ගමේ සහ නගරයේ යෞවනයන් කරට කර සටනක

737
ABA Boxing Championship

2017 පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම තෝරා ගැනීමේ තරග අද (03) කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේ දී ඇරඹිණි. ඒ හා සමගාමීව 2016 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ කනිෂ්ඨ ජාතික බොක්සිං ශූරතා තරගාවලිය ද අද ඇරඹුණු අතර දිනය තුළ පැවති තරග 10න් 9ක්ම පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලබන්නන් වෙනුවෙන් පැවැත්විය.

කනිෂ්ඨ සහ යොවුන් බොක්සිං වසන්තය ඇරඹේ

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කෙරෙන, ‘2016 සමස්ත ලංකා කනිෂ්ඨ පිරිමි හා කාන්තා බොක්සිං තරගාවලිය’ අප්‍රේල් 3 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා තෙක් කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වේ. මෙය පසුගිය වසරේ පැවැත්වීමට නොහැකිවූ කනිෂ්ඨ තරගාවලිය වන අතර මීට සමගාමීව එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බොක්සිං තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ තරග ද පැවැත්වේ.

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරගාවලියට එක්වී සිටීම මෙහි දී කැපීපෙනුණු අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රාජකීය විද්‍යාලයත්, කළුතර දිස්ත්‍රික්කයෙන් හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයත් තරගාවලියට එක්ව සිටියේය. ශ්‍රී ලංකා බොක්සිං වළල්ල තුළ දී පෙරළිකාර ජයග්‍රහණයන් වාර්තා කළ රත්නපුර සීවලී, මහනුවර විද්‍යාර්ථ, හොරණ තක්ෂිලා ආදී කණ්ඩායම් කනිෂ්ඨ තරගාවලිය තුළ සිටිනු දක්නට නොලැබුණි.  

සවස 4.00ට තරග ආරම්භ වූයේ කනිෂ්ඨ බොක්සිං තරගාවලියේ කි.ග්‍රෑ. 54 බර පන්තියේ කාන්තා තරගයයි. එහි දී රතු කෝණයෙන් පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයේ එස්. සෝමරත්න සහ නිල් කෝණයෙන් එල්. නිලුක්ෂි තරග වැදිණි. එතරම් තරගකාරී නොවූ එය විනිසුරුවන් අතරින් 5-0ක පැහැදිලි තීරණයකින් ජය ගන්නට එස්. සෝමරත්න සමත් විය. ඒත් සමඟින් ඇගේ පාසලේම ක්‍රීඩිකාවක වන ජේ. කුමුදුමාන සමඟ හෙට ඈ තරග වදිනු ඇත.

එම තරගයෙන් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබන්නන් තෝරා ගැනීමේ තරග ආරම්භ විය.

පිරිමි ලයිට් ෆ්ලයි වෙයිට් (කි.ග්‍රෑ. 46-49) බර පන්තිය වෙනුවෙන් බොක්සිං කවයට පිවිසියේ පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ආර්. බණ්ඩාර සහ හොරණ විද්‍යාරතනයේ ජේ. කුමාර යි. එහි දී තරගය උණුසුම්ව ආරම්භ වූවත් දෙවන වටය වන විට තරගයේ පාලනය සියතට ගන්නට බණ්ඩාර සමත් විය. ඔහුට පහසුවෙන් එල්ල කළ හැකිව තිබූ පහරවල් කිහිපයක්ම මඟහැරී ගියත් ඔහු සටන ජය ගත්තේ විනිසුරුවන්ගෙන් 3-2ක තීරණයකිනි.

පිරිමි ලයිට් ෆ්ලයි වෙයිට් බර පන්තිය වෙනුවෙන් පැවැත්වුණු අනෙක් තරගයේ දී නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ එස්. ධර්මසිරිව පහසුවෙන් පරාජය කළ රාජකීය විද්‍යාලයේ ඒ. අල්තාෆ්ට ජය හිමි විය. අල්තාෆ්ගේ පහසුවෙන් එහා මෙහා වන ගතිය නිසා ඔහුට පහර එල්ල කිරීම ප්‍රතිවාදියාට අපහසු වූ අතර අල්තාෆ් ජය ගත්තේ විනිසුරු විසින් තරගය නැවැත්වූ බැවිනි.

මීළඟ තරගය පිරිමි ෆ්ලයි වෙයිට් (කි.ග්‍රෑ. 52) බර පන්තිය යටතේ පැවැත්විය. ඊට සහභාගී වූ හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයේ ඩී. තාරක නිතරගයෙන් ජය ලැබුවේ ධීරානන්ද විද්‍යාලයේ එම්. ජයතිලක තරගාවලියට සහභාගී නොවූ බැවිනි.

පිරිමි ෆ්ලයි වෙයිට් බර පන්තියේ මීළඟ තරගය පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ එම්. කරුණාසිංහ සහ හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයේ වයි. ජයලත් අතර පැවැත්විය. එහි දී කරට කර තරගයක යෙදෙන්නට දෙදෙනා සමත් වූ අතර විනිසුරු තීරණ 3-2ක් වශයෙන් ජයලත්ට ජය හිමි විය.

