අවසන් දඬුවම් පහරෙන් බ්‍රසීලය පැරගුවේ සිත් බිඳ දමයි

930

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය අද (28) බ්‍රසීලයේ දී ආරම්භ වූ අතර පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ ගැටුණේ සත්කාරක බ්‍රසීලය හා පැරගුවේ කණ්ඩායමයි. 

නියමිත කාලය තුළ දී කණ්ඩායම් දෙකම ගෝල ලබා ගැනීමට අසමත් වූ බැවින් තරගයේ තීරණය දඬුවම් පහරක් මගින් ලබා දුන් අතර දඬුවම් පහර 4-3ක් ලෙස තරගය ජය ගත්තේ බ්‍රසීල කණ්ඩායමයි.

කවානිගේ ගෝලයෙන් වත්මන් ශූරයන් පරාජය වේ

2019 කෝපා ඇමරිකා තරගාවලියේ කාණ්ඩ තරග අද (25) අවසන්…….

2011 හා 2015 යන වසරවල දී ද පැරගුවේ කණ්ඩායම හා බ්‍රසීල කණ්ඩායම කෝපා ඇමරිකා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී හමුවී තිබුණු අතර ඒ අවස්ථා දෙකේම පැරගුවේ කණ්ඩායම බ්‍රසීල කණ්ඩායම පරාජය කර තිබීම විශේෂත්වයක්. ඒ දෙවතාවම බ්‍රසීලය පරාජය වූයේ දඬුවම් පහරවලින්.

මෙම තරගයට පෙර බ්‍රසීල කණ්ඩායම අදහස් දක්වා පවසා තිබුණේ මම තරගය දඬුවම් පහර කරා රැගෙන නොයෑමට ඔවුන් වග බලා ගන්නා බවයි. තරගය පැවැත්වුණේ Porto Alegre හිදියි.

පැරගුවේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට දඬුවම් පහර මග හැරුණු අතර මැන්චෙස්ටර් සිටි ප්‍රහාරක ක්‍රීඩක ගේබ්‍රියෙල් ජේසුස් අවසන් දඬුවම් පහර අවස්ථාව ලබා ගත්තේ බ්‍රසීලයට තරගය දිනා දීමේ අරමුණින්. ඔහු ඉතා සංසුන්ව එම අවස්ථාව සාර්ථක කර ගත්තේ බ්‍රසීල ක්‍රීඩාලෝලීන්ගේ ජය ඝෝෂා මධ්‍යයේයි.

තමන් සත්කාරකත්වය දැරූ සෑම කෝපා ඇමරිකානු පාපන්දු තරගාවලියක්ම ජය ගෙන සිටි බ්‍රසීල කණ්ඩායම අද තරගයටත් පිවිසුණේ ජයග්‍රහණයම අපේක්ෂාවෙන්. බ්‍රසීල අපේක්ෂා ලෙහෙසියෙන් මුදුන්පත් කර ගන්නට පැරගුවේ කණ්ඩායම කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

පළමු අර්ධය පුරා පැරගුවේ කණ්ඩායම ප්‍රබල ශාරීරික ක්‍රීඩා විලාසයක් දියත් කළ අතර බ්‍රසීල ක්‍රීඩකයින් නිතර බිම ඇද වැටීම සුලබ දසුනක් වුනා. පළමු අර්ධය පුරා කණ්ඩායම්  දෙකෙන්ම Foul අවස්ථා 22ක් වාර්තා වුණු අතර පැරගුවේ කණ්ඩායමට කහ කාඩ්පත් තුනක් හිමි වීමත් විශේෂත්වයක්.

කණ්ඩායම් දෙකම පළමු අර්ධය පුරාම ගෝල රකින්නන්ට සෑහෙන විවේකයක් ලබා දුන්නා. ගෝල රකින්නන්ට පීඩනයක් එල්ල කරන්නට කිසිදු කණ්ඩායම් අසමත් වූ අතර බොහෝ ආක්‍රමණ දඬුවම් පහර චතුරශ්‍රයට යන්නට කළින්ම බිඳ වැටුණා.

