විස්සයි විස්සේ ජයග්‍රහණය සොයන පෙර උරුමක්කාරයෝ

331
2021 T20 World Cup

අප සෑම කෙනෙක්ටම සිහින දැකීමට අයිතියක් ඇත. ඒ සිහිනයේ ගිලී සිටීමටත් නොමැති නම් පිනුම් ගැසීමටත් කිසිදු අවසරයක් අවශ්‍ය නැත. අපේ සිහිනවල අයිතිය ඇත්තේ අපටය. මේ වන විට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයා ද සිටිනුයේ එතැනය.

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ ජයග්‍රාහී කණ්ඩායම නම් කරන ලෙස ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක්ට හෝ ප්‍රේක්ෂිකාවකට පැවසුවොත් ඔහුගේ හෝ ඇයගේ පිළිතුර කුමක්වේද?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔක්තෝබර් 10 වැනිදා නිකුත් කරන ලද විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අපේ රට සිටින්නේ 10 වැනි ස්ථානයේ. එමෙන් ම එක් එක් රටවල් නිමා කළ ආසන්නත ම තරගාවලි 5ක ජයග්‍රාහී ප්‍රතිඵල මත සැකසුන ප්‍රතිශත ලැයිස්තුවේ ද අපේ කණ්ඩායමට හිමි වෙන්නේ 10 වැනි තැන.

එසේ වූවත් ලියුම්කරුගේ ‘සිහිනය’ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ දී ජයග්‍රහණය කරනු ඇතැයි යන ‘විශ්වාසයේ’. ‘සිහිනයක්’ ‘විශ්වාස’ කළ නොහැක. නමුත් අපිට ඒ සිහිනයේ හෝ විශ්වාසයේ කිමිදී සිටිය හැකියි. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම අපේ නිසාය.

එක් එක් රටවල් ආසන්නත ම විස්සයි විස්ස තරගාවලි අවසන් කළ අයුරු..,

TEAM MAT W L T AB % ICC R
ඇෆ්ගනිස්තානය 15 12 2 0 1 80.0% 8
එංගලන්තය 17 12 5 0 0 70.58% 1
ඉන්දියාව 19 13 5 0 1 68.42% 2
දකුණු අප්‍රිකාව 18 11 7 0 0 61.11% 5
නවසීලන්තය 21 10 6 0 5 47.61% 4
බංග්ලාදේශය 20 9 7 0 4 45.0% 6
බටහිර ඉන්දීය කොදෙව් 20 8 8 0 4 40.0% 9
පාකිස්තානය 19 7 4 0 8 36.84% 3
ඕස්ට්‍රේලියාව 21 6 15 0 0 28.57% 7
ශ්‍රී ලංකාව 14 3 11 0 0 21.42% 10

(w- Won, L- Lost, T-Tied, AB- Abandon, ICC R- ICC Ranking)

එංගලන්තය

ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින එංගලන්තය මෙවර තරගාවලියේ ඩොලර් පෙට්ටගම උස්සන කණ්ඩායම ලෙසින් බොහෝ දෙනෙක් විශ්වාස කරයි. ඔවුන්ගේ මේ දක්ෂතා එක්දින තරගවල දෙවැනි තැන ද ටෙස්ට් තරගවල සිව්වැනි තැන ද දිනා ගනිමින් තව දුරටත් ස්ථාවර කර ඇත.

මේ විශ්වාසය තව තවත් තීව්‍ර වන්නේ ඔවුන් ආසන්නත ම තරගාවලි 5න් 4ක් ජයග්‍රහණය කරමින් යහපත් මානසිකත්වයෙන් ද සිටින බැවින්. නිමා වූ තරගාවලි අතරින් ඔවුන් ඕස්ට්‍රේලියාව (2-1), දකුණු අප්‍රිකාව (3-0), ශ්‍රී ලංකාව (3-0) සහ පාකිස්තානය (2-1) හමුවේ ජයග්‍රහණය කරන අතර මේ අතරමැද දී තරග වැදුණ ඉන්දීය තරගාවලියෙන් තියුණු නිමාවකින් අනතුරුව 3-2ක පරාජයක් ලබනවා.

