මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් කරළියේ ශ්‍රී ලංකා භූමිකාව

12512
Sri Lanka’s business in IPL

2016/17 ජාත්‍යන්තර ක්‍රිකට් තරග වාරය අවසන් අදියරට පැමිණීමත් සමඟ බොහෝ ක්‍රිකට්ලෝලීන්ගේ අවධානය මේ වන විට යොමුවීමට පටන් ගෙන ඇත්තේ ඉන්දියාව දෙසටයි. ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් නැතහොත් IPL තරගාවලියේ 10 වන දිගහැරුම ආරම්භ වීම හේතුවෙනි.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ගේ අවධානය IPL වෙත යොමුවීම වැළැක්විය නොහැක්කේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලිය අදින් අවසන් වීමත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන තරමක් හිස් වීම නිසාවෙනුයි. පකිස්තාන – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය මැයි මාසය දක්වා දිවුනත්, එම තරග පැවැත්වෙන කාලය මෙරට ප්‍රේක්ෂකයන්ට පහසු වෙලාවක් නොවන බැවින් බොහෝ දෙනා හට ඉතිරි වන එකම ක්‍රිකට් අත්දැකීම වන්නේ IPL තරගාවලියයි.

හෙමින් සෙල්ලම් කළාට දඩ!

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (4) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී…

මෙම තරගාවලියේ තරග ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4ට සහ රාත්‍රී 8ට ආරම්භ වීම හේතුවෙන් සැටලයිට් රූපවාහිනී ග්‍රාහකයන් මෙන්ම සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල පහසුකම් ඇති සියලු ප්‍රේක්ෂකයන් පාහේ ලොව ඉහළතම මුදල් ගලා යාමක් ඇති ක්‍රිකට් තරගාවලියක් වන IPL දෙස අනිවාර්ය අවධානයක් යොමු කරනු නොඅනුමානයි.

ඔබ ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලියෙකු නම් මෙවර අනිවාර්යයෙන්ම ඔබේ IPL කණ්ඩායම බවට පත් වනු ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. මේ ලියුම්කරු පෙර සිටම මුකේෂ් අම්බානි නම් සාර්ථක ව්‍යාපාරිකයා හිමිකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ආධාරකරුවෙකු බවට පත්ව සිටියේ එම කණ්ඩායමේ ආකර්ශනීය තේමා ගීතය ඇතුළු පෞද්ගලික කරුණු කිහිපක් හේතුවෙනුයි. කෙසේ වෙතත් මේ වසරේ දී වඩාත්ම ශ්‍රී ලාංකේයකරණය වූ කණ්ඩායම ලෙස මුම්බායි කණ්ඩායම වෙත බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය යොමු වනු ඇත. ඊට හේතුව මුම්බායි කණ්ඩායමේ IPL චාරිකාවට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සම්බන්ධව සිටීමයි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ තාක්ෂණයෙන් අනූනතම පිතිකරුවන්ගෙන් අයෙක් වන මහේල ජයවර්ධන තවමත් පුහුණුකරුවෙකු ලෙස පසුවන්නේ ප්‍රාථමික අවධියක වුවත් තරගාවලියේ සිටින වඩාත්ම ධනවත් කණ්ඩායමක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් පරිපාලනය තම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු පිළිබඳ විශ්වාසය තබා තිබේ. මුම්බායි කණ්ඩායමේ මූලස්ථානය වන වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී අති විශිෂ්ට ශතකයක් වාර්තා කළ මහේල, ඉන් වසර 6කට පසු රෝහිත් ශර්මා නායකත්වය දරන මුම්බායි කණ්ඩායම පුහුණු කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවකි.

මහේල මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී සිදු කළ ඉතා ඥානාන්විත ක්‍රියාව ලෙස සඳහන් කළ හැක්කේ නොකඩවා තරග දෙකක දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හුදකලා වීරයෙක් වූ අසේල ගුණරත්නගේ සේවය ලබා ගැනීමයි. එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් IPL තරග බිමේ අසේලගේ ගිනිකෙළි දැක ගැනීමට පුල පුලා බලා සිටිනු ඇත.

පසුගිය වසර 10 තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත්ම කතා බහට ලක්වූ පන්දු යවන්නා මෙන්ම 2014 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය ජය ගත් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග නොකඩවා 10 වන වසරටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට මෙවර එක්වන්නේ ආබාධ වලින් සම්පූර්ණ සුවය ලැබූ ක්‍රීඩකයෙක් ලෙසයි. දශකයක් සපුරන IPL ඉතිහාසයේ සම්පූර්ණ කාලය තුල එක් කණ්ඩායමක් නියෝජනය කළ ක්‍රීඩකයන් තිදෙනා අතරින් මාලිංග ද එක් ක්‍රීඩකයෙක් වීම විශේෂත්වයකි. මුම්බායි කණ්ඩායමේ හිමිකරුවන් අසීරු කාල සීමාවන් තුල දී පවා ලසිත් මාලිංග ආරක්ෂා කර ගැනීමට මැදිහත් වූ බව නොරහසකි. පසුගිය තරගාවලිය තුල දී ආබාධයක් හේතුවෙන් එකදු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට නොහැකි වුවත් විශාල මුදලක් ගෙවා ඔහුව තම කණ්ඩායම තුල රඳවා ගැනීමට මුකේෂ් අම්බානි ප්‍රමුඛ මුම්බායි ඉන්දියන්ස් බලධාරීන් කටයුතු කිරීම ඊට කදිම නිදසුනකි. මෙවර තරගාවලිය සඳහා සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවයෙන් එක්ව සිටින මාලිංග ඒ වෙනුවෙන් තම ප්‍රති උපකාරය කණ්ඩායමට ලබා දීමට කිසිසේත් පසුබට නොවනු ඇත.

