“තවත් ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න සූදානම්” – Gayle

173

විස්සයි විස්ස තරග ආකෘතියේ ප්‍රබලතම කණ්ඩායම් අතරින් බටහිර ඉන්දීය කොදෙව් නාමය ඉහළින්ම කියැවෙන්නේ ලෝක කුසලාන ද්විත්වයකට හිමිකම් කියමින් මේ දක්වා පෙන්වා ඇති සුපිරි දක්ෂතා නිසාවෙනි.

කෙසේ නමුත් ඊයේ( 06) ඕස්ට්‍රේලියාව සමඟ සුපිරි 12දෙනාගේ වටයේ පැවති තීරණාත්මක තරගය පරාජයට පත්වීමත් සමඟ හිටපු ලෝක ශූරයින්ගේ මෙවර ලෝක කුසලාන සිහිනය බොඳ වී යන්නට වූයේ කණ්ඩායමේ සිටින ප්‍රබලයින් කිහිප දෙනෙකුගේම අවසන් ලෝක කුසලාන තරගය බවට එම තරගය පත් කරමිනි.

T20 තරග බිමේ විශිෂ්ටතම පන්දු ප්‍රහාරකයා ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන Chris Gayle ඊයේ (06) තරගයේ දී කොදෙව් පළමු කඩුල්ල ලෙස දැවී යාමත් සමඟම යලි ක්‍රීඩාගාරය වෙත ගමන් කරේ පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ ද සුබ පැතුම් සහ අත්පොළසන් නද මධ්‍යයේ වීම කාගේත් අවධානයට බඳුන් විය.

ඉන් අනතුරුව ඔහු තම අත්ආවරණ කට්ටල කිහිපයක් මෙන්ම අත්සන් කළ කමිස කිහිපයක් පැමිණි සිටි ක්‍රීඩාලෝලීන් කිහිපදෙනෙකුට ලබා දුන්නේ ඔහු ක්‍රීඩා කරන අවසන් අන්තර්ජාතික තරගය බවට මෙය පත්වේ දැයි යම් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර තබමිනි.

කෙසේ නමුත් තරගයෙන් අනතුරුව පැවැති සාකච්ඡාවක් අතරතුර දී DJ Bravo මෙන් ඔබත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන්නේ ද ඇසු පැනයට පිළිතුරු ලබා දෙමින් Gayle සඳහන් කර සිටියේ තවමත් එවැනි තීරණයක් ඔහු නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති බවයි.

ක්‍රිකට් නිසා මට ලැබුණු දේවල් බොහෝමයි. මගේ රට වෙනුවෙන් ක්‍රිකට් පිටියේ දී කරන්න ලැබුණු දේවල් ගැන උපරිම ආත්ම තෘප්තියකින් ඉන්න කෙනෙක් මම. මම නිල වශයෙන් තාමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ නැහැ. ඔවුන්ට පුළුවන් නම් මගේ රටේ ප්‍රේක්ෂකයින් ඉස්සරහා අවසන් වතාවට ක්‍රීඩා කරන්න අවස්ථාවක් සලසලා දෙන්න අන්න එතකොට මට සියලු දෙනාටම ස්තූතියිකියලා කොදෙව් ක්‍රිකට්වලට ආයුබෝවන් කියන්න පුළුවන්. නමුත් මම දන්නෑ ඒක ගැන හරියටම කියන්න. අපි බලමු.”

එහෙම අවස්ථාවක් නැති වුනොත් මමත් DJ Bravo වගේ නිල වශයෙන් මගේ විශ්‍රාම දිවිය ප්‍රකාශ කරලා ගෞරවාන්විත විදියට නික්ම යන්න පුළුවන්. නමුත් ඒ ගැන හරි අදහසක් තාමත් නැති නිසා ඉදිරියට අපි බලමු මොකද වෙන්නේ කියන එක කියලා.”

2006 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් බෞතිස්ම ලබන Chris Gayle බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් මේ දක්වා විස්සයි විස්ස තරග 79කට සහභාගී වෙමින් ලකුණු 1899ක් රැස්කොට ගෙන තිබෙන්නේ ශතක දෙකකට ද හිමිකම් කියමිනි. මීට අමතර ටෙස්ට් තරග බිමේ දී මුළු ලකුණු 7215ක් සහ එක්දින පන්දුවාර 50 තරගයන්හී ලකුණු 10480ක් සිය නම ඉදිරියේ සටහන් කරගැනීමට Gayle සමත්කම් දැක්විය.

මම නොයොක් බාධක, අභියෝග මැද්දේ මගේ ගමන ආපු කෙනෙක්. නමුත් ආපස්සට හැරිලා බලද්දී මට ආඩම්බර වෙන්න පුළුවන් ගොඩක් දේවල් මම ක්‍රීඩා ජීවිතය ඇතුළේ ළඟා කරගෙන තියෙනවා. මම ස්තූතිවන්ත වෙනවා වයස අවුරුදු 42ක් වෙලත් තාමත් මම එදා වගේම ශක්තිමත්ව ක්‍රීඩා කරන එක ගැන.”

විශේෂයෙන්ම කියන්න ඕනෑ කොදෙව් ක්‍රිකට් වෙනුවෙන් මම නොසෑහෙන්න දරදිය ඇදපු කෙනෙක්. මම ආදරය කරන ක්‍රීඩාව වෙනුවෙන් මම නියෝජනය කරන කණ්ඩායම වෙනුවෙන් කරපු කැපකිරීම් ගැන කතා කරන්න මට වචන මදි. නමුත් පිළිගන්න ඕනෑ තරග පරාජය වෙන එක තරම් අමිහිරි අත්දැකීමක් තවත් නැහැ. ඒක ක්‍රීඩකයින් ද ප්‍රේක්ෂකයින් ද කියන එක අදාළ නැහැ. මම කනගාටු වෙනවා මේ පාර අපේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් දැනෙන්න යමක් කරන්න බැරි වුන එක ගැන.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<