අයි.සී.සී.ය රතුකොඩි ඔසවද්දී බලධාරීහු “බිහිරි” වෙති

117

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පරිපාලනයට අතුරු කමිටුවක්‌ පත්කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් වාර්ෂිකව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ලබාදෙන මුදල් ලබා නොදීමට තීරණය කර ඇතැයි ‘දිවයින’ ට වාර්තා වේ. ඒ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙන් මුදල් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට නිලවරණයකින් යුත් කමිටුවක්‌ පත්කිරීම අනිවාර්ය වන තත්ත්වයක්‌ මතුව තිබේ.

පසුගියදා රැස්‌වූ ජාත්‍යන්තර ක්‍රිකට්‌ විධායක සභාවේදී මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් වේ. කෙසේ වෙතත් උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක සහ ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි යන මහත්වරුන්ගෙන් කරුණු දැන ගැනීමට ‘දිවයින’ කිහිප වරක්‌ම උත්සාහ කළද ඔවුන් දුරකථනයට ප්‍රතිචාර නොදැක්‌වීම විමතියට කරුණක්‌ වේ. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ද අදාළ තත්ත්වය පිළිබඳව කරුණු දැක්‌වීමට ඉදිරිපත් නොවීම තවදුරටත් පැනයක්‌ විය. ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට සහ ක්‍රීඩා ඇමැතිවරයාට මේ වන විට දන්වා ඇති අතර එහිදී ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දීමනා ලබා ගැනීමට නිලවරණයකින් යුත් කමිටුවක්‌ පත්කිරීම අනිවාර්ය බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාගෙන් අතුරු කමිටුවක්‌ පත්කිරීමට හේතුව කුමක්‌දැයි විමසා බලා ඒ පිළිබඳව සම්පූර්ණ පරීක්‌ෂණයක්‌ පවත්වන තුරු අයි.සී.සී. විසින් කිසිදු මූල්‍ය ප්‍රදානයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ලබා නොදීමට තීරණය කර තිබේ.

මීට ඉහතද ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනයට අතුරු කමිටු පත් නොකරන ලෙස දන්වා තිබුණි. එහෙත් නව රජයක්‌ පත්වීමෙන් පසු පත්වූ ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා විසින් සිදත් වෙත්තමුණි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කෙරිණි. එහෙත් ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙන් ප්‍රසාදයක්‌ නොමැති බව ‘දිවයින’ විසින් ක්‍රීඩා ඇමැතිවරයාට මීට සති කිහිපයකට පෙර කරුණු දක්‌වන ලදුව ඇමැතිවරයා පවසා සිටියේ, ”අපි අපේ නීතිය අනුව කටයුතු කරනවා. අපි කාටවත් නැවෙන්න අවශ්‍ය නැහැ. අයි.සී.සී. යට අපි අපේ වැඩපිළිවෙළ දන්වල තියෙනවා. අවශ්‍ය නම් අයි.සී.සී. සභාපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අපි ඕනෑම අවස්‌ථාවක සූදානම්.” යනුවෙනි. 

එහෙත් ක්‍රීඩා ඇමැතිවරයා හෝ ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපතිවරයාට අයි.සී.සී. සභාපතිවරයා හමුවීමට මේ වන තෙක්‌ දැනුම් දී නොමැති අතර වත්මන් තත්ත්වය අනුව මුදල් නොලැබුණහොත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය දැඩි අර්බුදයකට පත්වන බව පැහැදිලි වන කරුණකි. ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ නිලවරණය මෙම අප්‍රේල් මස 30 වැනිදාට පෙර පැවැත්වීමට පළමුව ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා විසින් තීරණය කර තිබුණද දේශපාලනික හෝ වෙනත් හේතු පදනම්ව ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීමට ඇමැතිවරයාම තීරණය කරන ලදී.