මහ සයුරේ ගැඹුරු දියේ ජීවිතය සොයා ගිය එංගලන්ත උපනායකයා

ලෝක කුසලානයේ නෑසූ කතා (13)

756
Cover Photo : Getty Images

2007 ලෝක කුසලාන තරගාවලිය අතරතුර එංගලන්ත කණ්ඩායමේ උපනායකයා ලෙසින් කටයුතු කළ ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් අමුතුම අත්දැකීමකට මුහුණ දුන්නා. ඇත්තටම ඒ සිදුවීම ෆ්ලින්ටොෆ්ගේ හිතුවක්කාරකම නිසා ඇතිවූවක් බව කිව්වත් වැරැද්දක් නැහැ. අද ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ එංගලන්ත උපනායකයා කොදෙව් දේශයේ දී අමාරුවේ වැටුණ හැටි.

යකඩ පොල්ලෙන් පහර කා පැමිණි අවසන් මහා තරගයේ වීරයා

1979 වසරේ දෙවැනි වරට පැවැත්වුණ ක්‍රිකට් ලෝක කුසලානයට ……

2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල. 2007 ලෝක කුසලානයට තරග වැදුණ කණ්ඩායම් 16 කාණ්ඩ හතරකට වෙන් කර තිබුණා. A, B, C, D වශයෙන් නම් වුන කාණ්ඩ හතරෙන් එංගලන්ත කණ්ඩායම අයත් වුනේ C කාණ්ඩයට. එංගලන්තයට අමතරව එම කාණ්ඩයෙන් නවසීලන්තය, කැනඩාව සහ කෙන්යාව තරග වැදුණා.

එංගලන්ත කණ්ඩායම තමන්ගේ ලෝක කුසලාන සටන ආරම්භ කළේ මාර්තු 16 වැනිදා සාන්ත ලුෂියා හි ග්‍රොස් අයිලට් හිදී. ඒ ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිව.  

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක ස්ටීවන් ෆ්ලේමින් මුලින්ම පන්දුවට පහර දීමේ වාරය එංගලන්ත කණ්ඩායමට බාර කළා.

තරගයේ මුල සිටම නවසීලන්ත පන්දු යවන්නන් එංගලන්ත පිතිකරුවන්ට එල්ල කළේ දැඩි පීඩනයක්. කිසිදු එංගලන්ත පිතිකරුවෙකුට රිසි සේ පන්දුවට පහර දෙන්නට ඔවුන් ඉඩ දුන්නේ නැහැ. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් යම් සාර්ථකත්වය හෝ පෙන්වූයේ කෙවින් පීටර්සන්. එංගලන්ත ඉනිමට ඔහුගෙන් ලැබුණ දායකත්වය ලකුණු 60ක්.

නමුත් පීටර්සන්ගේ සුපුරුදු රිද්මය ඔහු අලසකවත් තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස තමන්ට නියමිත පන්දුවාර පනහ නිමාවේ දී එංගලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු හතක් දැවී ලකුණු 209ක් පමණයි. නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවූ ෂේන් බොන්ඩ්, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් සහ ස්කොට් ස්ටයිරිස් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. එංගලන්ත ඉනිමේ එක පන්දුවකට පමණක් මුහුණ දුන් අපේ කතානායක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් ලකුණු නොලබාම දැවී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 41ක් තුළ කඩුලු හතරක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් ද සාර්ථක වූ ස්කොට් ස්ටයිරිස් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 87ක්. එංගලන්තය වෙනුවෙන් පන්දුවාර අටක් යැවූ ෆ්ලින්ටොෆ් කිසිදු කඩුල්ලක් දවා ගත්තේ නැහැ.

මෙම පරාජය එංගලන්ත කණ්ඩායමට ගෙන දුන්නේ විශාල පීඩනයක්. සුපිරි අට වටයට සුදුසුකම් ලැබීමට නම් නවසීලන්ත තරගයට දිනක ඇවෑමෙන් පැවැත්වෙන කැනඩා තරගය ජය ගැනීම එංගලන්ත කණ්ඩායමට අනිවාර්යය වී තිබුණා.

බංගලි ව්‍යාග්‍රයන්ගේ කුළුඳුල් ලෝක කුසලාන ජයග්‍රහණය මෙය වේවි ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට සියලුම……

තත්ත්වය එසේ දෝලනය වෙමින් තිබිය දී එංගලන්ත කණ්ඩායම මුහුණ දුන්නේ ඉතාම අසීරු තත්වයකට. ඒ තමන්ගේ විශ්වාසදායී තුන් ඉරියව් ක්‍රීඩකයා සහ තමන්ගේ කණ්ඩායමේ උපනායකයා විනය විරෝධී කටයුත්තකට පැටලීම නිසායි.

නවසීලන්ත තරගයෙන් පසු සෙසු එංගලන්ත ක්‍රීඩකයින් මෙන්ම ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් ද සිටියේ සෑහෙන කනගාටුවෙන්. මේ කාරණාව නිසාම තරගයෙන් පසු අධික ලෙස මත්පැන් පානය කරන ෆ්ලින්ටොෆ් අවසානයේ සොයා ගැනෙන්නේ මුහුද මැද බෝට්ටුවකට වී සිටිය දී. තමා මුහුණ දුන් අත්දැකීම ගැන ෆ්ලින්ටොෆ් විස්තර කරන්නේ මෙලෙස.

