රාජකීයයේ මංචනායකගෙන් දක්ෂ පිතිකරණයක්

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

265
U19 Schools Cricket 2021 Roundup

සාන්ත පීතර විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර 70 වැනි වරටත් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ දෙදින සුහද ක්‍රිකට් තරගය අද (22) ආරම්භ වුනු අතර තරගයේ පළමු දිනයේ වැඩි ගෞරවය දිනා ගැනීමට සාන්ත පීතර විද්‍යාලයට අවස්ථාව හිමි වුනා.

සාන්ත පීතර විද්‍යාල ක්‍රිකට්  පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර නායක නිපුනක ෆොන්සේකා පළමුව පන්දුවට පහර දීම සඳහා අහන් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් රාජකීය විද්‍යාලයට ආරාධනා කළා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:   

පළමුව පිටියට පිවිසි රාජකීය විද්‍යාලයේ පළමු කඩුලු දෙක ඉතාමත් ඉක්මණින් දවා ගැනීමට වමතින් වේගපන්දු යවන දනාල් හේමානන්ද ඇතුළු සාන්ත පීතර විද්‍යාල පන්දු යවන්නන් සමත් වුනා. එහි දී ගොඩනැංවුණු පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම ලකුණු අතරට පිවිසි අහන් වික්‍රමසිංහගේ කඩුල්ල ලකුණු 40කට දවා ගැනීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි වුනු අතර එය සත්කාරකයින්ට විශාල වාසියක් වුනා. 

රාජකීය විද්‍යාලයේ මුල්පෙළ සහ මැදපෙළ ක්‍රමයෙන් අසාර්ථක වන විට ඔවුන්ගේ පසුපෙළ සමඟ හොඳ සබඳතාවයන් කිහිපයක්ම ගොඩනංවාගත් දසිස් මංචනායක, නොදැවී ලකුණු 81*ක් වාර්තා කරගනිමින් සිය විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 216ක් දක්වා රැගෙන ගියේ සැලකිය යුතු මට්ටමක තරගයක් දිය හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කරගනිමිනි. 

ඒ සඳහා ගිශාන් බාලසූරිය සහ කඩුලු රකින පිතිකරු සෙහාන් හේරත් ද පිළිවෙළින් ලකුණු 30ක් සහ ලකුණු 26ක් රැස්කර ගනිමින් සිය දායකත්වය ලබා දුන්නා. පන්දු යැවීමේ දී සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් දිගින් දිගටම කඩුලු අතර සිටින වමතින් වේගපන්දු යවන 18 හැවිරිදි දනාල් හේමානන්ද මෙම තරගයේ දී ද ලකුණු 37කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා. ඔහු පසුගිය දා ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පැවති දෙදින තරගය පුරාවට ලකුණු 76කට කඩුලු 7ක් දවා ගත්තා. 

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සාන්ත පීතර විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 43ක් රැස්කර ගෙන සිටියේ රාජකීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 173ක් පසුපසින් සිටිමිනි. නොදැවී ක්‍රීඩා කරමින් සිටින ශෙනාල් බොතේජු ලකුණු 23*යි. 

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 216 (68.3): දසිස් මංචනායක 81*, අහන් වික්‍රමසිංහ 40, ගිශාන් බාලසූරිය 30, සෙහාන් හේරත් 26, දනාල් හේමානන්ද 4/37, වනුජ කුමාර 2/68, ජෙසුරන් බෙන්ජමින් 2/27. 

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 43/1 (23): ශෙනාල් බොතේජු 23*. 

මෙම තරගය හෙට (23) දින දෙවන දිනයටත් පැවැත්වෙනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<