නව ශ්‍රී ලංකා වාර්තා 3ක් සමඟින් තරග වාර්තා 2ක්

127

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගියදා නිමාවූ 93 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා තුනක් සමඟින් නව තරග වාර්තා දෙකක් බිහිකිරීමට සමත්ව තිබූ අතර කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම ගත් කල තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩබ්ලිව්.පී. මංජුල කුමාර දිනාගනු ලැබුවේය.

එසේම සමස්ත තරගාවලියේ දක්ෂතම පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානයද මංජුල විසින් දිනාගනු ලබද්දී දක්ෂතම කාන්තා ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලානි රත්නායක සම්මාන ලැබුවාය.

ඒ අනුව මෙවර තරගාවලියේදී මීටර් 3000 බාධක දිවීම, කාන්තා රිටි පැනීම හා සත්ප්‍රයාම යන ඉසව් ත්‍රිත්වයෙහි නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවූ අතර කාන්තා තුන් පිම්ම සහ කාන්තා මිටිය විසිකරීම යන ඉසව්වන්හි නව තරග වාර්තා පිහිටුවීමට සමත්විය.
තරගාවලියේ පළමු දිනයේදීම මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලානි රත්නායක මි. 10.09.49ක කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබූ අතර ඇය විසින් එම ඉසව්වේ ශූරතාව හිමිකරගෙන තිබුණේ මීට පෙර එම ඉසව්වේ එරංගා දිල්රුක්ෂි විසින් තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාවද බිඳ දමමිනි.

එසේම කාන්තා රිටි පැනීමේ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනෝමා කරුණාවංශ මීටර් 3.33ක උසක් වාර්තා කරමින් එම ශූරතාව දිනාගැනීමට සමත්වූ අතර එය මෙවර ජාතික තරගාවලිය තුළ අලුත් කළ දෙවැනි ශ්‍රී ලංකා වාර්තාව බවට පත්විය. සත්ප්‍රයාම ඉසව්වේ ශූරතාව හිමි කරගත් යුද හමුදාවේ එල්. සුගන්ධි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් එම ඉසව්වේ ශූරතාව දිනාගනු ලැබුවාය.
තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්වේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ මනෝජි අමරසිංහ එම ඉසව්ව මීටර් 42.22ක දුරක් සටහන් කරමින් නව තරග වාර්තාවක් බිහිකිරීමට සමත්වූ අතර කාන්තා තුන්පිම්ම ඉසව්වට සහභාගි වූ දක්ෂ පාසල් ක්‍රීඩිකාවක වන විදූෂා ලක්ෂාණි පෙරේදා දින මීටර් 13.30ක දුරක් සටහන් කොට නව තරගාවලි වාර්තාවක් සමගින් ශූරතාව දිනාගැනීමට සමත් වූවාය.


තෙවන දින ශූරතා – පිරිමි
ඇවිදීමේ තරගය _ එස්.එන්. අප්පුහාමි (ගුවන් හමුදා)
මීටර් 110 කඩුලු _ පී.එච්. නිර්මාල් (නාවික හමුදා)
දුර පැනීම _ පී. විමලසිරි (යුද හමුදා)
මීටර් 400 කඩුලු _ අරවින්ද චතුරංග (යුද හමුදා)
මීටර් 200 – කේ. එච්. ඒෂාන් (යුද හමුදා)
මීටර් 800 _ මදුශාන් හේරත් (යුද හමුදා)
මීටර් 5000 _ එල්. සමරජීව (යුද හමුදා)
හෙල්ල විසිකිරීම _ එස්. ජේ. රණසිංහ (ගුවන් හමුදා)
දශ ප්‍රයාම _ ඩී.එස්. පෙරේරා (ගුවන් හමුදා)
කාන්තා
ඇවිදීමේ තරගය _ පී.බී. ගයනි (යුද හමුදා)
මීටර් 100 කඩුලු _ අයි. එස්. රාජසිංහ (යුද හමුදා)
මිටිය විසි කිරීම _ එම්. අමරසිංහ (යුද හමුදා)
මීටර් 400 කඩුලු _ ආර්. දුලක්ෂි (ගුවන් හමුදා)
මීටර් 200 – ටී.එස්. කරුණාතිලක (යුද හමුදා)
මීටර් 800 _ ඒ. නිමාලි (ගුවන් හමුදා)
සත් ප්‍රයාම _ වී. එල්. සුගන්දි (යුද හමුදා)