තරගාවලියේ වඩාත් දක්ෂතා දක්වනු ලබන ක්‍රීඩකයන් කිහිප දෙනා අතරින් වැඩි දෙනෙක් ම එංගලන්තය සතු වීම ද ඔවුන්ට වඩාත් වාසි සහගත වෙනවා. ICC විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවෙන Dawid Malan එහි පළමු විශ්වාසයයි. එමෙන් ම ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ සිව්වැනි ස්ථානයට ලැයිස්තු ගත ව සිටින වමතින් පා දඟපන්දු යවන Adil Rashid ද ඔවුන් සතු තවත් ‘බුලට්’ එකක්.

>> T20 අභියෝගයට සැරසෙන හිරු නොබසින අධිරාජ්‍යය

ඉන්දියාව

ICC ශ්‍රේණිගත කිරීම් අතර දෙවැනි ස්ථානයේ සිටින ඉන්දියාව මෙවර තරගාවලියට එක් වෙන වඩාත් සටන්කාමී කණ්ඩායමයි. කෙසේ වෙතත් ඔවුන් පසුගිය ජූලි මාසයෙන් පසුව මෙතෙක් විස්සයි විස්ස තරගාවලියකට සහභාගී වී නැහැ.

අවසන් වරට ශ්‍රී ලංකාව සමඟ පැවති තරගාවලියෙන් 2-1ක පරාජයක් ලැබූ ඔවුන් අවසන් තරග 5 ගණනය කිරීමේ දී ශ්‍රී ලංකාව (2-0), නවසීලන්තය (5-0), ඕස්ට්‍රේලියාව (2-1) සහ එංගලන්තය (3-2)කින් පරාජය කරමින් ඉතිරි තරග නිමා කරනවා.

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකරුවා වන Virat Kohli සේ ම ඔහුගේ නායකත්වය ද විශ්වාස කළ නොහැකි ගණයේ දක්ෂතාවලින් පිරී තිබෙනවා. ඊට ම හරියන සටන්කාමී කණ්ඩායමක් ද ඔහු සතුවෙනවා. ඒ අතරින් ICC විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ තෙවැනි තැන අරක්ගෙන සිට K. L. Rahul ද, උපනායක Rohit Sharma ද ඉන්දීය බලඇණියේ දක්ෂ යුදෙව්වෝ.

ඔවුන් ඉදිරියේ ප්‍රදීවාදීන් කුමන දක්ෂතාවක් දැක් වූව ද ඔවුන්ගේ දක්ෂතා ද ඊට නොදෙවෙනු ඇතැයි පෙර තරග වාර්තා අපට බලකර පෙන්වා දෙනවා.

>> 2007න් පසු යළිත් විස්සයි විස්ස කිරුළකට මං සොයන ඉන්දියානුවෝ

පාකිස්තානය

ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී පාකිස්තානය තෙවැනි තැන දිනා සිටියත්, තරගකාරීත්වයෙන් ඔවුන්ට මේ තරගාවලිය තුළ ඉහළ ස්ථානයක් හිමි වේ යැයි සිතිය නොහැකියි. ඒ තව දුරටත් පාකිස්තාන කණ්ඩායම, කණ්ඩායමක් ලෙස ගොනු වී ඇතැයි ප්‍රේක්ෂකයන්ට නොපෙනෙන නිසා.

නමුත් පාකිස්තානය නිමා වූ ආසන්නත ම තරගාවලි 5 තුළ දැක්වූ දක්ෂතා ඉහළ අගයක් ගන්නවා. පාකිස්තානය හා නවසීලන්තය හා පැවැත්වීමට නියමිතව තිබු තරග 5කින් යුත් තරගාවලිය අතහැර දැමුණ පසු ඔවුන්ගේ ඉතිරි තරගාවලි 4න් 3ක ජයග්‍රහණය වාර්තා කරනවා. දකුණු අප්‍රිකාව (3-1), සිම්බාබ්වේ (2-1) සහ බටහිර ඉන්දීය කොදෙව් (1-0) ලෙසින් ඔවුන් එංගලන්තය වෙතින් තරග 2-1ක පරාජයක් ලබනවා.

