ගෙවුණු 2025 වසර ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට බලාපොරොත්තු සහගත හැඟීමක් ඇති කළ වසරක් ලෙස හඳුන්වා දිය හැකි.
විශේෂයෙන්ම රුමේෂ් තරංගගේ හෙල්ල විසි කිරීමේ දක්ෂතා සමඟ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට වෙත විශේෂ අවධානයක් යොමු වූ අතර, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා යෞවනයින් ද එම අවධානය දෙගුණ, තෙගුණ කිරීමට සමත් වුනා.
ගෙවුණු වසරේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මතක සටහන් දෙස මෙතැන් සිට හැරී බලමු!
ආසියාවේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ ත්‍රිත්වයක්
මෙම වසරේ මැයි මාසයේ දී දකුණු කොරියාවේ Gumi හිදි 26 වැනි ආසියානු මලල ක්‍රීඩා උළෙල ක්‍රියාත්මක වුනා.
මේ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් සමඟින් පදක්කම් සටහනේ 18 වැනි ස්ථානයට පත් වීමට සමත් වුනා.
මෙහි දී පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කළ කාලිංග කුමාරගේ විසින් තත්පර 45.55ක තරග නිමි කාලයක් සමඟ ලෝකඩ පදක්කම හිමි කර ගනිද්දී, ශ්‍රී ලංකා කාන්තා මීටර් 400×4 කණ්ඩායම ද ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට සමත් වුනා.
මේ අතර ශ්‍රී ලංකා මිශ්‍ර 400×4 කණ්ඩායම ද තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා යෞවනයින් ද ආසියාවේ දී වැජඹෙයි
තෙවැනි ආසියානු ක්‍රීඩා උළෙල ද මෙම වසරේ ඔක්තෝබර් මාසයේ දී බහරේනයේ දී පැවැත්වුණු අතර, එහි දී ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් හතක් සමඟ පදක්කම් සටහනේ 26 වැනි ස්ථානයට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්.
මින් පදක්කම් හයක් ම මලල ක්‍රීඩාව හරහා ශ්‍රී ලංකාවට හිමි වූ අතර, එහි දී පිරිමි මීටර් 800 ඉසව්ව නියෝජනය කළ ලහිරු අචින්ත විසින් ඓතිහාසික රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එමෙන්ම ඊට අමතරව ශ්‍රී ලංකාවට තවත් එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනා ගැනීමට ද හැකියාව ලැබීම විශේෂත්වයක්.
එයත් සමඟ ශ්‍රී ලංකා යෞවනයන් අනාගතයේ දී ආසියාව අබිබවා යෑමට සූදානමින් සිටින බවටත් ඉඟි ලබා දීමට සමත් වුනා.
චමෝද් සහ නදීශා තායිවානයේ දී දස්කම් අතරට
මේ අතර Taiwan Open Athletics Championship 2025 මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ පිරිමි මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කර ගන්නා අතරේ, කාන්‍තා හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කළ නදීශා ලේකම්ගේ රිදී පදක්කමක් ජය ගැනීමට සමත් වුනා.
මේ අතර පිරිමි උස පැනීම ඉසව්වට සහභාගී වූ ලෙසඳු අර්ථවිදු හය වැනි ස්ථානයට පත් වුනා.
ලෝක ශූරතාවේ ශ්‍රී ලංකා දක්ෂතා
මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වුනා. මෙහි දී කාන්තා මීටර් 400 ඉසව්ව නියෝජනය කළ නදීශා රාමනායකට බලාපොරොත්තු වූ තරමේ දක්ෂතාවක් දැක්වීමට නොහැකි වුනත්, පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වට සෘජු සුදුසුකම් ලබාගත් සුමේධ රණසිංහ සහ රුමේෂ් තරංග දෙදෙනා ම ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වුනා.
මෙහි දී ඉසව්වේ මූලික වටයේ A කාණ්ඩය නියෝජනය කළ එම කාණ්ඩය තුළ 08 වැනි ස්ථානයට පැමිණීමට සමත් වූ නමුත්, ඔහුට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනේ නැහැ. කෙසේ වෙතත් මූලික වටයේ දී B කාණ්ඩය නියෝජනය කළ රුමේෂ් විසින් 06 වැනි ස්ථානයට පත් වෙමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
අවසන් තරගයේ දී රුමේෂ් විසින් මීටර් 84.38ක දක්ෂතාවක් දක්වමින් ඉසව්වේ 07 වැනි ස්ථානයට පත් වීමට සමත් වුනා.