ආර්ජන්ටිනාව යාන්තමින් අවසන් 8 දෙනා අතරට

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ කාණ්ඩ………

තරගයේ පළමු ආසන්නතම අවස්ථාව නිර්මාණය කරන්නට බ්‍රසීල කණ්ඩායම සමත් වූ අතර බ්‍රසීල ක්‍රීඩක ෆර්මිනියෝගේ බිම දිගේ ආ පන්දු ප්‍රහාරයක් පැරගුවේ ගෝල රකින්නා සාර්ථකව රැක ගන්නට සමත් වුනා.

පළමු පැය භාගය තුළ කණ්ඩායම් දෙකම සෑහෙන වතාවක් ගෝල ලබා ගැනීමට උත්සාහ කළේ දඬුවම් පහර චතුරශ්‍රය පිටතින් සිටිමින්. කෙසේ වෙතත් පැරගුවේ ක්‍රීඩක Derlis Gonzalez ගේ ප්‍රබල උත්සහයක් බ්‍රසීල ගෝල රකින ක්‍රීඩක ඇලිසන් බෙකර් විසින් ව්‍යර්ථ කළේ ඉතා දක්ෂ ලෙසයි.  

පළමු අර්ධය නිමා වීමට මිනිත්තු 5 කට පෙර කුටිනියෝ බ්‍රසීලය වෙනුවෙන් ඉතා ආසන්න අවස්ථාවක් නිර්මාණය කළේ දඬුවම් පහර චතුරශ්‍රයට පිවිසෙමින්. කෙසේ වෙතත් එම අවස්ථාවත් අපතේ ගියේ පැරගුවේ දැල් රකින්න පහසුවෙන් පන්දුව රැක ගත් නිසයි. 

පසුබෑමකට ලක්ව සිටි බ්‍රසීල කණ්ඩායම එයින් මුදවා ගන්නට බ්‍රසීල පුහුණු කරු, ඇලෙක්ස් සැන්ඩ්රෝ හා ෆිලිපේ ලුවිස් කණ්ඩායමට එක් කළ අතර එතැන් සිට බ්‍රසීල කණ්ඩායම තරමක් සාර්ථක ක්‍රීඩා විලාසයක් අනුගමනය කරනු ප්‍රේක්ෂකයින්ට දැක ගත හැකි වුනා.

පළමු අර්ධය: බ්‍රසීලය 00 – 00 පැරගුවේ

54 වැනි මිනිත්තුවේ දී පැරගුවේ ක්‍රීඩක Fabian Balbuena ෆර්මිනියෝව දඬුවම් පහර චතුරශ්‍රයේ දී බිම හෙළුවේ යැයි විනිසුරු බ්‍රසීලයට දඬුවම් පහරක් ලබා දීමට තීරණය කරන ලදි. කෙසේ වෙතත් සිය තීරණය VAR ඔස්සේ නැවත විමසූ විනිසුරු බ්‍රසීලයට දඬුවම් පහරක් ලබා නොදුන්නේ එම සිදුවීම ගෝල චතුරශ්‍රයට පිටතින් සිදු වූ බව පවසමින්. පැරගුවේ ක්‍රීඩකයාට රතු කාඩ්පතක් ලබා දීමට විනිසුරු ක්‍රියා කළේය. 

ඩැනී ඇල්වෙස් 70 වැනි මිනිත්තුවේ දී ලැබුණු නිදහස් පහරක් සාර්ථක කර ගැනීමට උත්සහ කළ නමුත් එම අවස්ථාවේ පන්දුව නූලෙන් ගෝල රාමුව මග හැර ගියේය. ඊට මොහොතකට පසුව ආතර්ගේ අලංකාර ප්‍රහාරයක් පැරගුවේ ගෝල රකින්නා රැක ගැනීමට සමත් විය.

