ජයග්‍රහණයේ ඉඩෝරයට චමරිගෙන් පැන් පොදක්

893

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන තුන් වන දිනය ශ්‍රී ලංකාවට කිසිසේත්ම සුබදායී දිනයක් නොවීය. පරාජයන් ගොන්නකින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙහෙසට පත් වූ අද (21) දිනය අවසානයේ ලද පරාජය වඩාත් වේදනාකාරී පරාජයක් විය.

කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව සුරකි; දෙවැනි දිනයේ උණුසුම

18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තෙවන දිනය (20) තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වුනේ කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවනුයි. ඔවුන් අද (20) දිනයේ සහභාගී වූ සියලු තරග…

පිරිමි කිලෝ ග්‍රෑම් 60 බර පන්තිය යටතේ වූශූ ක්‍රීඩාවේ සන්දා අංශය සඳහා ඉදිරිපත් වූ පැතුම් බලවර්ධන ඊයේ අර්ධ අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත් අතර අද ඔහු වියට්නාම් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග බිමට පිවිසුණේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් සහ අවම වශයෙන් ලෝකඩ පදක්කමක අයිතිය තහවුරු කර ගැනීමේ අරමුණ ඇතිවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වන තුරු පදක්කමක් ආසන්නයටම පැමිණි ගමන අවසන් කරමින් වියට්නාම් ක්‍රීඩකයා හමුවේ තරග වට 2-0ක් ලෙස පරාජය වන්නට පැතුම්ට සිදු විය.

අද උදෑසන ශ්‍රී ලංකාව තවත් කණගාටුදායක පරාජයකට මුහුණ දුන්නේ පිරිමි මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගයට පිවිසෙන්නට මැතිව් අබේසිංහ අසමත් වීමත් සමඟයි. අදාළ තරග ඉසව්වේ මූලික වටයේ 5 වන තරගයට සහභාගී වූ මැතිව් එහි දී තත්පර 22.88ක කාලයක් වාර්තා කරමින් තරගය අවසන් කළේ 5 වන්නා ලෙසයි. ඒ අනුව ඔහු සමස්ත කාල ගණනයේ 12 වන ස්ථානයට පත් වීම හේතුවෙන් අවසන් තරගයේ  ස්ථානයක් හිමි නොවීය.

අදාළ ඉසව්වටම තරග වැදුණු කයිල් අබේසිංහ මූලික වටයේ 6 වන තරගයට සහභාගී වූ අතර ඔහුට එ හිදී හිමි වුණේ  අවසන් ස්ථානයයි. කයිල් සමස්ත කාල ගණනයේ 20 වන්න ලෙස ස්ථාන ගත විය.

පළමු දිනයේ ආසියානු ක්‍රීඩා බිමේ තතුවිත්ති

ඊයේ (18) පැවති වර්ණවත් සමාරම්භක උළෙලකින් පසුව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ තරග ආරම්භය අද (19) උදෑසන සිදු විය. ශ්‍රී ලංකා කණ්ඩායමට අද උදෑසනම සිදු වුනේ දුක සහ සතුට මුසු ඉසව්වකට මුහුණ දීමටයි.

ඊයේ තරග දෙකක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම අද තරග වැදුණේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමඟයි. එම තරගය ලකුණු 38-12ක් ලෙස ජය ගන්නට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් විය. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීමේ තීරණය අනිද්දා තායිලන්තය සහ ඉන්දුනීසියාව අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය මත රඳා පවතිනු ඇති.

ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම අද බංග්ලාදේශය සමඟින් තරග වැදුණු අතර එම තරගය ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලකුණු 29-25ක් ලෙස පරාජය විය. මේ අනුව ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායමට අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තබා ගත නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

දුනු විදීමේ ක්‍රීඩාවේ ස්ථානගත කිරීමේ වටය සඳහා අද සහභාගී වූ සජීව් ද සිල්වා එහි දී තරගය අවසන් කළේ 64 වන්නා ලෙසයි. මේ අනුව ඔහුට ඉදිරි වටයේ දී 40 වන ස්ථානය දිනා ගත් නේපාල ක්‍රීඩකයා සමගින් තරග වැදීමට සිදුවනු ඇති.

