ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය බාලක-බාලිකා ශූරතා දෙකම මීගමුවට

127

ඇඹිලිපිටිය මහජන ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් සිවු දිනක් තිස්සේ පැවැති 45 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නිමාව දකින විට එහි සමස්ත ශූරතාව මෙන්ම සමස්ත බාළිකා ශූරතාවද මීගමුවට රැගෙන යන්නට මීගමුව මාරිස්ටෙලා විදුහල හා මීගමුව ආවේ මරියා කන්‍යාරාමය සමත් වී තිබිණි.

 

ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වූ බදාදා (5දා) එකම වාර්තාවක් හෝ බිහි නොවුවද නව වාර්තා 10කින් ක්‍රීඩා උළෙල වර්ණවත් විය. ඊට වසර 42ක් පැරැණි වාර්තාවක් බිඳ වැටීමද ඇතුළත්ව තිබීම විශේෂත්වයක් විය.

සිලෝන් බිස්කට් සමාගමේ රිස්ට්බරි අනුග්‍රහය ඇතිව පවත්වන ලද මෙම ක්‍රීඩා උළෙලේ ත්‍යාග ප්‍රධානෝත්සවය පවත්වන ලද්දේ එහි කළමනාකාර නිලුපුල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

 ක්‍රීඩා උළෙලේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය අවුරුදු 15න් පහළ කපෙත්ත විසිකිරීමේ ඉසව්වට මීටර් 46.28ක දුරක් සටහන් කොට ජයගත් හලාවත ආනන්ද විදුහලේ ෂර්මේස් රුමේෂ්ක දිනාගත් අතර දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස තෝරාගනු ලැබුවේ අවුරුදු 14න් පහළ දුර පැනීම් ඉසව්ව මීටර් 5.38 දුරක් සහිතව ජයගත් දෙබරවැව ජාතික පාසලේ නෙත්මි මේඝවර්ණ ක්‍රීඩිකාවය.

සමස්ත බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහලටද, අනුශූරතාවය කොටහේන ශාන්ත බෙනඩික් විදුහලටද හිමිවූ අතර තෙවැනි ස්ථානය හමිව තිබුණේ කොළඹ රාජකීය විදුහලටය.

මීගමුව ආවේ මරියා කන්‍යාරාමය සමස්ත බාලිකා ශූරතාව දිනාගද්දී කොළඹ මියුසියන් විදුහල හා විශාඛා විදුහල පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගෙන තිබිණි.

ඒ හැරුණු විට මේ වසරේ පවත්වන ලද ජාතික පාසල්, ජෝන් ටාබට් ජේ‍යෂ්ඨ යන මලල ක්‍රීඩා තරග මාලාවන්හිදීද බාලක ශූරතා මීගමුව මාරිස්ටෙලා විදුහල ජයගෙන තිබීම විශේෂත්වයකි.

ශූරතා දිනූ පාසල්

අවුරුදු 14න් පහළ

සමස්ත බාලක ශූරතාව – ශාන්ත බෙනඩික් විදුහල

අනුශූරතාව – කොළඹ රාජකීය විදුහල

තෙවැනි ස්ථානය – රාජකීය විදුහල

සමස්ත බාලිකා ශූරතාව – මහනුවර මහමායා විදුහල

අනුශූරතාව – කොළඹ විශාඛා විදුහල

තෙවැනි ස්ථානය – අගමැති බාලිකා විදුහල

අවුරුදු 15න් පහළ

සමස්ත බාලක ශූරතාව – මීගමුව මාරිස්ටෙලා විදුහල

අනුශූරතාව – ශාන්ත බෙනඩික් විදුහල

තෙවැනි ස්ථානය – වෙන්නප්පුව ජොශප් වාස් විදුහල

සමස්ත බාලිකා ශූරතාව – මීගමුව ආවේ මරියා කන්‍යාරාමය

අනුශූරතාවය – කොළඹ මියුසියස් විදුහල

තෙවැනි ස්ථානය – කොළඹ විශාඛා විදුහල