පිරිමි බැන්ටම් වෙයිට් (කි.ග්‍රෑ. 56) බර පන්තිය වෙනුවෙන් පැවැත්වූ තරගයේ දී ධීරානන්ද විද්‍යාලයේ සී. ඒකනායකගේ ප්‍රහාරයන් දරා ගැනීමට නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ කේ. ප්‍රේමරත්න දිගින් දිගටම අසමත් වූ බැවින් විනිසුරු විසින් තරගය නතර කෙරුණේ ඒකනායකට ජය ලබා දෙමිනුයි.

දිනයේ උත්කර්ෂවත්ම තරගය වූ පිරිමි බැන්ටම් බර පන්තියේ මීළඟ තරගය ඉන් පසුව පැවැත්වුණේ මුලතිව් මහා විද්‍යාලයේ එම්. ෂර්මිලාන් සහ හොරණ විද්‍යාරතනයේ ඩී. මධුශංක අතරයි. එහි දී ෂර්මිලාන් තමාටම ආවේණික වූ ක්‍රීඩා රටාවක් අනුගමනය කළ අතර ඔහුගේ වමත් මුෂ්ටිය අති භයංකාර විය. ඔහුගේ වමතින් දෙවරක්ම මධුශංක කැන්වසය මත ඇද වැටුණු අතර විනිසුරු තරගය නිමා කළේ ෂර්මිලාන් ජයග්‍රාහකයා කරමිනි.

පිරිමි බැන්ටම් බර පන්තියේ තවත් තරගයක් පැවැත්වුණේ රාජකීය විද්‍යාලයේ වී. හෙට්ටිආරච්චි සහ මහානාම විද්‍යාලයේ පී. මෙලාන් අතරයි. එහි දී දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් රාජකීය ක්‍රීඩකයාට ලැබුණු අතර එය අපතේ නොහරිමින් ඔහු තරගය ජය ගත්තේ තම වේගය මැනවින් ප්‍රදර්ශනය කරමිනි. විනිසුරුවන් 5 දෙනාගෙන් සියල්ලන්ම ඔහු ජයග්‍රාහකයා බව තීරණය කළේය

කාන්තා ෆ්ලයි වෙයිට් (කි.ග්‍රෑ. 48-51) තරගයක් වෙනුවෙන් ඉංගිරිය ගාමිණී විද්‍යාලයේ එස්. කුමාරි සහ හොරණ විද්‍යාරතන විද්‍යා පීඨයේ පී. රශාදි එක්වුණේ ඉන් අනතුරුවයි. එහි දී එක පෙළට පහරවල් එල්ල කරමින් කුමාරි ඉදිරියට ගිය අතර අතරින් පතර ඒ පහරවල් වළකා ගනිමින් පහර එල්ල කරන්නට රශාදි සමත් විය. කෙසේ වෙතත් තරගය නිමා වූයේ විනිසුරු තීරණ 3-2ක බහුතරයකින් කුමාරිව ඉදිරියට ගෙන යමිනි.

කාන්තා ෆ්ලයි වෙයිට් මීළඟ තරගය මහනුවර පල්ලේබෝවල විද්‍යාලයේ එම්. වීරසූරිය සහ ඉංගිරිය ගාමිණී විද්‍යාලයේ වී. සෙව්වන්දි අතර පැවැත්විය. එහි දී විනිසුරු තීරණ 5-0ක පූර්ණ බහුතරයක් සමඟින් ජය ලබන්නට සෙව්වන්දි සමත් විය. කෙසේ වෙතත් පල්ලේබෝවල වැනි දුෂ්කර ගම්මානයක සිට රාජකීය බොක්සිං කවයට පිය තැබූ වීරසූරිය ගැන කාගේත් අවධානය යොමු විය.

දිනයේ අවසන් තරගය ලෙසින් කාන්තා ෆ්ලයි වෙයිට් බර පන්තිය යටතේ පල්ලේබෝවල විද්‍යාලයේ ඊ. ප්‍රියදර්ශනී සහ නිල් අන්තයෙන් ඩී. කෞශල්‍යා එක්විය. එහි දී නරඹන්නන්ට ප්‍රිය දර්ශනයක් වූ වේගවත් ප්‍රහාර කිහිපයක්ම එල්ල කරමින් ජය ලැබුවේ පල්ලේබෝවල විද්‍යාලයේ ප්‍රියදර්ශනී ය.

කනිෂ්ඨ තරගාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරග යන දෙවර්ගයෙන්ම තරග 11ක් හෙට (04) දිනයේදීත් පැවැත්වීමට නියමිතයි. තරග සවස 3.00 සිට පැවැත්වේ. හෙට දිනයේ පුවත් සඳහා ද රැඳෙන්න ThePapare.com සමඟින්.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට