වාස්ගේ තටු කැපෙයි චම්පක බැහැ කියයි

119

මේ දිනවල නවසීලන්තයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා-නවසීලන්ත ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ දක්‍ෂතා ඉතාමත්ම පහළ මට්ටමක පැවැතීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යැවීමේ අංශයේ පුහුණුකරණයට අදාළව විශේෂඥ උපදේශකයකු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි “මව්බිම”ට වාර්තා වේ.

 

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් සංවර්ධන නිලධාරියා ලෙස කටයුතු කරන රුමේෂ් රත්නායකට ලබන පෙබරවාරි මස 4දා සිට 20දා දක්වා බලපැවැත්වෙන පරිදි දින 17ක කාලයක් සඳහා කරන ලද නව පත්වීම වෙනුවෙන් රුමේෂ් රත්නායකට ඇමෙරිකානු ඩොලර් හයදහසක මුදලක් (රුපියල් ලක්‍ෂ 8ක් පමණ) සමඟ දිනකට ඇමෙරිකානු ඩොලර් 100ක් බැගින් දීමනාවක්ද ගෙවීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇතැයිද දැනගන්නට ඇත.

ලබන පෙබරවාරි මස 14දා (ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගයෙන්) ඇරැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යන ගමනට පෙරහුරුවක් ලෙස ලැබී ඇති නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ දුර්වලතා හේතුවෙන් එම අංශය භාර පුහුණුකරු චමින්ද වාස්ගේ තනතුර අවදානමකට ලක්වී ඇතැයිද පැවැසේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවාගේම තක්සේරුවට අනුව චමින්ද වාස්ගේ පුහුණුකරණය පිළිබඳව ප්‍රශ්න රැසක් ඉස්මතු වී ඇතැයි වාර්තා වන අතර, ඊට ඉක්මන් විසඳුමක් ලෙස චමින්ද වාස් පුහුණුකරු තනතුරින් ඉවත් කොට හිටපු වේගපන්දු යැවීමේ පුහුණුකරු චම්පක රාමනායක එම තනතුරට පත්කිරීමට ක්‍රිකට් බලධාරීන් උත්සුක විය. එහෙත් ඒ පිළිබඳව චම්පක රාමනායකගේද බලවත් නොකැමැත්ත මෙන්ම ක්‍රිකට් විධායක සභාවේ බලධාරීන් අතරේද ඇතිවූ කඹ ඇදිල්ල නිසා එම උත්සාහයන් ව්‍යර්ථ වී ඇතැයි පැවැසේ.

කෙසේ වෙතත් එවන් කෙටි දැනුම් දීම් මගින් යළිත් එම තනතුර භාරගැනීමට රාමනායක මහතාගේ නොකැමැත්ත පළවී ඇතැයිද දැනගන්නට ඇත. ඒ අනුව වත්මන් පුහුණුකරු චමින්ද වාස් නවසීලන්තයේ සිටියදීම රුමේෂ් රත්නායක උපදේශකයකු ලෙස මෙකී කාලය තුළ ශ්‍රී ලංකා පිල සමඟ කටයුතු කිරීමට නියමිතය. තවද ඔහුට අමතරව නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායකයකු වන ස්ටීවන් ෆ්ලෙමින්ද උපදේශකයකු ලෙස ලෝක කුසලාන කාල සීමාව තුළදී බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාගේ යෝජනාවකට අනුව ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුවී ඇතැයිද පැවැසේ.

එහෙත් එම යෝජනාව කෙරෙහිද ක්‍රිකට් විධායක සභාවේ කිහිප දෙනකුගේ අකැමැත්ත පළවී ඇති අතර, ඊට වඩා කණ්ඩායමේ තේරීම් කටයුතු කෙරෙහි අවධානය යොමුකිරීම තේරීම් කමිටුවේ රාජකාරිය වියයුතු බවද ඔවුන්ගේ අදහස වී ඇත. තවද මීට පෙරද දිනකට ඩොලර් 800ක් බැගින් ගෙවා දින 17ක් සඳහා මනෝ වෛද්‍යවරයකු පත්කළ බව පෙන්වා දෙන එකී ආරංචි මාර්ග පවසන්නේ පසුගිය වසරේ ක්‍රිකට් ආයතනයේ පාඩුව රුපියල් කෝටි 31.12ක් වන බවය.