තුන් සාමාජික පැසිපන්දු තරග ද අද ආරම්භ වූ අතර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද දිනයේ තරග දෙකකට සහභාගී විය. ඔවුන් එම තරග දෙකම පරාජය වූ අතර චීනය සමඟ පැවති  තරගයේ ලකුණු තත්ත්වය 21-14ක් ලෙසත්, තායිලන්තය සමඟ පැවති තරගයේ ලකුණු තත්ත්වය 20-10ක් ලෙසත් සනිටුහන් විය.

ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ පිරිමි කිලෝ ග්‍රෑම් 87 බර පන්තිය යටතේ අවසන් 16 දෙනාගේ වටයට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඉන්දියානුවෙක් හමුවේ පරාජය වෙද්දී, කිලෝ ග්‍රෑම් 67 බර පන්තියෙන් කාන්තා අවසන් 16 දෙනාගේ වටයට තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවට තරගය අතරමග දී ඉවත් වන්නට සිදුවිය.

පිරිමි කිලෝ ග්‍රෑම් 62 බර පන්තිය යටතේ තරග වැදුණු තිලංක පළඟසිංහ කෙරෙහි අද දිනයේ වැඩි අවදානමක් යොමුව තිබුණ ද ඔහුගේ පළමු උත්සාහයන් තුනම අසාර්ථක වීම හේතුවෙන් දක්ෂතාවක් සටහන් නොකරම තරගයෙන් ඉවත් වන්නට සිදුවීම කැපී පෙනුණි.

අද දිනය තුළ දී පරාජයේ කාන්තාරයක් මැද අතරමං වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්ෂේම භූමියක් නොවුනත් සිහිල් දිය බිඳුවක් බවට පත් වුණේ චමරි වර්ණකුලසූරියගේ දක්ෂතාව පමණි. කාන්තා කිලෝ ග්‍රෑම් 53 බර පන්තියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණු චමරි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන්නට සමත් වුනේ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 96ක බරක් ඔසවමින්. කෙසේ වෙතත් ස්නැච් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 73ක් පමණක් එසවීම හේතුවෙන්, පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දැක්වූ දක්ෂතාවට  වඩා කිලෝ ග්‍රෑම් 3ක් අඩුවෙන් සමස්ත දක්ෂතාව සටහන් කරමින් ඇය තරගය අවසන් කළේ ‘ඒ’ කාණ්ඩයේ 10 වැන්නිය ලෙසයි.

හෙට දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුව පිරිමි මීටර් 100X4 නිදහස් ආර සහාය පිහිනුම් ඉසව්වයි. මේ සඳහා මැතිව් සහ කයිල් අබේසිංහ සොයුරන් සමඟ අකලංක පීරිස් සහ චෙරන්ත ද සිල්වා සහභාගී වන අතර එම ඉසව්ව ශ්‍රී ලංකාවට අවසන් තරගය සඳහා පිවිසීමේ හැකියාවක් පවතින ඉසව්වක් ලෙස හැඳින්විය හැක.

ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම හෙට (22) පළමු වරට තරග බිමට පිවිසෙන්නේ ලාඕස් කණ්ඩායමට එරෙහිවයි. එමෙන්ම ශ්‍රී ලංකා තුන් සාමාජික පැසිපන්දු කාන්තා කණ්ඩායම ද හෙට සිය පළමු තරගයට සහභාගී වීමට නියමිතයි. සිය පළමු තරගයේ දී ජපානය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකා හොකී කණ්ඩායම හෙට තරග බිමට පිවිසෙන්නේ කොරියානු කණ්ඩායමට එරෙහිවයි.

ඊට අමතරව හෙට දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී වන ඔරු පැදීමේ තරගයක් සහ පිරිමි කිලෝ ග්‍රෑම් 63 බර පන්තියේ ටයිකොන්ඩෝ දෙවන වටයේ තරගයක් ද පැවැත්වීමට නියමිතයි. එහි සවිස්තර තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<