ශ්‍රී ලංකා-ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කෝලිගේ කොල්ලන්ගෙන් සංගාට හිංසා

128

මීට මාසයකට පෙර එනම් පසුගිය ජුනි මස මෙම ගාල්ල ක්‍රීඩාංගණයේදීම පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පාකිස්තානයට එරෙහිව කඩුලු 10ක පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් එහි ඡායා පිටපතක් නිර්මාණය කිරීමට සැරසෙන්නාක් මෙන් ඊයේ පිතිහරඹයද අසාර්ථක වුවද නායක ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් 6 වැනි කඩුල්ල වෙනුවෙන් තැබූ ලකුණු 79ක සබඳතාව නිසාම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 183ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට පිළිතුරු ලෙස ඊයේ පළමු දිනය නිමා වන විට ඉන්දීය පිල කඩුලු 2ක් දැවී ලකුණු 128ක් ලබා සිටී.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළද ඉනිමේ 7 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුව යැවූ ඉෂාන්ට් ෂර්මාගේ පන්දුවකට රහනේ අතට උඩපන්දුවක් ලබා දීමෙන් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 9කට දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 15දීය. ඉන් පසුව එම ලකුණු සංඛ්‍යාවේදීම 2 වැනි කඩුල්ල ලෙස මිනිත්තු 34ක් කඩුල්ලේ රැඳී සිටි කෞෂාල් සිල්වා ලකුණු 5කට දැවී ගිය අතර වරුන් ඒරන්ගේ පන්දුවකට ධවාන් උඩපන්දුවක් රැකගත්තේ යයි සිල්වාට දැවී යෑමට සිදුවීම අවාසනාවන්ත ප්‍රතිඵලයක් විය. විනිසුරු තීරණ නැවත විමසා බැලීමේ ක්‍රමයට ඉන්දියාව එකඟ නොවීමේ හේතුවෙන් කිසිදු තීරණයක් නැවත 3 වැනි විනිසුරුගෙන් විමසීමකට මෙම තරගාවලියේදී ඉඩක් නොමැති අතර සිල්වා දැවී ගිය පසුව අංක 4 පිතිකරුවා ලෙස පැමිණි ළහිරු තිරිමාන්නට එකතු වූ ඊයේ දිනයේ මනාලයා ලෙස සැලකුණු කුමාර් සංගක්කාරට මිනිත්තු 25කට වඩා කඩුල්ලේ රැඳී සිටීමට දකුණතින් පිට දඟපන්දු යවන රවිචන්ද්‍රන් අෂ්්වින් ඉඩ දුන්නේ නැත.

ඉනිමේ 12 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේදී එතෙක් පන්දු 12කට මුහුණ දී සිටි සංගක්කාර සිලි පොයින්ට්හි සිටි ලෝකේශ් රාහුල් අතටඋඩපන්දුවක් දී ලකුණු 5කට දැවී ගියේ ගාල්ලේදී විශේෂ හරසර මැද්දෙන් පැමිණ ඔහුගේ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කරන අයුරු දැක බලා ගැනීමට පැමිණි ක්‍රීඩාලෝලීන්ගේද බලාපොරොත්තු සුන් කරවමිනි. මුළු ලකුණු 27ක් වන විට 3 වැනි කඩුල්ල ලෙස සංගක්කාර එසේ දැවී යාමෙන් පසුව තම 50 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට ගාල්ල පිටියට පිවිසි මැතිව්ස් සමඟ තවත් ලකුණු 27ක් කණ්ඩායමට එකතු කර සිටි මොහොතේ අෂ්වින්ගේ 2 වැනි කඩුල්ල ලෙස තිරිමාන්න දැවී යන විට ලකුණු 13ක් ලබා සිටියේය. එහෙත් වසර 8කට පසුව පසුගිය මාසයේ පාකිස්තානය සමඟ තරගයකින් නැවතත් ටෙස්ට් ක්‍රිකට් පිටියට එක්වූ ජෙහාන් මුබාරක් පන්දු 7කට මුහුණ දී සිටියදී ලකුණු බින්දුවකට දැවී ගිය අතර ලකුණු 60කට කඩුලු 5ක්ම දැවී සිටි ශ්‍රී ලංකා පිලේ සම්පූර්ණ බර ඊළඟට පැවරුණේ මැතිව්ස්ට එකතු වූ දිනේෂ් චන්දිමාල්ටය.

එම වගකීම තේරුම් ගනිමින් ක්‍රීඩා කළ මැතිව්ස් හා චන්දිමාල් දෙදෙනා එකතුව ලකුණු 79ක් ලංකා ලකුණු පුවරුවට එකතු කර සිටි අවස්ථාවේ අෂ්වින්ගේ පන්දුවකට ලකුණු 64ක් ලබා සිටි

ශ්‍රී ලංකා නායකයා දැවී ගිය අතර ඒ වන විටත් ඔහු තම 22 වැනි ටෙස්ට් අර්ධ ශතකය පසුකර සිටීමද විශේෂÀවයකි. ඉන් පසුව ලකුණු 23ක් ලැබූ රංගන හේරත් හැර චන්දිමාල්ට එක්වූ සියලුම ශ්‍රී ලංකා පිතිකරුවන් කෙටි වේලාවකින් ආපසු හැරී ගිය අතර මුළු ලකුණු ප්‍රමාණය 179ක් වන විට 8 වැනි කඩුල්ල ලෙසින් චන්දිමාල් ලකුණු 59කට දැවී යන විට ඔහුගේ 8 වැනි ටෙස්ට් අර්ධ ශතකයද වාර්තා කොට තිබිණි. ශ්‍රී ලංකාව එවන් අපහසුතාවට ලක්වන්නට අෂ්වින්, මිෂ්රා හා හර්බජාන් යන දඟපන්දු යවන්නන් තිදෙනකුම යොදාගත් අතර ලකුණු 46කට කඩුලු 6ක්ම දවා ගනිමින් අෂ්වින් ඊයේ දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්විය.

 

ශ්‍රී ලංකාව (පන්දුවාර 49.4කදී

සියලු දෙනා දැවී) – 183

ළහිරු තිරිමාන්න 13, ඇන්ජිලෝ මැතිව්ස් 64

දිනේෂ් චන්දිමාල් 59, රංගන හේරත් 23

පන්දුයැවීම

ඉෂාන්ට් ෂර්මා11-3-30-1

වරුන් ඒරොන් 11-0-68-1

රවිචන්ද්‍රන් අශ්වින් 13.4-2-46-6

අමිත් මිෂ්රා 6-1-20-2

ඉන්දියාව (පන්දුවාර 34කදී කඩුලු 2ක් දැවී) – 128

ෂිකර් ධවාන් නොදැවි 53, විරාත් කෝලි

නොදැවි 45

පන්දු යැවීම

ධම්මික ප්‍රසාද් 7-0-22-1

ඇන්ජිලෝ මැතිව්ස් 4-1-12-1

ඡායාරූපය – සංඛ විදානගම