ඔහුගේ මෙම වසර තුළ දක්ෂතා පිළිබඳ මෙම ලිපියේ පහතින් සඳහන් වනු ඇති.
ශ්‍රී ලංකාව ඉන්දියාවට පමණක් දෙවැනි වෙයි
රුමේෂ්ට ලෝකයේ හත් වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනත්, ඉන් ටික කලකට පසුව ඉන්දියාවේ රන්චි හිදි පැවැත්වුණු 04 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී පහසුවෙන් ම රන් පදක්කම කරා යාමට හැකියාව ලැබුණා.
මෙවර තරගාවලියට පාකිස්තානය සහභාගී නොවූ නමුත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකිනෙකාට නොදෙවෙනි ඉතා විශිෂ්ට තරගයක යෙදුණා
එහි දී ඉන්දියාව විසින් රන් පදක්කම් 20ක් ජයග්‍රහණය කරනා අතරේ දී, ශ්‍රී ලංකාව රන් 16ක් ජය ගැනීමට සමත් වුනා.
එමෙන්ම ශ්‍රී ලංකාව මෙහි දී සමස්ත පදක්කම් 40ක් ලබා ගැනීමට ද සමත් වුනා.
චමෝද් යෝධසිංහ දකුණු ආසියාවේ වේගවත් ම පිරිමියා ලෙස සම්මාන දිනා ගනිද්දී, ශාෆියා යාමික් දකුණු ආසියාවේ වේගවත් ම කාන්තාව ලෙස කිරුළු දැරීමට සමත් වුනා.
ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට දකුණු ආසියානු මලල ක්‍රීඩාව තවමත් ඉතා සුළු අභියෝගයක් බව මෙවර ක්‍රීඩා උළෙලේ දී පැහැදිලිව දක්නට ලැබුණු කාරණයක්.
- අච්චුපොතේ පින්තූරෙන් බර එසවීමට සිත් ගත් CWG වීරයා
- 90 දශකයේ කෙටිදුර රජුන් පසු කර දිවූ සුගත් තිලකරත්න
- ඉඩෝරයකට පසු පැමිණි ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ වසන්තය
- 23 වසරකට පසු මී. 400 පෙරළිකාරිය “නදීෂා”
- අඬන්නෙත්, දුවන්නෙත් රට වෙනුවෙන්
මහනුවර වසරේ රග්බි කණ්ඩායම බවට පත් වෙයි
මහනුවර ප්‍රබල ක්‍රීඩක නයිජල් රත්වත්තේ විසින් සිය දේශීය රග්බි ලීග් දිවිය නිමා කළ තරගයේ දීම මහනුවර කණ්ඩායම විසින් 2024/25 ලීග් රග්බි ශූරතාව ජය ගැනීමට ද සමත් වුනා.
එමෙන්ම මෙම තරග වාරය තුළ වැඩිම ලකුණු ලාභියා ලෙස ද නයිජල් පෙරමුණේ රැඳීමට සමත් වීම විශේෂත්වයක්.
එතැනින් ද නොනැවතුණු මහනුවර කණ්ඩායම විසින් Clifford කුසලානය ද තමන් සතු කර ගැනීමට සමත් වුනා.
ක්ලිෆර්ඩ් කුසලානය වෙනුවෙන් මහනුවර සහ CR & FC කණ්ඩායම් තරග වැදුණු අතර, ලකුණු 41ට 33ක් ලෙස එහි ශූරතාව හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුනා.
එමෙන්ම මේ වන විට 2025/26 දේශීය රග්බි ලීගය ද ආරම්භ වී තිබෙනවා.
ත්‍රිත්ව විද්‍යාලය පාසල් ශූරයින් වෙයි
මෙවර පාසල් රග්බි ලීගයේ ශූරතාව හිමි කර ගැනීමට ඉතා විශිෂ්ට තරග රටාවක නිරත වූ ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා. ලීගය අවසන් වීමටත් ප්‍රථම ත්‍රිත්ව විද්‍යාලය එහි ශූරතාව තහවුරු කර ගැනීමට සමත් වී සිටි නමුත්, ඔවුන් මුහුණ දුන් අවසන් තරගයේ දී සාන්ත පීතර විද්‍යාලය විසින් ඉතා තියුණු සටනකින් අනතුරුව ත්‍රිත්ව විද්‍යාලයට පරාජය උරුම කර දීමට සමත් වීමත් විශේෂත්වයක්.
