණ 8ක් වාර්තා කරගන්නට සමත්ව ඇත. එහි දී ඔවුන් ලබාගත් ජයග්‍රහණ වාර්තා වී ඇත්තේ ධර්මපාල, සහිරා, මලියදේව, වේල්ස් කුමර, නාලන්දා සහ ලුම්බිණි විද්‍යාල වලට එරෙහිවයි.
කෙසේ නමුත් පසුගිය තරග කිහිපය තුළදී රාජකීය විද්‍යාලයීය කණ්ඩායම පූර්ණ ජයග්‍රහණ 3ක් සහ එක් පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් ඉහළ දක්‍ෂතා දක්වන්නට සමත්ව ඇති අතර අනෙක් පසින් සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම ඔවුන් සහභාගී වූ අවසන් තරග 7න් තරග 4ක දී ම පළමු ඉනිම පරාජයට පත්වෙමින් දක්‍ෂතා අතරට පැමිණෙන්නට අපොහොසත් වී ඇත.
අවධානය දිනාගත් ක්‍රීඩකයින්
රාජකීය කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙක් ලකුණු 600 සීමාව ඉක්මවා යන්නට සමත්ව ඇති අතර කෙසේ නමුත් ඔවුන්ගේ පිතිකරණ බලඇණිය නායක පසිඳු සූරියබණ්ඩාර වටා ගොඩනැඟෙනු ඇත. ඔහු මෙවර තරග වාරය තුළ ශතක 2ක්, අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1224ක් ලබාගෙන ඇත්තේ 48.96ක ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගනිමිනි.
එමෙන්ම කවිඳු මදරසිංහ ද ලකුණු 747ක් රැස්කර ගන්නට සමත්ව ඇති අතර සාන්ත තෝමස් විද්‍යාලයේ සිට රාජකීය විද්‍යාලයට පැමිණි ලකුණු 686ක් ලබාගෙන ඇති භාග්‍ය දිසානායක ද මෙම තරගයේ දී ඔවුන්ට අතිශය වැදගත් වනු ඇත.
නවක ක්‍රීඩකයින් ලෙස එක්වන කමිල් මිෂාර සහ ගයාන් දිසානායකගේ තුන් ඉරියව් දක්‍ෂතා රාජකීය විද්‍යාලයට මහා ක්‍රිකට් තරගයේ දී අතිශය තීරණාත්මක වනු ඇති අතර තෙවිඳු සේනාරත්නගේ ප්‍රහාරාත්මක පිතිහරඹය පසුගිය වසරේ දී මෙන් සාන්ත තෝමස් විද්‍යාලයෙන් තරගය උදුරා ගන්නට වැදගත් වනු නොඅනුමානය.



ඔවුන්ගේ ප්‍රමුඛතම පන්දු යවන්නා වන කලණ පෙරේරා නොමැති අවස්ථාවල දී ද සාන්ත තෝමස් ක්‍රීඩකයින් ඉහළ දස්කම් දක්වමින් ප්‍රතිවාදී කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් වන්නට සමත් වූ නමුත් පවිත් රත්නායකගේ දක්‍ෂතා නොසිතූ පරිදි ඉතා අවම මට්ටමක පැවතීම ඔවුන්ට දැඩි බාධකයක් වනු ඇත. පවිත් පසුගිය තරග වාරයේ දී කඩුලු 98ක් දවාගනිමින් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් වූ නමුත් මෙම තරග වාරයේ ක්‍රීඩා කරනු ලැබූ තරග 9 තුළ ඔහු දවා ගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 18ක් පමණි.

රාජකීය විද්‍යාලය – පසිඳු සූරියබණ්ඩාර (නායක), කවිඳු මදරසිංහ (උපනායක), තෙවිඳු සේනාරත්න, මනුල පෙරේරා, ගයාන් දිසානායක, භාග්‍ය දිසානායක, කමිල් මිෂාර, තෙමාල් බණ්ඩාර, ලහිරු මදුසංක, ඩිමල් විජේසේකර, කවිඳු පතිරත්න
Photos: Royal College Cricket Team 2018 Preview
සාන්ත තෝමස් විද්‍යාලය – ඩෙලන් පීරිස් (නායක), දුලිත් ගුණරත්න, සිතාර හපුහින්න, පවිත් රත්නායක, මන්තිල විජේරත්න, කලණ පෙරේරා, තෙවින් එරියගම, මනීෂ රූපසිංහ, කිෂාන් මුණසිංහ, ෂනන් ප්‍රනාන්දු, ශලින් ද මැල්
Photos: S. Thomas’ College Cricket Team 2018 Preview
ඒ අනුව රාජකීය විද්‍යාලය මෙම තරගයේ ජයග්‍රහණය ලබනවා ද? එසේත් නැත්නම් ඔවුන්ට මෙම තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට හැකි වෙයි ද? යන්න ඔවුන්ගේ ඉදිරිපෙළ පිතිකරුවන් 6 දෙනාගේ දක්‍ෂතා මත පදනම් වන අතර ඩෙලන් පීරිස් ප්‍රමුඛ සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම වසර 11කට පසුව ශූරතාවය දිනා ගැනීමේ අරමුණින් තරගයට පිවිසෙනු ඇත.
ඒ අනුව 139 වන නිල් මහා සටන එළඹෙන 09, 10 හා 11 දිනයන් හිදී පෙරවරු 9 සිට SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර තරගය ThePapare.com, Dialog TV නාලිකා අංක 01 සහ My TV හරහා ඔබ වෙත සජීව ලෙස සමීප කෙරෙනු ඇත.
සජීවී ලකුණු තත්වය, තරග වාර්තා, ඡායාරූප සහ අනෙක් සියලුම විශේෂාංග අදාළ දිනය අවසානයේ ඔබට ThePapare.com වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැක.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