“අපි සිකුරාදා දිනයේ නවසීලන්ත කණ්ඩායම සමඟින් තරග වැදුණා. එම තරගය අප මෙවර ලෝක කුසලානයේ මුහුණ දුන් මුල්ම තරගයයි. නමුත් අපිට උවමනා ආකාරයෙන් තරගයේ ප්‍රතිඵලය ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එම තරගයෙන් අපි දරුණු පරාජයක් ලැබුවා.

අප 2007 ලෝක කුසලාන තරගාවලියට පැමිණියේ අළුබඳුන තරගාවලිය අන්ත පරාජයකට ලක්වීමෙන් අනතුරුව. විශේෂයෙන්ම අළුබඳුන තරගාවලියට මා නායකත්වය දුන් නිසාත්, තරගාවලියේ සියලුම ටෙස්ට් තරග අප පරාජය වූ නිසාත් මට ලෝක කුසලානයේ දී හොඳින්ම දස්කම් දැක්වීමට අවශ්‍ය වුනා.

මට නවසීලන්ත තරගයේ දී එක් ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වුනා. මට මතක විදියට පළමු පන්දුවේ දී ම මා දැවී ගියා. යම් සාර්ථකත්වයකින් පන්දු යැව්වත් මට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වුනා. එංගලන්තය ඉතාම අභාග්‍යසම්පන්න ලෙස පරාජය වුනා.

පරාජය නිසා මා දැඩි කම්පනයටත්, කනගාටුවටත් පත්වුනා. මම මටම කියා ගත්තා මා අද නම් හොටල් කාමරෙන් ඉවතට යන්නේ නැහැ. කාමරය තුළම රැඳී සිටිනවා කියා. නමුත් එය ලෙහෙසි කාරණාවක් වුනේ නැහැ. මම තරමක  කෝපයකින් කලහකාරී ලෙස හැසිරුණු බව මතකයි.

පන්දුව හිසේ වද්දා ගත් හිතුවක්කාර නායකයා

1996 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය…..

නෑ. මම පොඩි වෙලාවකට පමණක් පිටතට යනවා කියා මගේ තීරණය වෙනස් කර ගනු ලැබුවා. මා කළ මුල්ම වැරැද්ද එයයි.

වේලාව උදේ 1.30 විතර ඇති. මං හොඳටම බීමත් වෙලා හිටියේ. මම තීරණය කළා නැවත හෝටලයට පැමිණෙන්න. මා ආපසු එන මාර්ගය වැටී තිබුණේ මුහුදු වෙරළ හරහා. මා වෙරළ තීරය දිගේ එන විට මගේ හිතට යම් කලහකාරී හැඟීමක්. මම දුටුවා වෙරළ තීරයේ නවත්වා ඇති බෝට්ටු කිහිපයක්. මට සිතුණා ඉන් එකක ඉයන් බෝතම් ඇතැයි කියා.

ඉතින් මා වෙරළ අයිනේ තිබූ කුඩා ඔරුවක නැගී මුහුද දෙසට ඇදුණා. නමුත් ඒ ඔරුවේ තිබූ හබලවත් මට සොයා ගැනීමට නොහැකි වුනා. මා පිහිනීමට දන්නේත් නැහැ. මේ අදහස මගේ ඔළුවට ආවේ කොහොමද කියල තවමත් හිතා ගන්න බෑ. මට මතක පසු දා උදෑසන හෝටල් කාමරයේ දී ඇහැරෙනවා පමණයි. තෙත් ඇඳුම් පිටින්ම නැගිටින විට ඒ වන විටත් මුහුදු වැලි මගේ දෙපාවල ඇලී තිබුණා.

ඊට පසුව සිදු වූයේ මගේ ක්‍රිකට් ජීවිතයේ අභාග්‍යසම්පන්නම සිදුවීම. මට එංගලන්ත ක්‍රිකට්ලෝලීන්ට මුහුණ දීමට කිසිම හැකියාවක් තිබුණේ නැහැ. මාස කිහිපයකට කලින් මගේ නම කියමින් ඔල්වරසන් දුන් ඔවුන් මේ සිද්ධියෙන් පසු මා දකින්නටවත් කැමති වුනේ නැහැ. මම මගේ  ක්‍රීඩාලෝලීන්, පවුලේ අය, මෙන්ම රටටත් ගෙන දුන්නේ විශාල නිගරුවක්. පැහැදිලිවම කියන්න ඕන මගේ ක්‍රිකට් ජීවිතයේ මා වැටුණු පහළම තැන එයයි.”

අලුයම හතර වෙද්දීත් කැරිබියන් මුහුදේ එහා මෙහා පාවෙමින් සිටි ෆ්ලින්ටොෆ් බේරාගන්නා ලද්දේ එංගලන්ත කණ්ඩායම නැවතී සිටි තරු පහේ හෝටලයේ සේවක මඩුල්ල විසිනි. මෙම සිද්ධියෙන් අනතුරුව ෆ්ලින්ටොෆ් උපනායක ධූරයෙන් ඉවත් කරන්නටත් එක තරගයක තරග තහනමක් ලබා දෙන්නටත් එංගලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබුණා.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<