නායක Babar Azam සහ Mohammad Rizwan ICC විස්සයි විස්ස ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දී පිළිවෙළින් 2 වැනි සහ 7 වැනි තැනට ශ්‍රේණිගත වෙමින් කණ්ඩායමේ විශ්වාසවන්ත ම පිතිකරුවන් බවට පත් වූව ද, නම් කරන ලද අනෙක් ක්‍රීඩකයන්ට තවමත් විශ්වාසවන්ත දෙයක් කිරීමට හැකි වී නැහැ.

කෙසේ වෙතත් මේ වන විට 41 වැනි වියේ පසු වෙන Mohammad Hafeez ප්‍රහාරාත්මක පිතිකරුවෙක් ලෙසින් පාකිස්තාන කණ්ඩායමට යමක් එක් කරනු ඇතැයි විශ්වාස කළ හැකියි.

>> T20 කිරුළේ අනපේක්ෂිත ම කණ්ඩායම – පාකිස්තානය

නවසීලන්තය

මේ දක්වා කිසිදු ලෝක කුසලානයක පහස විඳ නොමැති නවසීලන්තය මෙවර තරගාවලියට එක් වෙන්නේ ටෙස්ට් සහ එක්දින වර්ගීකරණයේ පළමු ස්ථාන දිනා ගත් ආඩම්බරයත් සමඟින්. ඒ ආඩම්බරය මෙවර තරගාවලියේ ජයග්‍රාහකයන් වෙමින් තවත් තීව්‍ර කර ගැනීමට ඔවුන් උත්සාහ කරනවා නියතයි.

නිමා කළ ආසන්නත ම තරගාවලි 5 තුළ ද කිවියන්ගේ දක්ෂතා තිබෙන්නේ ප්‍රශස්ත මට්ටමේ. පාකිස්තානය අතර පැවැති ආසන්නත ම තරගාවලිය අතහැර දැමෙද්දී, ඔවුන් ඊට පෙර පැවැති තරගාවලි 4න් 3ක ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා. පාකිස්තානය 2-1කින්, ඕස්ට්‍රේලියාව 3-2කින්, බංග්ලාදේශය 3-0කින් ජයග්‍රහණය කරන ඔවුන් නැවත වතාවක් තරග වැදුණ බංග්ලාදේශය සමඟ තරගාවලියේ දී 3-2ක පරාජයක් ලබනවා.

නවසීලන්තය සතු ප්‍රබල ම සෙන්පතියා වන්නේ එදාමෙදාතුර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වන Martin Guptill. ඊට නොදෙවෙනි විශ්වාසයක් Davon Conwayගේ ප්‍රහාරාත්මක පිතිකරණයටත් හිමි වෙනවා.

>> කුළුඳුල් විස්සයි විස්ස කිරුළට පෙරගමන් යන කිවියන්

දකුණු අප්‍රිකාව

වත්මන් ශ්‍රේණිගත කිරීම් අනුව 5 වැනි ස්ථානයේ පසුවෙන දකුණු අප්‍රිකාව ද මෙතෙක් විස්සයි විස්ස කිරුළේ පහස විඳ නැති කණ්ඩායමක් ලෙසයි ගණනය වෙන්නේ. එසේ ම මෙවර තරගාවලියේ දී ඔවුන්ගේ බලාපොරොත්තු තවත් ඈත් වෙනු ඇතැයි බොහෝ දෙනෙක්ගේ විශ්වාසයයි.

