භාණ්ඩාගාර පෙට්ටගම අරින සාග් ජයග්‍රාහකයෝ

140

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් සමඟ සමස්ත පදක්කම් 251 ක් දිනා ගත් අතර එම පදක්කම්වල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 414 ක් පමණ බැව් නිල නොලත් ආරංචි මාර්ග වලින් ThePapare.com වෙත දැන ගැනීමට හැකිවී ඇත. 

ඉඳුනිල්, ආයු රක්ඛන්තු ආවඩා!

ආයු රක්ඛන්තු ආවඩා! ඉතිහාසයේ ශාන්තිකර්ම වල භාවිතා වූ එම පද වැල එක් යුගයක ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වදන් පෙළ බවට පත්ව තිබුණි…….

මෙම ආරංචිය දිග හැරීමට පෙර සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා අතීතය මදක් විමසා බැලීම ද වටී. එබැවින් අපි පළමුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු කරමු. 

වසර 35ක සාග් අතීතය 

වසර 35 ක අතීතයකට හිමිකම් කියන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, ප්‍රථම වරට ආරම්භ වන්නේ 1984 වසරේ දීය. ආරම්භක සත්කාරකයන් වීමට අද සේම එදා ද නේපාලය සමත් වූවා. එදා සිට අද දක්වා මෙම ක්‍රීඩා උළෙල 13 වතාවක් පවත්වා ඇත. ආරම්භක ක්‍රීඩා උළෙලේ සිට මේ දක්වා ම ඉන්දියාව, දකුණු ආසියානු ක්‍රීඩා ලෝකයේ ශූරයන් ලෙසින් ඉදිරියෙන් සිටින්නේ අපරාජිත වෙමිනි. 

ඔවුන් මෙවර රන් පදක්කම් 173 ක්, රිදී පදක්කම් 93 ක් සහ ලෝකඩ පදක්කම් 45 ක් සමඟින් සමස්ත පදක්කම් 311 ක් දිනා ගනිමින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. 

දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූයේ රන් පදක්කම් 51 ක්, රිදී පදක්කම් 60 ක් සහ ලෝකඩ පදක්කම් 95ක් සමඟ සමස්ත පදක්කම් 206 ක් දිනා ගත් සත්කාරක නේපාලය යි. මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට හිමි වූයේ තෙවන ස්ථානය යි. 

ශ්‍රී ලංකාව පළමු වරට සාග් ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දක්වන්නේ 1991 වසරේ දී පැවති 5 වැනි සාග් ක්‍රීඩා උළෙල වෙනුවෙන්. ඒ වනවිට රන් පදක්කම් 10කට අඩුවෙන් දිනාගෙන තිබූ ශ්‍රී ලංකාව, එවර සත්කාරකත්වයේ වාසිය ද ලබා ගනිමින් රන් පදක්කම් 44 ක් දිනා ගැනීමට සමත් වුනා. එහිදී ද සුපුරුදු පරිදි ඉන්දියාව පළමු තැන හිමිකර ගත්තේ රන් පදක්කම් 64 ක් දිනා ගනිමින්. 

නැවත වතාවක් ශ්‍රී ලංකාවට සාග් ක්‍රීඩා උළෙලක සත්කාරකත්වය හිමි වන්නේ 2006 වසරේ දී. එවර ද ඉන්දියාව රන් පදක්කම් 118 ක් දිනා ගනිමින් පෙරමුණ ගන්නා විට සත්කාරක ශ්‍රී ලංකාව අභිබවා පාකිස්තානය දෙවන ස්ථානයට පැමිණීමට සමත් වූවා. පාකිස්තානය රන් පදක්කම් 46 ක් දිනා ගන්නා විට ශ්‍රී ලංකාව දිනා ගන්නේ රන් පදක්කම් 37 ක් පමණයි.  

සාග් ක්‍රීඩා උළෙල පැවති සෑම අවස්ථාවකම ඉන්දියාව හැරෙන්නට අනෙක් කිසිඳු රටකට නිශ්චිත ස්ථානයක් හිමිකර ගැනීමට හැකියාවක් ලැබී නැත. ශ්‍රී ලංකාව සමඟ පාකිස්තානය සහ නේපාලය වරින් වර ඉහළ පහළ යමින් දෙවන සහ තෙවන ස්ථාන වලට හිමිකම් කියා ඇත. 

දැවැන්ත කණ්ඩායමක් 

දින 10 ක් පුරා නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් 28 ක් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 700 කට ආසන්න පිරිසකි. ඊට අමතරව පුහුණුකරුවන්, තාක්ෂණ නිලධාරීන් ඇතුළු පිරිස ද එක්වූ කළ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගීත්වය 1000 කට ආසන්න පිරිසකි. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 344 ක් බැව් ක්‍රීඩා උළෙලට පෙර පැවති මාධ්‍ය හමුවක දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පැවසීය. 

