අවිශ්ක සහ සහන් ශතක වාර්තා කරයි

30th Singer - MCA Super Premier League 2023

289
30th Singer - MCA Super Premier League 2023

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම එක්ව 30 වැනි වරටත් සංවිධානය කරන වෙළඳසේවා Super Premier League ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් අද (28) නිමා වුනා.

එම තරගවල දී CL Synergy Limited නියෝජනය කළ අවිශ්ක තරිඳු සහ සහන් ආරච්චිගේ ශතක ලබා ගනිමින් දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වූයේ ද්විත්ව ශතක සම්බන්ධතාවක් ද තම කණ්ඩායමට එක් කරමින්.

Mode Engineering සහ Fairfirst Insurance FTZ කටුනායක

කාසියේ වාසිය දිනා ගත් Fairfirst ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Mode Engineering ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 134ක් ලබා ගත්තා.

එම ඉනිම ඒ තරමින් පාලනය කිරීමේ දී අසේල් සිගේරා ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව කොෂාන් ජයවික්‍රම සහ තනුක දාබරේ කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමින් ජයග්‍රහණය කරා යෑමේ දී අනුක් ප්‍රනාන්දු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා.

  • Mode Engineering – සියලුම දෙනා දැවී 134 (38.3) ටෙරොන් ෂෙහාන් 31, සංජුල බණ්ඩාර 29, කොෂාන් ජයවික්‍රම 3/30, තනුක දාබරේ 3/41, අසේල් සිගේරා 3/12

  • Fairfirst Insurance – කඩුලු 5ක් දැවී 137 (23.3) අනුක් ප්‍රනාන්දු නොදැවී 50, මිනෝද් භානුක 30, උමේෂ් ලක්ෂාන් නොදැවී 19, දුලාජ් අශේන් 2/43, තීසාන් විතුසාන් 2/15

Fairfirst Insurance කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

BBK Partnership සහ John Keells A – වෙළඳසේවා ක්‍රිකට් පිටිය

කාසියේ වාසිය දිනූ John Keells A ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි BBK Partnership සියලුම දෙනා දැවී ලකුණු 191ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් John Keells A වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 138ක් ලබා සිටියා.

එතැන් සිට නැවත තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඒ අනුව තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත සිදු වුනා. එම අවස්ථාව අනුව John Keells A ක්‍රීඩකයෝ ලබා සිටිය යුතු වූයේ කඩුලු 5කට ලකුණු 116ක් පමණයි. ඒ අනුව ඔවුන්ට ලකුණු 22ක ජයග්‍රහණයක් හිමි වුනා.

BBK Partnership ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 102ක සබඳතාවක් එක් කිරීමට සොහාන් ද ලිවේරා සහ නායක සංගීත් කුරේ සමත් වුනා.

සොහාන් ද ලිවේරා පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා ගනිද්දී, සංගීත් කුරේ පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.

ජයග්‍රාහී John Keells A වෙනුවෙන් අහන් වික්‍රමසිංහ පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකරු විනුර දුල්සර පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

  • BBK Partnership – සියලුම දෙනා දැවී 191 (45.2) සොහාන් ද ලිවේරා 51, සංගීත් කුරේ 42, ෂෙරාන් ෆොන්සේකා 39, ඉසිත විජේසුන්දර 19, අකිල ධනංජය 2/42, ඒෂාන් මාලිංග 3/40, නිමේෂ් විමුක්ති 2/20, දුනිත් වෙල්ලාලගේ 3/33

  • John Keells A – කඩුලු 5ක් දැවී 138 (27) විනුර දුල්සර 45, අහන් වික්‍රමසිංහ 52, දුනිත් වෙල්ලාලගේ නොදැවී 18, ඉසිත විජේසුන්දර 2/38

John Keells A කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 22ක ජයක්.

CL Synergy Limited සහ Hayleys Group ANCC ක්‍රීඩාංගණය

කාසියේ වාසිය දිනා ගත් CL Synergy Limited පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 308ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් අවිශ්ක තරිඳු සහ සහන් ආරච්චිගේ ශතක ලබා ගැනීම කැපී පෙනුණා. අවිශ්ක තරිඳු පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ 6 පහර 2ක් සමඟින් ලකුණු 112ක් ලබා ගනිද්දී, සහන් ආරච්චිගේ පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 151ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 231ක සබඳතාවක් එක් කළා.

එම ඉනිමෙන් අනතුරුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි Hayleys Group A කණ්ඩායමට ක්‍රීඩා කළ හැකි වූයේ පන්දුවාර 29ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය එතැන් සිට නතර වූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ජයග්‍රහණය සඳහා ඔවුන්ට දැවී ගිය කඩුලු 5ට ලකුණු 199ක් ලබා ගත වූවා. නමුත් ඔවුන්ගේ ඉනිම ලකුණු 120කට සීමා වීම හේතුවෙන් ජයග්‍රහණය  CL Synergy Limited සතු වුනා.

  • CL Synergy Limited – කඩුලු 5ක් දැවී 308 (50) අවිශ්ක තරිඳු 112, සහන් ආරච්චිගේ නොදැවී 151, කවිශ්ක අංජුල 4/64
  • Hayleys Group A – කඩුලු 5ක් දැවී 120 (29) ටී. එම්. සම්පත් 20, රොන් චන්ද්‍රගුප්ත 31, නුවනිඳු ප්‍රනාන්දු 19, මොහොමඩ් ෂමාස් නොදැවී 22, සොනාල් දිනූෂ 3/23

CL Synergy Limited කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 78ක ජයක්.

CDB A සහ HNB A – දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණය

කාසියේ වාසිය දිනා ගත් CDB A කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි  HNB A ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 216ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු අසිත වන්නිනායක පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා.

ඊට අමතරව නායක මාධව වර්ණපුර පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි CDB A කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 8ක් පමණයි. ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් තරගය නිමා කළ අතර ඒ වෙද්දී ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 40ක් ලබා සිටියා.

  • HNB A – කඩුලු 8ක් දැවී 216 (50) අසිත වන්නිනායක 60, මාධව වර්ණපුර 42, රවීන් ද සිල්වා නොදැවී 32, මුදිත ලක්ෂාන් 2/30, ලක්ෂාන් සඳකැන් 2/32

  • CDB A – කඩුලු 3ක් දැවී 40 (8) ලසිත් කෲස්පුල්ලේ නොදැවී 25, සඳුන් වීරක්කොඩි 2/20

තරගයේ විසඳුමක් නෑ.

Singer – MCA Super Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<