මයිලෝ පාසල් වර්ණ ප්‍රදානයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 469කට සම්මාන

160

අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාව හා සී/ස නෙස්ලේ ලංකා සමාගම එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රය තුළ අතිශය උත්කර්ෂවත් සම්මාන උළෙල වන “ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා මයිලෝ වර්ණ ප්‍රදානෝත්සවය 2014” ජුනි මස 26 වැනිදා පස්වරු 2.00ට කොළඹ නෙලුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වේ.

නෙස්ලේ ලංකා සමාගම 23 වැනි වරටත් අනුග්‍රාහක දායකත්වය සපයන මෙම වර්ණ ප්‍රදානෝත්සවයේදී 2014 වසරේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ හෝ සහභාගිත්වය දක්වන ලද පාසල් ක්‍රීඩා 31ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 469 දෙනකු වර්ණ ලැබීමට නියමිතය.

ඒ අතර පාසල් සංගම්වල යෝජනා අනුව පසුගිය වසරේ විශේෂ කුසලාත දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22කට විශේෂ සම්මාන ලබා දීමටද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇති අතර අදාළ සම්මානයට පාත්‍ර වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් එක් ක්‍රීඩාවන්ට අදාළව නැඟී එන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස පාසල් ක්‍රීඩා කවුන්සිලයේ විශේෂ තේරීම් කමිටුව මගින් තෝරා ගැනීම් සිදුකර ඇත.
මේ අතර මෙම වර්ණ ප්‍රදානෝත්සවයට වුෂු, මල්ලවපොර සහ කබඩි යන ක්‍රීඩා නියෝජනය කරන එකදු ක්‍රීඩකයකු ඇතුළත් නොවන අතර එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම ක්‍රීඩා නියෝජනය කරන පාසල් සංගම් ක්‍රීඩක නාම යෝජනා භාර නොදීම බව වාර්තා වේ.