මේ සා මුදලක් වැය කරමින් සහභාගී කරවන කණ්ඩායම මෙරටින් පිටත්වීමට පෙර බලාපොරොත්තුව වන්නේ රන් පදක්කම් 35 ක්, රිදී පදක්කම් 75 ක් සහ ලෝකඩ පදක්කම් 125 ක් සමඟින් සමස්ත පදක්කම් 235 ක් බැව් ද එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ නමුත් තරගාවලිය අවසන් කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එම බලාපොරොත්තුව අභිබවා යෑමට සමත් වූවා. 

මේ අතුරින් වඩාත් දක්ෂතා දැක්වූයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. ඔවුන් රන් පදක්කම් 15 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් සමඟ සමස්ත පදක්කම් 35 ක් දිනා ගැනීමට සමත් වූවා. ඒ අතුරින් දිනා ගනු ලැබූ රන් පදක්කම් 15, සාග් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාව අභිබවා ගිය පළමු අවස්ථාව ලෙසද වාර්තා වුනා. 

සහාය දිවීමට ගොස් දුර පැනීමෙන් රන් දිනූ දිරිය කෙල්ල

පානදුර සුමංගල බාලිකාවෙන් මලල ක්‍රීඩා පිටියට පිවිසි සාරංගි ………

පදක්කම් දිනූවන් ඇගයේ   

ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග වලදී පදක්කම් දිනන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුදලින් ඇගයිය යුතු බවට හිටපු ක්‍රීඩා ඇමතිවරුන් වූ දයාසිරි ජයසේකර සහ හරින් ප්‍රනාන්දු මහතාගේ ද අදහස විය. අප මේ ලිපිය ආරම්භයේ ආරංචියක් ලෙසින් පැවැසුවේ හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ගේ අදහස් වලට එකඟ වෙමින් වත්මන් ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ද ඊට සූදානම් වන බවකි. 

ආරංචිය අනුව නම් රන් පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 3 ක මුදලක් ද, රිදී පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 2 ක මුදලක් සහ ලෝකඩ පදක්කමක් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ද මෙසේ පිරිනැමීමට නියමිතය. පදක්කම් ලාභීන් අගය කිරීමේ දී පෙර වසර වලට වඩා මේ වසරේ දී රන් පදක්කම් ලාභීන් වැඩි වීම විශේෂත්වය වේ. ඒ අතුරින් වඩාත් ම කැපී පෙනෙන්නේ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ය. 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා යුද හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර ඔවුන් රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනා ගැනීමට සමත් වුනා. 

තනි ක්‍රීඩකයෙක් ලෙසින් පදක්කම් වැඩිම ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් වූයේ පිහිනුම් කණ්ඩායම නියෝජනය කළ මැතිව් අබේසිංහ ය. ඔහු පිහිනුම් කේවල ඉසව් නියෝජනය කරමින් රන් පදක්කම් 6ක් දිනා ගත් අතර සහාය ඉසව්වෙන් ද රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා. මීට අමතරව ඔහු රිදී පදක්කම් 2 ක් ද දිනා ගැනීමට සමත් වූ අතර ඒ අනුව ඔහුගේ ගෙලේ පැළැඳි පදක්කම් ප්‍රමාණය 9කි. 

ඊට පසුව ඉහළින් ම කියැවෙන නම වනුයේ ක්‍රීඩා උළෙලට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩිකාව වූ ඩිල්ෂි කුමාරසිංහ ය. ඇය රන් පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් වුනා. ඊට අමතරව නිලානි රත්නායක, ලක්ෂිකා සුගන්ධි, සාරංගි සිල්වා, අරුණ දර්ශන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද පදක්කම් එකකට වඩා දිනා ගැනීමට සමත් වුනා. 

පදක්කම් දිනූ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇගයීම පැසසිය යුතුය. ඔවුන් අද දවසේ ඇගයීම, හෙට දවසේ අප බලාපොරොත්තු තව තවත් ඉහළ නංවනවා මෙන්ම ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට ද මේ මගින් යම් හෝ සහනයක් වීම ද එකී බලාපොරොත්තු ඉහළ නැංවීමට හේතුවක් වනු ඇත. 

උපහාර ලබන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක සමඟම ඔවුන්ගේ පුහුණුකරුවන් වෙත ද යම් හෝ ඇගයීමක් ලැබේ නම් එය ද වඩාත් වැදගත් බැව් අපගේ හැඟීම ය. එය ද හෙට දවසේ මෙරට ක්‍රීඩාව රනින් බැබළ වීමට හේතු වන ඇත. උපහාර ලබන සියලුම දෙනාට ThePapare.com අපෙන් සුබ පැතුම්. 