පැරගුවේ කණ්ඩායමට එක් ක්‍රීඩකයෙකු අඩු වීමේ වාසිය බ්‍රසීලය තියුණු ලෙස ප්‍රයෝජනයට ගත්තත් ඔවුන්ගේ උත්සාහයන් නම් එතරම් සාර්ථක වූයේ නැහැ. එවර්ටන්ගේ හරස් පන්දු යොමු කිරීමක් කුටිනියෝ නිසි වේලාවේ සිය හිසෙන් දැල වෙත යොමු කරන්නට අසමත් වූ අතර ජේසුස්ගේ තියුණු ප්‍රහාරයක් ගෝල රාමුව මග හැර ගියේය.

ආර්ජන්ටිනාව යාන්තමින් අවසන් 8 දෙනා අතරට

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ කාණ්ඩ ……

දෙවන අර්ධය පුරා බ්‍රසීලය ගෝලයක් සඳහා ප්‍රබල උත්සහයක් දැරූ පැරගුවේ ගෝල රකින ක්‍රීඩක Fernandez පවුරක් සේ රැඳෙමින් ක්‍රීඩා කළේ බ්‍රසීල ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු බිඳිමින්. ඇලෙක්ස් සෑන්ඩ්රෝගේ හිසෙන් පන්දු යොමු කිරීමක් හා කුටිනියෝගේ නිදහස් පහරක් ද ඔහු 80 වැනි මිනිත්තුවට ආසන්නයේ ව්‍යර්ථ කළේ පැරගුවේ බලාපොරොත්තු දිගටම දල්වමින්.   

විලයින්ගේ අලංකාර කවාකාර ප්‍රහාරයක් පැරගුවේ දැල් රකින්නා මග හැර ගිය නමුත් පන්දුව ගෝල රාමුවේ වැදී ඉවත ගියේ අවාසනාවන්ත ලෙසයි.

එවර්ටන් හා කුටිනියෝගේ ප්‍රහාරයන් දෙකක් ද අපතේ යද්දී ක්‍රීඩකයින් 10 දෙනෙකුට සීමා වූ පැරගුවේ කණ්ඩායම කෙසේ හෝ තරගය දඬුවම් පහර කරා රැගෙන එන්නට සමත් වීම විශේෂත්වයක්.

දෙවන අර්ධය අවසානයේ ලකුණු තත්වය:  බ්‍රසීලය 00 – 00 පැරගුවේ

පළමුවෙන් දඬුවම් පහර ලබා ගත්තේ පැරගුවේ කණ්ඩායමයි. ඇලිසන් විසින් Gustavo Gomezගේ පළමු දඬුවම් පහර ආරක්ෂා කළේ පැරගුවේ පළමු උත්සාහය ව්‍යර්ථ කරමින්. 

අනතුරුව බ්‍රසීල සිව්වැනි දඬුවම් පහර ව්‍යර්ථ වූයේ සුපිරි ක්‍රීඩක ෆර්මිනියෝගේ පාදයෙන්. පස්වැනි පැරගුවේ දඬුවම් පහර Gonzalez  නිසි ලෙස ඉලක්කගත කරන්නට අසමත් වූ අතර ගේබ්‍රියෙල් ජේසුස් අවසන් බ්‍රසීල දඬුවම් පහර සාර්ථක කර ගනිමින් තරගය බ්‍රසීලයට දිනා දෙන්නට සමත් විය.  

අවසන් ලකුණු තත්වය: බ්‍රසීලය 00 (4) – 00 (3) පැරගුවේ

ලකුණු ලබා ගත් ක්‍රීඩකයෝ 

  • බ්‍රසීලය – Gabriel Jesus, Philippe Coutinho,Marquinhos, Willian
  • පැරගුවේ – Rodrigo Rojas,Bruno Valdez, Miguel Almirón 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<