චන්ද්‍රගුප්තගේ සටන්කාමී ඉනිම ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ගෙනෙයි

3304
SL President's v England lions Practice match day 2 report

ඊයේ දිනයේ එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ තරුණ වේග පන්දු බල ඇණියට මුහුණ දිය හැකි ආකාරයක් සිතාගත නොහැකිව මංමුළා වුනු ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම මුහුණපා සිටියේ තරග පරාජයක දැඩි අවදානමකටයි. එය තවතවත් තීව්‍ර කරමින් සාර්ථක පිතිකරණයක යෙදුනු එංගලන්ත පිතිකරුවන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 168ක් ලබා සිටියහ.

දේශීය පිටියේ ප්‍රමුඛයින්ට එංගලන්ත සිංහයින්ගෙන් රතු එළියක්

ජාත්‍යන්තර තරග අත්දැකීම් අතින් අඩු වූවත් දේශීය පිටියේ මනා පළපුරුද්දක් සහිත ක්‍රීඩකයින් රැසකින් සමන්විත ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායමට අද (12) සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හමුවේ සාර්ථක වීමට හැකි වූයේ නැත.

නමුත් අද දිනයේ (13) එංගලන්ත ලයන්ස් ලකුණු පුවරුව තවත් ලකුණු 111කින් වැඩි දියුණු වෙද්දී ඉතිරි ප්‍රතිවාදී කඩුලු 6ත් බිඳ හෙලන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. ලයන්ස් පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට ප්‍රබලම තර්ජනය බවට පත්වුනු ටොම් වෙස්ට්ලි හතරේ පහර 15ක් සමගින් ලකුණු 95ක් රැස්කල අතර ලියාම් ලිවින්ග්ස්ටන් ලකුණු 84කින් එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීය. මොවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක්කල ලකුණු 136ක සුපිරි සබඳතාවය නොවන්නට මෙම තරගය මීට වඩා වෙනස් දිශානතියක් කරා ඇදී යාමට ඉඩ තිබුණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් වැඩිම කාර්‍යභාරයක් ඉටුකලේ මේ දිනවල පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන මලින්ද පුෂ්පකුමාරයි. ඔහු තම වමත් පිට දඟ පන්දුවේ ආධාරයෙන් ලයන්ස් කඩුලු 3ක් බිඳ හෙලීය. මීට අමතරව විමුක්ති පෙරේරා, නිසල තාරක සහ තරිඳු කෞෂාල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ප්‍රථම ඉනිමේදී වැරදී ගිය පිතිකරණ ගැටලුව නිරාකරණය කර ගැනීමේ අපේක්ෂාවෙන් මොරටුව ද සොයිසා පිටිය මැදට අවතීර්ණ වුනු ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 4කට ලකුණු 182ක් රැස් කිරීමට සමත් විය. දක්ෂතාවයෙන් පිරිපුන් වූවත් මෙම තරගයේදී වාසනාව තමන් සමග නොසිටීම නිසා ප්‍රථම ඉනිමේදී ලකුණු 2කින් අර්ධ ශතකය අහිමි කරගත් රොන් චන්ද්‍රගුප්තට දෙවැනි ඉනිමේදී ලකුණු 9කින් ශතකය අහිමි විය.

කෙසේවෙතත් දණින් වැටී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් දෙපයින් නැගී සිටීමට අවස්ථාව හිමිකර දෙමින් හතරේ පහර 14ක් සමගින් ඔහු රැස්කල ලකුණු 91 ශතකයටත් වඩා වැඩි වටිනාකමකින් යුක්ත විය. දකුණත් පිතිකරු ඉරෝෂ් සමරසූරිය (42) සමගින් එක්වුනු රොන් චන්ද්‍රගුප්ත දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114ක සබඳතාවයක් පිහිටුවීමට ද සමත් විය.

මේ වනවිට ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම තවත් කඩුලු 6ක් අතැතිව එංගලන්ත ප්‍රථම ඉනිමට වඩා ලකුණු 56ක් ඉදිරියෙන් පසුවන නිසා හෙට දිනයේ දෙපිළේ ක්‍රීඩකයින් දක්වන දක්ෂතා තරගයේ ප්‍රතිඵලය කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු ඇත. එහිදී මේ වනවිටත් නොදැවී ලකුණු 32ක් ලබාගෙන පන්දුවට පහර දෙන මෙවර දේශීය තරග වාරයේ සාර්ථක පිතිකරුවෙකු වන ලියෝ ෆ්‍රැන්සිස්කෝට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමේ වැඩි වගකීමක් හිමිව ඇති අතර දඟ පන්දුව එතරම් හුරු නැති එංගලන්ත පිතිකරුවන්ව හැකි ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යැවීමේ වගකීම මලින්ද පුෂ්පකුමාරට සහ තරිඳු කෞෂාල්ට භාරවනු ඇත.

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 53.3): රොන් චන්ද්‍රගුප්ත 48, ඩිලාන් ජයලත් 26, තරිඳු කෞෂාල් 18*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 11, ටොම් හෙල්ම් 3/18, ටොම් කුරාන් 2/23, ක්‍රේග් ඕවර්ටන් 2/31.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 279 (පන්දුවාර 69.1): ටොම් වෙස්ට්ලි 95, ලියාම් ලිවින්ග්ස්ටන් 84, සෑම් කුරාන් 24, කීතන් ජෙනින්ග්ස් 13, මලින්ද පුෂ්පකුමාර 3/82, විමුක්ති පෙරේරා 2/27, නිසල තාරක 2/60, තරිඳු කෞෂාල් 2/59.

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 182 (පන්දුවාර 57): රොන් චන්ද්‍රගුප්ත 91, ඉරෝෂ් සමරසූරිය 42, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 32*, නිපුන් කරුණානායක 5, හෂාන් ප්‍රභාත් 2*, රෝලන්ඩ් ජෝන්ස් 1/10, ටොම් කුරාන් 1/18.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න ක්‍රිකට් ක්‍රීඩා පිටුවට