ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට රෙඩ් කාඩ් එකක්

108

මේ වසරේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සම්මේලන වෙනුවෙන් නිලවරණ පැවැත්වීමේදී චෝදනාවට ලක්වූ ක්‍රීඩා සම්මේලන අතරට ඊයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයද එක්විය.

එහිදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට විද්‍යුත් තැපෑල ඔස්සේ චෝදනා එල්ල කරන අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය සඳහන් කර ඇත්තේ ඔවුන්ගේ ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ව්‍යවස්ථාව වෙනස් නොකොට නිලවරණය පැවැත්වීම නිසා වර්තමාන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනය ඔවුන්ට පිළිගත නොහැකි බවයි.

දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව හා ජගත් සමුළුවේ ව්‍යවස්ථාවට අනුකූලව නිලවරණය පවත්වන ලෙසට අදාළ ලිපියෙන් ඔවුන් වැඩිදුරටත් ඉල්ලීමක්ද කර ඇත.

එසේ තිබියදී “මේ ගැටලුව විසඳීම සඳහා අප කළ යුත්තේ මොනවාදැයි සාකච්ඡා කොට ඉක්මන් විසඳුමකට පැමිණිය යුතුයි. රටේ මලල ක්‍රීඩාව කඩා වැටෙන්න ඉඩක් දෙන්න බැහැ තවත් මාස තුනක් ඇතුළත ලෝක ශුරතාව වගේම ජගත් සමුළුවේ මහ සභා රැස්වීමක් පැවැත්වෙන නිසා ඊට පෙර මේ ගැටලුව විස¼දාගත යුතුයි” යනුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපති සුගත් තිලකරත්න මහතා ප්‍රකාශ කර තිබිණි.

මේ අතර චීනයේ පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින සුගත් තිලකරත්න ඇතුළු නියෝජිතයන් තිදෙනකු කැඳවා ජගත් සමුළුව මෙවැනි තීරණයකට එළඹියේ ඇයිද යන්න පැහැදිලි කර දී ඇති බවද වාර්තාවේ.

මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා පරිපාලනය වෙනුවෙන් ගෙන එන නීතිරීති පිළිගැනීමට හෝ එකඟවීමට ජගත් සමුළුව කිසිසේත්ම සූදානම් නැති බවද එහි සඳහන්ය.

මෙරට ක්‍රීඩා පනතට එක්කරන ලද නව සංශෝධන මේ වන විට ක්‍රීඩා පරිපාලන රැසක්ම අවුල් ජාලයට පත්කර ඇති අතර එම පසුබිම ගොඩ නැඟෙන්නට පෙර ජගත් ඔලිම්පික් කමිටුව, ජගත් ක්‍රිකට් සම්මේලනය, ජගත් පිහිනුම් සමුළුව හා අන්තර් ජාතික රග්බි සංගමයද ඇතුළු ජාත්‍යන්තර සම්මේලන රැසක්ම ලංකාවට අනතුරු අඟවමින් දේශීය ක්‍රීඩා සම්මේලන තහනමට ලක්විය හැකි බව ප්‍රකාශ කර තිබිණි.

මේ ගැටලුව නිසා ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට වඩාත් දරුණු අවදානමක් උදාවී ඇත්තේ මේ වසර තුළ ලෝක යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය, ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරග, පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල වැනි තරග මාලා රැසක් ඇති බැවිනි.