දේශීය පාපන්දු ලීගය ආරම්භ වෙයි
වසර ගණනාවකට පසුව දේශීය පාපන්දු ලීගය ද ආරම්භ වී ඇති අතර, මේ වන විට ලීගයේ සති තුනක් ක්‍රියාත්මක වී අවසන්.
රග්බි සහ පාපන්දු ලීග ද්විත්වයටම පසුගිය නොවැම්බර් මස අග දී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ නමුත්, මේ වන විට නැවතත් ලීග දෙකම සාර්ථකව ක්‍රියාත්මක වනවා.
ශ්‍රී ලංකා රග්බි ආසියාවේ පෙරමුණට
2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වුනා.
එහි පළමු අදියර චීනයේ දී ක්‍රියාත්මක වූ අතර, එහි දී ශ්‍රී ලංකාව ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත් වුනා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පැවැත්වුණු දෙවැනි අදියරේ දී ශ්‍රී ලංකාව ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ අතර, ඒත් සමඟම සමස්ත තරගාවලියේ දී ලකුණු 19ක් ලබමින් චීනය හා සම තැන් ගනිමින් තෙවැනි ස්ථානයට පත් වීමට සමත් වුනා.
රුමේෂ් තරංග පරිච්ඡේදය
මෙම වසර තුළ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ වටිනාම ක්‍රීඩකයා වීමේ භාග්‍යය රුමේෂ් තරංගට හිමි වුනා.
රුමේෂ් විසින් මෙම වසර නිමා වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් හි 09 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, ඔහුගේ ලකුණු සංඛ්‍යාව 1283ක් ලෙසයි සටහන් වී තිබෙන්නේ. එමෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම් හි මුල් 20 දෙනා අතර සිටින ලාබලතම ක්‍රීඩකයා වන්නේ ද රුමේෂ් වීම විශේෂත්වයක්.
එමෙන්ම රුමේෂ් විසින් මෙම වසර තුළ සිය හොඳම දක්ෂතාව ලෙස මීටර් 86.50ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වී ඇති අතර, එය ක්‍රීඩකයකු ලෙස මෙම වසරේ දක්වා ඇති 09 වැනි හොඳම දක්ෂතාවයි. එමෙන්ම මෙම වසරේ හොඳම හෙල්ල විසි කිරීම් අතරේ රුමේෂ්ගේ දක්ෂතාව 19 වැනි ස්ථානයේ රැඳී තිබෙනවා.
එමෙන්ම ඔහුගේ තරග සගයා වන සුමේධ රණසිංහ ලෝක ශ්‍රේණිගත කිරීම් හි 25 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, ඔහුගේ වසරේ හොඳම දක්ෂතාව ලෙස මීටර් 85.78ක දක්ෂතාවක් රැඳී තිබෙනවා. ඔහුගේ එම දක්ෂතාව ක්‍රීඩකයකු ලෙස මෙම වසරේ 14 වැනි ස්ථානයේ රැඳී තිබීමත් විශේෂත්වයක්.
ගෙවුණු වසරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩා පිටිය මේ අයුරින් ක්‍රියාත්මක වුනා. පෙර සඳහන් කළ අයුරින් මෙම වසර රුමේෂ් තරංග පෙරටු කොටගත් හෙල්ල විසි කිරීමේ වසරක් ලෙස සඳහන් කළ හැකි අතර, ලබන වසර හෙල්ල විසි කිරීමෙන් මෙන්ම අනෙකුත් සියලු ම ක්‍රීඩා ඉසව්වලින් ද ශ්‍රී ලංකාවට ඉතා සුබදායී එකක් වනු ඇතැයි යන්න ThePapare අපගේ ප්‍රාර්ථනයයි.
මෙම වසර මුළුල්ලේ දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කළ අයුරින් ම, ලබන්නා වූ 2026 වසරේ දී ද ක්‍රීඩා පිටියේ සියලු අහු මුළු ආවරණය කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