කුසල් ආර්. ප්‍රේමදාස පිටිය දෙවනත් කරයි; ජය ශ්‍රී ලංකාවට

සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම ජය පරාජයෙන් තොරව..

මීට අමතරව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ද මෙවර IPL තරගාවලිය තුල යම් කිසි මොහොතක තම සහභාගීත්වය සටහන් කිරීමට නියමිතව සිටියි. දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරන මැතිව්ස් හට පසුගිය ජනවාරි මාසයේ සිට ක්‍රිකට් කරළිය තුල පෙනී සිටීමට නොහැකි වුනේ දකුණු අප්‍රිකා තරග සංචාරය තුල මතු වූ පාදයේ ආබාධයක් හේතුවෙනුයි.

බංගලාදේශය සමඟ මෙරට දී පැවති තරගාවලිය සම්පූර්ණයෙන් අහිමි වීම හේතුවෙන් මැතිව්ස් ජුනි මාසයේ දී එංගලන්තයේ පැවැත්වීමට නියමිත ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියට පෙර තම ශාරීරික යෝග්‍යතාව ප්‍රදර්ශනය කිරීමට සහ තරග අත්දැකීම් ලබා ගැනීම සඳහා IPL තරගාවලිය ප්‍රයෝජනයට ගනු ඇත. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ද මැතිව්ස්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඉහල අවධානයක් යොමු කරනු නොඅනුමානය.

කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ සීක්කුගේ ප්‍රසන්න වැනි ක්‍රීඩකයන් මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී කණ්ඩායම් හිමිකරුවන්ගේ අවධානය දිනා ගැනීමට අසමත් වුවද, දිගින් දිගටම අසන්නට ලැබෙන ආබාධ පිළිබඳ ප්‍රවෘත්ති හේතුවෙන් IPL අවසන් අදියර වන විට ඔවුන් හට තරගාවලියට කැඳවීමක් ලැබීමේ අවස්ථාව පවතී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් දේශීය හෝ පළාත් මට්ටමේ තරගාවලියක් පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බැවින් (හෝ එවැන්නක් පිළිබඳ ප්‍රචාරයක් කර නොමැති බැවින්) ක්‍රීඩකයන් චැම්පියන්ස් කුසලාන තරගාවලිය වන තෙක් කරන්නේ කුමක්ද ? 2016 වසරේ ලබා ගත් බව පැවසෙන විශාල ලාභයෙන් කොටසක් වැය කර ක්‍රීඩකයන් එංගලන්තයේ පුහුණු කඳවුරකට සහභාගී කරවීමට බලධාරීන් හට හැකියාවක් නැති ද? ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රිකට් කමිටුව එක්ව චැම්පියන්ස් කුසලාන සඳහා කණ්ඩායම සූදානම් කරන්නේ කෙසේ ද යන්න සැලසුම් කළ යුතුව තිබේ.

ප්‍රෞඪ ක්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව ඉතිහාසය තුල දී IPL වැනි තරගාවලියක් පවත්වා තිබේ. 2012 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (SLPL) තරගාවලිය එකම වසරක් අවසානයේ සොයා ගැනීමට පවා නොහැකි වුවත් ඉන් ලැබූ ඇත්දැකීම් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම 2014 පන්දුවාර 20 ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව බොහෝ දුරට දේශීය පන්දුවාර 20 තරගාවලි සංවිධානය පිළිබඳව දුර්වලම වාර්තාවක් ඇති රට විය හැකියි. අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වසරේ අන්තර් සමාජ පන්දුවාර 20 තරගාවලිය ද අවලංගු කර ඇති බව වාර්තා වේ.

මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ද දේශීය පන්දුවාර 20 ලීගයක අඩුපාඩුව පෙන්වා දුනි. ”අවාසනාවට SLPL හෝ සුපර් ලීග් හෝ කුමන නමකින් හෝ හැඳින්වෙන තරගාවලිය පවත්වා ගැනීමට නොහැකි වී තිබෙනවා. එය ක්‍රීඩකයන්ට ඉහළ පීඩනයකින් යුතු තරග ක්‍රීඩා කිරීම පිළිබඳ විදෙස් ක්‍රීඩකයන්ගෙන් හොඳ පුහුණුවක් ලබා ගැනීමේ අවස්ථාවක් අහිමිවීමක්. එවන් තරගාවලියක් අනිවාර්යයෙන්ම අපේ ක්‍රිකට් ක්‍රීඩාවට මහඟු ආයෝජනයක් වෙනවා” ෆෝර්ඩ් පැවසීය.

කවුරුන් කුමක් කීවත්, කළත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහභාගීත්වය ද පවතින ඉහළ මට්ටමේ පන්දුවාර 20 තරගාවලියක අවශ්‍යතාව තදින්ම පවතියි. එය ද තවත් කල් නොදමා ඉක්මනින්ම සපුරා ගත යුතු අවශ්‍යතාවකි. ඉතින් මෙය අසල්වැසියන්ගේ දස වසරක IPL සාර්ථකත්වයේ කතාවෙන් පාඩම් ඉගෙන ගෙන ඉන් පිටුවක් මෙරටට ද අදාළ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු කළ යුතුම කාලයයි.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට