අවදානම මැද සිදත් තරග බලන්න පාකිස්ථානයට

112

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් පාකිස්තානයේදී එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර 6කට පසු එරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තානු සංචාරය ඉලක්ක කර ගනිමින්ද පසුගියදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය.

 

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අතරතුර තරගය පැවැති ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණය ආසන්නයේ සිදුවූ මෙම සිදුවීමෙන් එක් ආරක්ෂක නිලධාරියකු අතුළු දෙදෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූ අතර 6 දෙනකු තුවාල ලබා තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායමේ ආරක්ෂාව තර කිරීමට පාකිස්තානු ආරක්‍ෂක අංශ පියවර ගෙන ඇති අතර අවදානම් තත්ත්වයක් යටතේ වුවත් තරගාවලියේ තෙවන සහ අවසන් එක්දින තරගයට සහභාගී වීමටද සිම්බාබ්වේ කණ්ඩායම කැමැත්ත පළකර තිබෙන බැවින් ඊයේ තරගය පැවැත්වීමට නියමිතව තිබිණි.

එහෙත් මෙම තරග නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතාටද ලැබුණු ආරාධනාව පිළිගෙන ඔහුද පාකිස්තානයට ගොස් ඇති අතර පාකිස්තානය තුළ ඇති ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමද ඔහුගේ ගමනේ තවත් අරමුණක් බව වාර්තාවේ.