13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 

ක්‍රීඩාව ක්‍රීඩකයා/ක්‍රීඩිකාව පදක්කම්

ප්‍රමාණය

ඉසව්ව
මලල ක්‍රීඩා ඩිල්ෂි කුමාරසිංහ  2 මීටර් 400

මීටර් 800 

නිලානි රත්නායක 2 මීටර් 1500

මීටර් 5000

ලක්ෂිකා සුගන්ධි 1 මීටර් 100 කඩුලු පැනීම 
සාරංගි සිල්වා 1 දුර පැනීම
අරුණ දර්ශන 1 මීටර් 400 
ඉඳුනිල් හේරත් 1 මීටර් 800
හිරුණි විජේරත්න 1 මැරතන්
හසිනි ප්‍රබෝධා 1 තුන් පිම්ම
දිල්හානි ලේකම්ගේ 1 හෙල්ල විසිකිරීම
ලක්ෂිකා සුගන්ධි

සාරංගි සිල්වා

සදීපා හෙන්ඩර්සන් 

අමාෂා ද සිල්වා

1 මීටර් 100x4 සහාය 
විනෝජ් සුරංජය 

හිමාෂ ඒෂාන්

සුපුන් ප්‍රියදර්ශන

චානුක සංදීප

1 මීටර් 100×4 සහාය
ඩිල්ෂි කුමාරසිංහ

ගයන්තිකා අබේරත්න

ඔමාය උදයංගනී

කෞෂල්‍යා මධුශානි 

1 මීටර් 400×4 සහාය
අරුණ දර්ශන

සෙනිර ගුණරත්න

රජිත රාජකරුණා

ලක්මාල් ප්‍රියන්ත

1 මීටර් 400×4 සහාය
පිහිනුම්  මැතිව් අබේසිංහ  6 මීටර් 50 සමනල ආර 

මීටර් 50 නිදහස් ආරඅ

මීටර් 100 සමනල ආර

මීටර් 100 නිදහස් ආර 

මීටර් 200 නිදහස් ආර 

මීටර් 200 මිශ්‍ර ආර

මැතිව් අබේසිංහ

අකලංක පීරිස්

ස්ටෙෆාන් පෙරේරා

කවින්ද්‍ර නුගේරා 

1 මීටර් 100x4 නිදහස් ආර සහාය
ටයිකොන්ඩෝ රනුක ප්‍රභාත්  1 පුම්සේ කේවල
රනුක ප්‍රභාත්

ඉසුරි සුහාරා මෙන්ඩිස්

1 පුම්සේ මිශ්‍ර යුගල
චාලින්ද සම්පත්  1 කිලෝ ග්‍රෑම් 63 බර පංතිය
නිශ්ශංක ජයසිංහ

ඉලංදාරිගේ ලක්ෂ්මන් 

ක්‍රිෂාන්ත වීරසිංහ

1 අවු.23ට වැඩි පුම්සේ පිරිමි කණ්ඩායම් ඉසව්ව
ගොල්ෆ්  ග්‍රේස් යටවර 1 කාන්තා කේවල
ග්‍රේස් යටවර

ටී. සෙල්වරත්නම්

ටානියා බාලසූරිය

1 කාන්තා කණ්ඩායම්
බීච් වොලිබෝල් අසංක ප්‍රදීප්

අශේන් කුමාර

1 පිරිමි කණ්ඩායම
දීපිකා බණ්ඩාර 

චතුරිකා මධුෂානි

1 කාන්තා කණ්ඩායම
මල්ලවපොර දිල්හානි වීරබාහු 1 කිලෝ ග්‍රෑම් 65 බර පන්තිය
අයෝමි සෙනෙවිරත්න 1 කිලෝ ග්‍රෑම් 72 බර පන්තිය
බර ඉසිලීම වයි.ඩී.අයි. කුමාර 1 පිරිමි කිලෝ ග්‍රෑම් 55 බර පන්තිය
එච්.ඩබ්.ටී.එන්.බී.ජේ. හපුතැන්න 1 කාන්තා කිලෝ ග්‍රෑම් 87ට වැඩි බර පන්තිය
වූෂු  එම්.එල්.ඩී.ටී.එස්. ගුණසේකර 1 තායිජිජියන්
තරිඳු නාමල් අනුරාධ 1 තායිජිජියන්
බැඩ්මින්ටන්  තිළිණි හෙන්දහේවා 

කවිඳි සිරිමාන්න

1 කාන්තා යුගල
තුන් ප්‍රයාම එරංගා දිල්රුක්ෂි 1 කාන්තා
ජූඩෝ චාමර නුවන් ධර්මවර්ධන 1 කිලෝ ග්‍රෑම් 73 බර පංතිය
බොක්සිං රුමේෂ් සඳකැලුම්  1 කිලෝ ග්‍රෑම් 81 බර පංතිය

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<