දකුණු අප්‍රිකාව නිමා වූ ආසන්නතම තරගාවලි 5න් 3ක ජයග්‍රහණ වාර්තා කළත් එකී විශ්වාසය තැබෙන්න තරම් ඔවුන්ගේ දක්ෂතා මුවහත් නැහැ. ඔවුන් බටහිර ඉන්දිය කොදෙව් (3-2), අයර්ලන්තය (3-0) සහ ශ්‍රී ලංකාවට (3-0) එරෙහිව ජයග්‍රහණ වාර්තා කරන අතර පාකිස්තානය වෙතින් තරගාවලි දෙකක් (2-1 සහ 3-1) ලෙස පරාජය වෙනවා.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේ වඩාත් විශ්වාසවන්ත ම ක්‍රීඩකයා වී ඇත්තේ Quinton De Kock. කඩුලු රැකීමේ වගකීමේ ද නිරත De Kock තම දක්ෂතා දකුණු අප්‍රිකාව ඉහළට ඔසවා තැබීමට නිරන්තරයෙන් වෙහෙසෙන ක්‍රීඩකයෙක්. ඒ වගේ ම දකුණු අප්‍රිකාව සතු තවත් තුරුම්පුවක් වෙන්නේ වමත් චයිනමන් පන්දු යවන්නෙක් වන Tabraiz Shamsi. ඔහු ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු වැන්නා වෙමින් එම විශ්වාසය දිනා සිටිනවා.

>> නවක මුහුණුවරකින් කිරුළකට මං සොයන දකුණු අප්‍රිකානුවෝ

බංග්ලාදේශය

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වූව ද බංග්ලාදේශ ක්‍රීඩකයෝ මෙම තරගාවලියට සහභාගී වෙන්නේ ආසන්නත ම තරගාවලි ත්‍රිත්වය ජයග්‍රහණය කරමින්. ඒ සිම්බාබ්වේ, ඕස්ට්‍රේලියා සහ නවසීලන්තය යන රටවලට එරෙහිවයි. තරග 13ක් වූ එම තරගාවලියෙන් තරග 9ක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වෙනවා.

මේ දක්ෂතාත් සමඟ බංග්ලාදේශයේ දක්ෂතා ද පවතින්නේ යම් සැලකිය යුතු මට්ටමේ. එසේ වූවත් ඔවුන් පළමු වටයේ දී පැපුවානිව්ගිනියාව, ස්කොට්ලන්තය සහ ඕමානය සමඟ තරගවලින් ඉහළ ප්‍රසාද ලකුණු ලබා ගනිමින් මේ ගමන ආරම්භ කළ යුතු වෙනවා.

මේ යන ගමනේ දී ඔවුන්ගේ ප්‍රබලතම බලාපොරොත්තු සගයා වී සිටින්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Shakib Al Hasan. ඔහුට අමතර ව පන්දු යවන්නන් අතරින් ඉහළින් ශ්‍රේණිගතව සිටින Mustafizur Rahman ද සිටිනවා.

ඕස්ට්‍රේලියාව

එක්දින පිටියේ 5 වතාවක්ම ලෝක ශූරයින් බවට පත් වූ ඕස්ට්‍රේලියාවට තවමත් විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතාවයක් ලබා ගැනීමට නොහැකි වූ අවාසනාවන්ත කණ්ඩායමක්. මේ අවාසනාව තව දුරටත් පවතී දෝ යන සැකය ඇත්තේ ඔවුන් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ ද රැඳී ඇත්තේ 7 වැනි ස්ථානයේ වන බැවින්.

ඒ අතරට ඔවුන් අවසන් වරට සහභාගී වී ඇති තරගාවලි 5 ම ද පරාජයට පත් වෙමින් මේ තරගාවලියට එක්වීම හේතුවෙන් ඔවුන්ට ඇති අගය අඩු වී තිබෙනවා. එංගලන්තය, ඉන්දියාව, නවසිලන්තය, බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශය වෙතින් ලබන මේ පරාජයන්ට ඔවුන් සහභාගී වූ තරග ප්‍රමාණය 21ක්. ඉන් ඔවුන්ට ජයග්‍රහණය කරන්නට ලැබෙන්නේ තරග 6ක් පමණයි.

