දැනට ක්‍රිකට් ආයතනය බිලියන 2.4 ණයයි – දයාසිරි ජයසේකර

241
Dayasiri Jayasekara speaks about debt of SLC

“රුපියල් බිලියන 2.4 ක විතර මූල්‍ය වගකීමක් හෙවත් ණයක් මේ වන විට ක්‍රිකට් ආයතනය විසින් විවිධ ආයතන වලට තිබෙනවා.

විශේෂයෙන්ම වරාය අධිකාරිය ඇතුළුව විවිධ ආයතන වෙත ගෙවීමට තිබෙන මූල්‍ය වගකීම් ක්‍රිකට් ආයතනය මගින් ගෙවීමට සිදුවුවහොත් එහි සේවය කරන නිළධාරීන්ට පඩි ගෙවා ගැනීමට නොහැකි තත්වයකට ක්‍රිකට් ආයතනය පත් වෙනවා යැයි” ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔවුන්ට ඔවුන්ගේ ආදායම් වියදම් පිළිබද තත්වයන් හා දැනට තිබෙන මූල්‍යමය තත්වය පිළිබදව විගණන විමසුමක්, විශේෂ ජාත්‍යන්තර පිළිගත් ආයතනයක් වන KPMG ආයතනය මගින් සකස් කර ජුනි මස 21 වන දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍යවරයාට භාර දෙන අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ “අභ්‍යන්තරය නොදැන මේ සම්බන්ධව කරුණු කාරනා නොසොයා සමහර පුද්ගලයින් හා ආයතන පසුගිය කාලවලදී ක්‍රිකට් ආයතනය ගොඩක් ලාභ ලබන බව කිවුවා. නමුත් ඇත්ත තත්වය ඊට හාත්පසින්ම වෙනස් එකක්. විශේෂයෙන්ම සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය ඉදිකිරීමේදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව තමයි එකගතාවයන්ට ඇවිත් තියෙන්නේ. ක්‍රිකට් පාලක මණ්ඩලය සමග වැඩකටයුතු නිසියාකාරව සිදුවූවානම් මේ තරම් ව්‍යසනයක් සිදු නොවීමට ඔවුන් වගබලා ගන්නවා. එසේ වූවානම් මෙම ක්‍රීඩාංගණය සම්බන්ධ නිවැරදි තීන්දු තීරණ ගැනීම ඔවුන් සතු වගකීමක් වෙනවා. නමුත් එය එසේ සිදු නොවී කැබිනට් මණ්ඩලය විසින් ලබා දුන් තීරණයක් අනුව සිදුවූ ක්‍රියාදාමයක් මේක.”

මෙහිදී අමාත්‍යවරයා විසින් සූරියවැව මහින්ද රාපක්ෂ ක්‍රීඩාංගනයේ ඉදිරිම් සම්බන්ධ ගිවිසුම ගැන ප්‍රකාශ කලේ ප්‍රශ්ණ ගණනාවකටම ලක්වූ එකක් බවයි. ගිවිසුමට අනුව ක්‍රීඩාංගනයේ සම්පූර්ණ ඉදිකිරීම් වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 1.2 ක් වුවද පසුව ගිවිසුමට එහා ගිය විශාල මුදලක් වියදම් සදහා ගෙවා තිබෙන බවයි. මේ සම්බන්ධව අපි විධිමත්, නිවැරදි  උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මේ වාර්ථාව අරගෙන ඔවුන්ගේ විධායක කමිටුවට ඉදිරිපත් කල යුතුයි.එතනින් පසු විධායක කමිටුව හරහා ඔවුන් අපිට කියන්න අවශ්‍යයි මොන වගේ තත්වයක්ද තියෙන්නේ, මොන විදියටද ඔවුන් මේ සදහා පිළිතුරු හොයන්නේ, ආණ්ඩුවක් විදියට, ක්‍රීඩා අමාත්‍යාංශය විදියට මොන විදියටද අපි මෙයට සම්බන්ධ වෙන්නේ කියලා.

“මේ තමයි දැනට ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිබෙන සැබෑ තත්වය. අපි මේවා වහන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. පසුගිය කාල වකවානුවේ තිබුණ ප්‍රශ්ණ නිසා අද ක්‍රිකට් පාලක මණ්ඩලය මේ තත්වයට ඇද වැටිලා. මම බලාපොරොත්තු වෙනවා මේ පිලිබදව නිවැරදි තීන්දු තීරණ ගන්න. ක්‍රීඩා අමාත්‍යවරයා විදියට මම අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරලා පළමුව ක්‍රිකට් පාලක මණ්ඩලය මේ තියෙන මූල්‍ය වගකීමෙන් බේරා ගන්න කටයුතු කල යුතුව තිබෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය විතරක් රුපියල් බිලියන 2.4 ක මූල්‍යමය වගකීමක් තියෙනවා. මේ ආකාරයටම තමයි ශ්‍රී ලංකන් එයාලයින් වැනි බොහෝ ආයතන තියෙන්නේ. මේවා ජනතාවගේ මුදල්. ක්‍රීඩකයන් බොහෝම මහන්සිවෙලා, පෙර සිටම ක්‍රිකට් පාලක මණ්ඩලය අවරුදු ගානක් තිස්සේ ගොඩනගාගත්තු මුදල් තමයි මේ විදියට විනාශ වෙන තත්වයට පත් වෙලා තියෙන්නේ. අපි මේ සදහා නිවැරදි පරීක්ෂයක් සිදු කර වගකිවයුත්තන් සොයා බලා ජනතාවට සැබෑ තත්වය පැහැදිලි කර දිය යුතුයි. වැරදි නිවැරදි කල යුතුයි. ඉදිරියේදී අපි මෙවැනි ක්‍රියාකාරකම් සිදු නොවීමට අවශ්‍ය කටයුතු වහාම ක්‍රියාවට නන්වනවා.”

“අද දින මා වෙත ලැබුණු ජාත්‍යන්තර පිළිගත් KPMG ආයතනය මගින් ලැබුණු වාර්ථාව හොදින් කියවා බැලිය යුත්තක්. පළමුව ඔවුගේ කරුණු කාරනා අධ්‍යනය කර නිවැරදි අවබෝධයක් ලැබිය යුතුයි. එමෙන්ම මෙවැනි කරුණු කාරනා ගැන නිතර මාධ්‍ය මගින් පෙන්වා දෙනවා. විවිධ අවස්ථාවලදී චෝදනා ඉදිරිපත් කිරනවා. මම පැහැදිළිව කියන්න කැමතී නිවැරදි තොරතුරු මා වෙත ඉදිරිපත් කලහොත් ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට කිසිදු අවස්ථාවක පසුබට නොවන බව.”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ.මතිවානම්, භාණ්ඩාගාරික ශම්මි සිල්වා සහ නුස්කි මොහොමඩ් යන මහත්වරුන් සහභාගි විය.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට