අවුරුදු 16ක ගැටයා ලෝක වාර්තාවක් සමඟින් ශූරතාවයට

495

ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කෙරෙන ලෝක ශූරතා වෙඩි තැබීමේ තරගාවලියේ දී සව්රබ් චවුදරි විසින් පිරිමි මීටර 10 වෙඩි තැබීමේ ශූරතාවය දිනා ගත්තේ ලෝක වාර්තාවක් සමඟිනි. තරගාවලිය පැවැත්වුණේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි.

ඉන්දියානු ජාතික චවුදරි වයස අවුරුදු 16ක සිසුවෙකු වුවද ඔහු තමන් සහභාගී වූ පළමු ජ්‍යෙෂ්ඨ ලෝක ශූරතා තරගාවලියේ දී ම ශූරයා බවට පත්වුනේ මුළු ලකුණු 245ක් වාර්තා කරමිනි. ඔහු රිදී පදක්කම් ලාභියාට වඩා ලකුණු 5.7ක් ඉදිරියෙන් සිටියේ අවසන් වටය එළඹීමටත් ප්‍රථම ය. ආසියානු ක්‍රීඩා උළෙලේ සහ යොවුන් ඔලිම්පික් උළෙලේ වත්මන් මීටර 10 වෙඩි තැබීමේ ශූරයා වන්නේ ද චවුදරි ය.

මම උත්සාහ කළේ මම හැමදාම කරන දේම කරන්නයි. ඔලිම්පික් සුදුසුකම ගැනවත් ලෝක වාර්තාවක් ගැනවත් මම හිතුවේ නෑ, හිතුවා නම් මම දිනන්නෙත් නෑ.” චවුදරි තම ජයග්‍රහණයෙන් අනතුරුව කියා තිබුණි.  

පසුගිය වසරේ ඔලිම්පික් ශූරයා වූ චීනයේ වෙයි පෑන්ග් තෙවැනි ස්ථානයට පත්කරමින් සර්බියාවේ ඩැමී මිකෙච් විසින් රිදී පදක්කම දිනා ගන්නා ලද්දේය. එළඹෙන 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ද සැලකෙන මෙම තරගාවලිය තුළ දී චවුදරිට අමතරව තවත් ඉන්දියානු ක්‍රීඩකයන් තිදෙනෙකු ඔලිම්පික් වරම් දිනා ගත්තේය.

“ඉන්දියාවට සත්කාරකත්වය තහනම්” – අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව

ඉන්දියාව විසින් ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීම සඳහා ….

කෙසේ වෙතත් මේ කවරකටවත් වඩා සමස්ත ඉන්දියාවට මෙය සැනසුම් සුසුමක් විය හැකිය. පසුගිය දා මෙම තරගාවලියට සහභාගී වීමට අයැදුම් කළ පාකිස්තානු ක්‍රීඩකයන් දෙදෙනෙකුට වීසා ලබා නොදීම හේතුවෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉන්දියාවට ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීමේ වරම අහිමි කිරීම ගැන සාකච්ඡා කෙරෙමින් පවතියි. ඒ සියල්ල මැද චවුදරි විසින් ලබාගත් මේ ජයග්‍රහණය සුවිශේෂී ය.

වඩාත්ම සතුටුදායක කරුණ නම් චවුදරි, තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ දී රැඳී සිටියේ තෙවැනි ස්ථානයේ වීමයි. තරගාවලියක් අවසන් වන තෙක් කිසිවක් ගැන පූර්ව නිගමන වලට එළඹිය යුතු නොවන බව සව්රබ් චවුදරි අප රටේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන පණිවුඩයයි. අප රටේ පවතින තත්වයට මෙය සම්බන්ධ කළහොත් සව්රබ් චවුදරි නම් 11 වැනි ශ්‍රේණියේ සිසුවා ලෝක මට්ටමේ සියලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අභිබවා වෙඩි තැබීමෙන් දැන් පළමු ස්ථානයේ සිටියි.

>> මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<