කෙසේ වෙතත් තරගාවලිය අවසානයේ කණ්ඩායම් ලැයිස්තු ගත කිරීමේ දී ඉහළ තැනක් ගැනීමට නම් නායක Aaron Finchට සේ ම David Warnerට ද පැවරෙන වගකීම් ඉහළයි. පන්දු යවන්නන් ලෙසින් ද ඉහළින් ශ්‍රේණිගතව සිටින Ashton Agar, Adam Zampa සහ Michel Starc  ද මේ තරගාවලියේ අවාසනාව පරාජය කිරීමට තම දක්ෂතා උපරිමයෙන් දැක් වීමට වෙනවා. එසේ වන්නේ නම් ඔවුන්ට ද මේ තරගාවලියේ තරගකාරී කණ්ඩායම් අතරට ප්‍රවිශ්ට වීමේ හැකියාවෙන් යුක්තයි.

>> තවමත් T20 ලෝක කුසලානයක ජයක් නොලද කැන්ගරු ශූරයෝ

ඇෆ්ගනිස්තානය

තමන් සහභාගී වූ අවසන් තනි තරගාවලි 5ම ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තානය මෙවර තරග බිමට එක් වෙන ඉහළ පෙළින් තරගාවලියට එක්වෙන කණ්ඩායම් අතුරින් අත්දැකීම් අඩුම කණ්ඩායමයි.

නිමා කළ තරගාවලිවල දී ඔවුන් අයර්ලන්තයට එරෙහිව 2-0ක, 3-0ක සහ 2-1ක ජයග්‍රහණ වාර්තා කරන අතර ඊට අමතර ව බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව 2-1ක ද සිම්බාබ්වේට එරෙහිව 3-0ක ද ජයග්‍රහණ වාර්තා කරනවා.

ICC විස්සයි විස්ස තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතරින් පෙරමුණේ පසුවෙන් Mohammad Nabi කණ්ඩායමේ වඩාත් විශ්වාසය දිනා සිටින ක්‍රීඩකයා වන අතර ඔහුට අමතර ව පිතිකරුවෙක් ලෙසින් Hazratullah Zazai ද, පන්දු යවන්නන් ලෙසින් Rashid Khan සහ Mujeeb Ur Rahmanගේ ද දක්ෂතා ඇෆ්ගනිස්තාන දක්ෂතා ලැයිස්තුව සරසනවා.

>> කම්කටොළු රැසක් මැද ලෝක කුසලානයට මුහුණ දෙන ඇෆ්ගනිස්තානුවෝ

බටහිර ඉන්දීය කොදෙව්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ මෙවර තරග බිමට පිවිසෙන්නේ ගියවර ලෝක ශූරයන් වීමේ ගෞරවය ද පෙරදැරිවයි. විස්සයි විස්ස ලෝක කුසලාන 6න් 2කටම උරුමකම් කීමට කොදෙව්වන් සමත් වන්නේ එම ඉතිහාසයේ එවැන්නක් කළ එකම කණ්ඩායම බවට පත්වෙමින්. එබැවින් ඔවුන්ගේ ආඩම්බරකාරකම තවත් වැඩි වෙනවා.

එමෙන් ම මෙවර ද විස්සයි විස්ස පිටියේ වැඩිම අවධානය දිනා සිටින කණ්ඩායම බවට ද කොදෙව්වෝ ඉදිරියෙන් ම පසුවෙනවා. එසේ වූවත් ඔවුන් අවසන් තරගාවලි 5 තුළ ජයග්‍රහණය කර තිබෙන්නේ තරගාවලි දෙකක් පමණයි. ඒ ශ්‍රි ලංකාවට එරෙහිව 2-1ක සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව 4-1ක ජයග්‍රහණයක් ලෙසයි. නවසිලන්තය වෙතින් 2-0ක, දකුණු අප්‍රිකාව වෙතින් 3-2ක සහ පාකිස්තානය වෙතින් 1-0ක පරාජයක් ඔවුන් ලැබුවා.

පළමු ලෝක කුසලානයේ සිට ම ක්‍රීඩා කරන Chris Gayle කොදෙව්වන්ගේ ප්‍රමුඛතම බලාපොරොත්තුවයි. 42 වැනි වියේ පසුවන Gayle මේ දක්වා පැවති සියලුම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිවලට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතලොස්සෙන් ද එක් අයෙක්. තරග මාලාවේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතරින් මහේල ජයවර්ධනයට පමණක් දෙවැනි වන Gayleට එහි පළමු තැන හිමිකර ගැනිමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 97ක් පමණයි.

