කෑගල්ල නගරසභා ක්‍රීඩාංගනය ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් වශයෙන් නවීකරණය කිරීමට අවශ්‍ය කරුණු සොයාබැලීම සහ එයට අවශ්‍ය වැඩකටයුතු කඩිනමින් ආරම්භකිරීම පිළිඹඳ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 05) සවස කෑගල්ල නගරසභා ශාලාවේදී පැවැත්විණි.

එහිදී ක්‍රීඩාපිටිය නවීකරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ කෑගල්ල ක්‍රීඩාපිටිය වසර 100 කට වැඩ පැරණි ක්‍රීඩා පිටියක් බවයි. එය කඩිනමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් බවට පත්කරමින් එයට අවශ්‍ය ක්‍රීඩාගාරය, ධාවන පථය , ශරීර සුවතා මධ්‍යස්ථානය, පිහිනුම් තටාකය සහ ප්‍රේක්ෂකාගාරය පිළිඹඳ වැඩි අවධානයක් යොමු කරමින් ජාත්‍යන්තර මට්ටමට ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

මෙම ක්‍රීඩා පිටිය ක්‍රිකට්, පාපන්දු, සහ මලල ක්‍රීඩකයන්ට ක්‍රීඩා කළහැකි ලෙස සකස්කිරීම සම්බන්ධව වැඩි අවධානයක් තමන් යොමුකරන බව ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනී බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් කේ.ඩී. එස්. රුවන්චන්ද්‍ර සහ ක්‍රීඩා සංගම් නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.