“ඔබ පරිවර්තනය නොවන්නේ නම්, ඔබ අස්ථාවරයි” – මහේල ජයවර්ධන

1616

ප්‍රමුඛ IPL ක්‍රිකට් කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන, පරාජය හසුරුවා ගන්නා ආකාරය ගැන හොඳ පණිවිඩයක් ආධුනික ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත ලබා දී තිබෙනවා.

ඊයේ (24) සවස පැවති මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් අතර තරගය අඩු ලකුණු වාර්තා වූ තරගයක් වුවද උණුසුම් එකක් විය. සන්රයිසර්ස් කණ්ඩායමේ ලකුණු 119ක ඉලක්කය හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 87ක් පමණයි.

නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත මුම්බායි කණ්ඩායමට පුහුණුකාරීත්වය ලබා දෙන මහේල, 2017 වසරේ තරගාවලියේ ජය ලබා ගැනීමට ද ඔවුන්ව මෙහෙයවූයේය. පරාජයෙන් පසුව මහේල ආධුනික ක්‍රීඩකයන් ගැන රොයිටර් හමුවේ පවසා සිටියේ මෙවැන්නකි.

“හැම අවුරුද්දකම ඔබට එකම විදියෙන් පන්දුවට පහර දෙන්න බෑ. ක්‍රීඩකයන් දියුණු නොවන්නේ නම් ප්‍රගතියක් ලැබෙන්නේ නැහැ. නවකයන් ඉගෙන ගත යුතුයි වැඩිපුර මහන්සි වී පුහුණු වීමට. දස්කම් පමණක් ඔබව ඉදිරියට රැගෙන යන්නේ නැහැ.”

ක්‍රිකට් ක්‍රීඩාවේ මානසික අර්ධය වැදගත් එකකි. එහි දී ශාරීරික පුහුණුව සහ සූදානම ඉක්මවූ මනසක් සහිත වීම සෑම පීඩනකාරී අවස්ථාවක දී ම ක්‍රීඩකයන්ට කෙළින් සිටීමට හුරු කරයි.

“තරගය මෙහෙයවීම සහ තරගය ගැන සිතීම ගැන තමයි ඔවුන් පුහුණු විය යුත්තේ. විශේෂයෙන් බොහෝ වෙනස්කම් සහිතව පන්දු යවන ජාත්‍යන්තර පන්දු යවන්නන් හමුවේ ක්‍රීඩා කිරීමේ දී ඔබ පරිවර්තනය වෙමින් සිටිය යුතුයි. නැතිනම් ඔබට ස්ථාවර වන්නට බැහැ.”

ලෝක කුසලාන දෙකක අවසන් මහා තරග කරා සිය කණ්ඩායම මෙහෙයවූ නායකයෙකු සහ දක්ෂ ක්‍රිකට් චින්තකයෙකු සේ හැඳින්වෙන මහේල ජයවර්ධන පවසන අදහස ශ්‍රී ලංකාවේ සෑම නවක ක්‍රීඩකයෙකුටම තම ක්‍රීඩා දිවියේ ඉදිරි සැලසුම නිර්මාණය කර ගැනීමේ දී යොදාගත හැකිය. ක්‍රිකට් යනු කයෙන් පමණක් නොව සිතින් ද ක්‍රීඩා කළ යුතු සංකීර්ණ ක්‍රීඩාවකි.

“අද අපි ඔලුවෙන් (මානසිකව) ක්‍රීඩා කරේ නැහැ. ප්‍රතිවාදීන්ගේ ප්‍රධාන පන්දු යවන්නන්ට එරෙහිව අප අවස්ථාවන් ගත යුතුව තිබුණේ නැහැ. අපට කෙමෙන් ලකුණු රැස්කරමින් ඇතැම් පන්දු යවන්නන්ට පහර දෙන්න තිබුණා.” පරාජිත තරගයෙන් අනතුරුව මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරුවා පැවසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව යනු මෙයයි. ප්‍රතිවාදීන්ගේ ප්‍රධාන තුරුම්පු හසුරුවා ගැනීම ඉතාම වැදගත් කරුණකි. කොයි මොහොතේ, කුමන පන්දු යවන්නන්ට පහර දිය යුතු දැයි මනසින් යුහුසුළුව ගණනය කළ යුතු වේ.

මෙය වාක්‍ය ඛණ්ඩ කිහිපයක පණිවිඩයකි. එහෙත් තම ක්‍රිකට් දිවිය සැලසුම් කරන්නෙකුට සාගරයක උපකාරයක් විය හැකිය. ක්‍රීඩාවේ යෙදෙන්නෙකු කාලයෙන් කාලයට තමන් තුළ සිදු විය යුතු වෙනස්කම් හඳුනා ගත යුතුය. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ආදී ශ්‍රේෂ්ඨ පිතිකරුවන් ඔප්පු කර පෙන්වූ සත්‍යය එයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<