ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තරඟාවලියක් වන කැවල්රි සුපර්ක්‍රොස් 2016 තරඟාවලිය, 2016 ජුනි 12 වනදා කුරුණෑගල පන්ගොල්ල ධාවන පථයේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සහ ධාවකයින්ගේ සංගමය හා ඒකාබද්ධව ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය මෙම තරඟාවලිය සංවිධානය කරයි. දිවයිනේ හොඳම රියදුරන් සහ ධාවකයින් තරඟ වදින තරඟ 4 කින් සමන්විත “සියැට් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2016” මෝටර් රථ ධාවන තරඟ මාලාවේ පළමුවන තරඟය මෙයයි.
ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත්ව සිට යුද්ධයේදී මියගිය රණ විරුවන්ගේ පවුල් සහ ආබාධිත තත්වයට පත් රණ විරුවන්ගේ සුභ සාධනය සඳහා අරමුදල් එක් රැස් කිරීම පිණිස බ්‍රිගේඩියර් ඉඳුනිල් රණසිංහ ගේ සංකල්පයක් මත කැවල්රි සුපර්ක්‍රොස් තරඟාවලිය 2010 දී ඇරඹිණ. එපමණක් නොව බලකායට අයත් හමුදා කඳුවරු වල පහසුකම් නැංවීම යටතේ නිලධාරි, සෙසු භට නිවස්නයන් අළුත්වැඩියා කිරීම සහ පහසුකම් නැංවීම, එම කඳවුරු අවට පරිසර අලංකරණය, සෞඛ්‍ය, සහ නේවාසිකාගාර, ආහාර ගැනීමේ පහසුකම් ආදී පහසුකම් වැඩිදියුණු කිරීමට ද මෙම ආධාර මුදල් යොදා ගැනේ.
කැවල්රි සුපර්ක්‍රොස් 2016 පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවට යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකා කර්නල් සේනා විධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, සංවිධායක කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ඉඳුනිල් රණසිංහ එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වු බ්‍රිගේඩියර් ඉඳුනිල් රණසිංහ සඳහන් කළේ කැවල්රි සුපර්ක්‍රොස් 2016 යළි පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි. ධාවන තරඟ සඳහාම සුදුසු පරිසරයක විශේෂයෙන් සැකසූ ධාවන පථයක රියදුරන්ට සහ පැදිකරුවන්ට තමන්ගේ උපරිම දක්ෂතා දැක්වීමට මෙහිදී අවස්ථාව සලසා ඇති බවත්, දහස් ගණන් ජනයාට මෙම තරඟාවලිය නැරඹීමට පහසුකම් සලසා ඇති බවත් බ්‍රිගේඩියර් ඉඳුනිල් රණසිංහ පෙන්වා දුන්නේය. මෙම තරඟාවලියට සහභාගි වීම තුළින් අනිකුත් දේශිය හා ජාත්‍යන්තර තරඟ සඳහා පෙර අත්දැකීමක් ලැබිය හැකි බවද හෙතම සඳහන් කළේය.

මෙම තරඟාවලියේ ඉතිහාසය පිලීබඳව මතකය අවධි කරමින් බ්‍රිගේඩියර් රණසිංහ සඳහන් කළේ ධාවකයින්ට සහ පැදිකරුවන්ට සැබෑ අභියෝගයක් දීම සදහා කුරුණෑගල පන්ගොල්ල 5 වන විමර්ශන රෙජිමේන්තු නිවහන වන “අයන්සයිඩ්“ කඳවුරු භුමියේ වසර 2010 දී මෙම ධාවන පථය ඉදිකළ බවයි. කුරුණෑගල රිදියගල්ල සහ රම්බඩගල්ල කඳුවැටි පසුබිම් කරගනිමින් ඉදිකර ඇති මෙම දර්ශණිය ධාවන පථය සඳහා හිටපු හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසුරිය සහ එවක ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කර්නල් සේනා විධායක මේජර් ජෙනරාල් නිරංජන් රණසිංහ ඒ සඳහා මඟ පෙන්වු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. එමෙන්ම මෝටර් ධාවන ක්ෂේත්‍රයේ ප්‍රවිනයන් දෙපලක් වන හාන්ස් රැල්ෆ් කාපින්ස්කි සහ නිෂාන් වාසල තන්ත්‍රී මෙම ධාවන පථය සැලසුම් කිරීම සහ එය ඉදිකිරීමේ කටයුතු සිදුකළ බවද බ්‍රිගේඩියර් රණසිංහ සඳහන් කළේය. එපමණක් නොව ශ්‍රී ලංකා මෝටර් වාහන ධාවකයින්ගේ සහ පැදිකරුවන්ගේ සංගමයේ එවක සභාපති රොඩ්නි මේසන්, ධාවන ශුර ගයාන් සඳරුවන්, ආදී ප්‍රවිණයින් විශේෂඥ අදහස් මෙම ධාවන පථය සැකසීම සඳහා ලබාදුන් බවද බ්‍රිගේඩියර් රණසිංහ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

“සියැට් ශ්‍රී ලංකා සුපර් සීරිස් 2016“ යටතේ පැවැත්වෙන පළමු තරඟාවලිය මෙය වන අතර මෙම තරඟාවලියෙන් අමතරව ජුලි 31 වනදා පන්නල ධාවන පථයේදී “පන්නල සර්කිට් මීට් 01“ පැවැත්වෙන අතර, ඔක්තොබර් 9 වනදා “කොමාන්ඩෝ චැලෙන්ජ්“ තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව නොවැම්බර් 13 වනදා “පන්නල සර්කිට් මීට් 02“ තරඟාවලිය ද පැවැත්වීමට නියමිතයි.






















