තුන් ඉරියව්වෙන්ම පැරදෙයි

111

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ඉන්දීය සංචාරය අරඹමින් ඊයේ කතක්‌ හී පැවැති පළමු එක්‌දින තරගයේදී ලකුණු 169 ක දැවැන්ත පරාජයක්‌ අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්‌ඩායම විසින් ලබාදුන් අවසරයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්‌ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 ක්‌ දැවී ලකුණු 363 ක දැවැන්ත එකතුවක්‌ වෙත ගිය අතර ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම පන්දුවාර 39.2 කදී ලකුණු 194 කට සීමාවිය.

මෙම තරගයේදී ඉන්දීය කණ්‌ඩායම වෙනුවෙන් ආරම්භ පිතිකරු දෙපළ වූ අජින්ක්‍යා රහනේ සහ ෂිකර් ධවාන් විසින් පන්දුවාර 35 කදී ලකුණු ලකුණු 231 ක තීරණාත්මක සබඳතාවක්‌ පිහිටුවන ලදී. ශිකර් ධවාන් ලකුණු 10 දී සහ රහනේ ලකුණු 38 දී ලබාදුන් උඩපන්දු කඩුලු රකින කුමාර සංගක්‌කාර අතින් ගිලිsහී යැම හේතුවෙන් එක්‌දින තරගයක ඉන්දියාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ශතක ලබාගත් ඉතිහාසයේ 6 වැනි අවස්‌ථාව සටහන් වන්නට යෙදිණි.

හතරේ පහර 13 ක්‌ සහ හයේ පහර 2 ක්‌ සමගින් පන්දු 108 කදී ලකුණු 111 ක්‌ රහනේ විසින් ලබාගත් අතර හතරේ පහර 14 ක්‌ සහ හයේ පහර 3 ක්‌ සමග පන්දු 107 කදී ලකුණු 113 ක්‌ ධවාන් විසින් ලබාගන්නා ලදී.

තරමක්‌ මන්දගාමීව ඉනිම ඇරඹූ ඔවුන් දෙදෙනා පළමු පන්දුවාර 10 දී ලබාගත්තේ ලකුණු 43 ක්‌ පමණක්‌ වන නමුත් තරගයේ 21 සහ 30 වැනි පන්දුවාර අතර ලකුණු 105 ක්‌ රැස්‌කිරීමට මොවුන් දෙදෙනාට හැකිවුණි. එය 2001 න් පසු අදාළ පන්දුවාර අතර ඉන්දියාව ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය.

රහනේ සහ ධවාන් ගේ ආරම්භයෙන් ප්‍රවේගකාරී පිතිහරඹයකට අවස්‌ථාව ලද සුරේෂ් රයිනා ඊයේ සිය 200 වැනි එක්‌දින තරගයට සහභාගි වෙමින් එම අංශයේ ලකුණු 5000 සම්පූර්ණ කළේය. ඒ පන්දු 34 කදී හතරේ පහර 4 ක්‌ සහ හයේ පහර 3 ක්‌ සමගින් ලකුණු 52 ක්‌ ලබමිනි. 

එම ඉනිමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් සුරාඡ් රන්දීව්ට සිය කඩුලු 3 දවාගැනීම සඳහා ලකුණු 78 ක්‌ ලබාදීමට සිදුවිය. මෙය එක්‌දින තරගයක ඔහුගේ වැඩිම ලකුණු ලබාදීමද වේ. ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පන්දු යවන්නන් 8 දෙනකු යොදාගැනීමට සිදුවීමද කැපී පෙනිණි.

ජයගැනීමට නම් පන්දුවාරයකදී ලකුණු 7.26 කට වඩා වැඩි වේගයක්‌ රඳවාගත වූ මේ තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සිය ඉනිම ආරම්භයේ සිටම විශ්වාසනීයත්වයෙන් තොරව පන්දුවට පහරදෙන අයුරක්‌ දිස්‌විය. 

පන්දු 36 කදී හතරේ පහර 6 ක්‌ සහ හයේ පහරක්‌ සහිතව ලකුණු 43 ක්‌ රැස්‌කළ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ අතර පන්දු 27 කදී ලකුණු 29 ක්‌ ලබාගත් තිසර පෙරේරා හැරුණු විට ලකුණු 25 පසුකළේ පන්දු 53 ක්‌ වැය කරමින් ලකුණු 28 ක්‌ ලබාගත් උපුල් තරංග පමණි.

ඉෂාන්ත් ෂර්මා පන්දුවාර 8 කදී ශ්‍රී ලංකා පිලේ කඩුලු 4 ක්‌ බිඳ දමන අතරවාරයේ උමේෂ් යාදේව් සහ ආක්‌ෂා පටෙල් කඩුලු 2 බැගින් බිඳ දැමීය.

වේග පන්දු යවන ළහිරු ගමගේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්‌දින ජාත්‍යන්තර වරම් ලැබූ 160 වැනි ක්‍රීඩකයා බවට මෙම තරගයේදි පත්විය.

ලකුණු සටහන

ඉන්දියාව- පන්දුවාර 50 දී කඩුලු 5 ක්‌ දැවී ලකුණු 363 යි

( අජින්ඛ්‍යා රහනේ 111, ෂිකර් ධවාන් 113, සුරේෂ් රයිනා 52, රන්දීව් 78/3, ) 

ශ්‍රී ලංකාව- පන්දුවාර 39.2කදී සියලු දෙනා දැවී ලකුණු 194 යි

( උපුල් තරංග 28, ටී.එම් ඩිල්ෂාන් 18, කුමාර සංගක්‌කාර 13, මහේල ජයවර්ධන 43, සීකුගේ ප්‍රසන්න 5, ඇන්ජලෝ මැතිව්ස්‌ 23, අෂාන් ප්‍රියංජන් 12, තිසර පෙරේරා 29, සුරාජ රන්දීව් 5, ධම්මික ප්‍රසාද් 0, ලහිරු ගමගේ නොදැවී 0, යාදේව් 24/2, ෂර්මා 34/4, පටෙල් 24/2)