තරගාවලියේ කොදෙව්වන් කෙරෙහි රැදී ඇති විශ්වාසයේ අග්‍රස්ථානය හිමි වෙන්නේ ද Gayleට.

>> තෙවැනි වරටත් ශූරතාවයක පහස පතන කොදෙව්වෝ

ශ්‍රී ලංකාව

2014 විස්සයි විස්ස ශූරතාවත් 2009 සහ 2012 වසරවල අනුශූරතාවනුත් දිනා ගත් ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියට Super League වටයට පිවිසීමට නම් සුදුසුකම් ලබා ගැනීමේ වටයෙන් ඉහළ ප්‍රසාද ලකුණු ලබා ගත යුතුයි. ඒ අනුව ඔවුන් A කාණ්ඩයෙන් තරග වදිමින් අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව යන කණ්ඩායම් සමඟ තරග කළ යුතුයි.

අපි අපේ රට ගැන යමක් කතා කළ යුතු නම්, කතා කළ යුත්තේ ඉහත තරග තුන අවසාන වූවාට පසුවයි. එසේ වූවත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් තරගාවලියට එක්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අපට ඇත්තේ විශාල විශ්වාසයක්.

ඒ විශ්වාසය තවත් තීව්‍ර වන්නේ ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දී මේ වන විට අංක 02 ස්ථානයේ පසුවන දකුණත් පා දඟපන්දු යවන වනිඳු හසරංග, ප්‍රවේගවත් පිතිකරු කුසල් ජනිත්, භානුක රාජපක්ෂ වැන්නෝ ද නිසායි. චාමික කරුණාරත්න ද ‘ෂුවර්’ නැති ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා කණ්ඩායමට මෑතක දී එක් වූ හොඳම සටන්කාමියා ඔහුයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අවසන් තරගාවලි 5 ප්‍රතිඵලය නම් හොඳ මට්ටමකට නැහැ. ඔවුන් සහභාගී වූ තරග 14න් ජයග්‍රහණය කරන්නේ තරග 3ක් පමණයි. අපි අවසන් වරට තරගාවලියක් ජයක් වාර්තා කරන්නේ ඉන්දියාව (2-1) සමඟ.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ 2-0ක සහ 2-1ක පරාජයක්, එංගලන්තය වෙතින් 3-0ක සහ දකුණු අප්‍රිකාව වෙතින් 3-0ක පරාජයක් ලෙසිනුයි ඔවුන් ආසන්ත ම තරගාවලි අවසන් කරන්නේ.

අපට මේ ගමන යන්නට වෙන්නේ මේ අවාසනාවන්ත ප්‍රතිඵලත් සමඟ. එහෙත් එය වාසනාවක් බවට හැරවෙනු ඇතැයි අපේ විශ්වාසයයි. එවැන්නක් වීමේ සම්භාවිතාවක් ද නැත්තේමත් නැහැ. අපි 1996 එක්දින ලෝක කුසලානය දිනා ගනිද්දී ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී සිටියේ 8 වැනි තැන.

එවර පෙරළියක් කළ අපේ ක්‍රීඩකයෝ මෙවර ද එවැන්නක් කළහොත්? ක්‍රිකට් ගැන විශ්වාසයක් නැහැ. එහි අනාවැකි ගැන ද ඇත්තේ අවිශ්වාසයක්. එබැවින් අපි අපේ සිහින ගැන විශ්වාස තබමු.

ලැයිස්තු හෝ ප්‍රතිශත මත කෙරෙන ගණනය කිරීම් මගින් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය තීරණය කරන්න බැහැ. එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඉන්දියාව වැනි විශ්වාසය දිනා ඇති කණ්ඩායම් අතර අපිට ශ්‍රී ලංකාව වටින්නේ ඒ නිසා.

ජය ශ්‍රී – ශ්‍රී ලංකා..!

>> විස්සයි විස්ස කිරුළේ සිංහයෝ

ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා එක්සත් අරාබි එමීර් සහ ඕමානයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම විඳින්න රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<