කුසල් ආර්. ප්‍රේමදාස පිටිය දෙවනත් කරයි; ජය ශ්‍රී ලංකාවට

2338
Kusal Perera

සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකම ජය පරාජයෙන් තොරව නිමා වීමෙන් අනතුරුව අද (04) දෙරට අතර ප්‍රථම විස්සයි විස්ස තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. එහිදී කුසල් පෙරේරා දියත් කල ප්‍රවේගකාරී පිතිකරණය නිසා කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

නැගී එන ක්‍රීඩකයින්ගේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

පිත්තත් පන්දුවත් එකලෙස හුරු ප්‍රතිභාපුර්ණ ක්‍රීඩක සංචිතයකින් සැදුම් ලත් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අද (03) බංගලාදේශයේ සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී ප්‍රතිවාදී ප්‍රබල පාකිස්තානු කණ්ඩායම…

බංගලාදේශයට කාසියේ වාසිය හිමිවී ඔවුන් ප්‍රථමයෙන්ම පන්දුවට පහරදීම තෝරා ගැනීමෙන් අනතුරුව තරගය ආරම්භ කිරීමට මිනිත්තු 5ක් පමණ තිබියදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැලීම නිසා තරගය නැවත ආරම්භ කෙරුනේ විනාඩි 45ක පමණ ප්‍රමාදයකින් අනතුරුවයි. නමුත් වර්ෂාව හේතුවෙන් පන්දුවාර සංඛ්‍යාවේ කිසිදු වෙනසක් සිදුවූයේ නැත. අද තරගය ඇරඹීමට පෙරාතුව බංගලාදේශ නායක මශ්රාෆි මොර්ටාසා මාධ්‍ය වෙත දන්වා සිටියේ මෙම තරගාවලියෙන් අනතුරුව තමා විස්සයි විස්ස තරග රටාවට නැවතීමේ තිත තබන බවයි. කෙසේවෙතත් ඔහු බංගලාදේශ එක්දින නායකත්වයේ දිගටම කටයුතු කරනු ඇත.

ආබාධයක් හේතුවෙන් බංගලාදේශය සමග එක්දින තරගාවලිය අහිමි වුනු කුසල් පෙරේරා යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමෙන් අනතුරුව අද ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වී තිබුණි. මීට අමතරව නිමාවූ ඕස්ට්‍රේලියානු සංචාරයේදී සුපිරි දක්ෂතා ප්‍රකට කල ක්‍රීඩකයින් රැසක් ද ශ්‍රී ලංකා කණ්ඩායම සතුවීම නිසා තරගය පිලිබඳ කල් තියාම සුබවාදී බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව ලැබුණි. නමුත් විස්සයි විස්ස තරග රටාවේ විශේෂඥ ක්‍රීඩකයින්ගෙන් ගහණ වුනු බංගලාදේශ ක්‍රීඩක ලැයිස්තුව දෙස බැලීමේදී දෙරට අතර ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සටනක් නිර්මාණය වන බව පෙනෙන්නට තිබුණි.

එම සටනේ මූලික වටයේ ජය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින් ප්‍රථම පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීම ක්‍රියාත්මක වුනු ලසිත් මාලිංග ප්‍රවේගකාරී පිතිකරු තමීම් ඉක්බාල්ගේ මැද ඉන්න බිම හෙලන්නට සමත් විය. එම පන්දුවාරයේම අවසන් පන්දුවේදී සෞම්‍ය සර්කාර්ම පෙරළා මාලිංග වෙතටම උඩපන්දුවක් ලබාදුන් නමුත් ඔහුට එය රැක ගැනීමට හැකියාවක් ලැබුනේ නැත. අවස්ථාවෙන් ඵල නෙලාගත් සර්කාර් සහ සබ්බීර් රහ්මාන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 57ක සබඳතාවයක් එක් කරන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමිනි.

ශ්‍රී ලංකාවට හිසරදයක් බවට පත්ව තිබූ මෙම සබඳතාවය බිඳ වැටෙන්නේ සීක්කුගේ ප්‍රසන්නගේ සුපිරි පන්දු රැකීමක් හේතුවෙනි. කවර් කලාපයේ සිට ප්‍රසන්න විසිකල පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා ලකුණු 16ක් ලබාසිටි සබ්බීර්ට පිටිය හැර යන්නට සිදුවිය. එම පන්දුවාරයේදීම ක්‍රියාත්මක වුනු විකුම් සංජය හොඳින් පන්දුවට පහර දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 29ක් ලබාසිටි සෞම්‍ය සර්කාර්ව දවා ගැනීමට සමත් විය.

ජාත්‍යන්තර අත්දැකීම් රැසකට හිමිකම් කියන මුෂ්ෆිකර් රහීම්ට සහ ශකීබ් අල් හසන්ට අද බංගලාදේශයේ මැදපෙළ ශක්තිමත් කිරීමට හැකියාවක් ලැබුනේ නැත. ඒ සීක්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න පවර්ප්ලේ අවස්ථාවෙන් අනතුරුව ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ඔවුන් දෙදෙනාවම දවා ගැනීමට සමත් වූ බැවිනි. ඒ  වනවිට ලකුණු 82කට කඩුලු 5ක් බිඳ වැටී සිටි බංගලාදේශයට ලකුණු 155ක් දක්වා තම ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට මොසැද්දික් හුසේන් සහ මහමදුල්ලා රියාද්ගේ දක්ෂ පිතිකරණය හේතුවිය. මහමදුල්ලා අද ලකුණු 31ක් රැස්කල අතර තවමත් 21වැනි වියේ පසුවන යොවුන් මැදපෙළ පිතිකරු මොසැද්දික් හුසේන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 34ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී ලසිත් මාලිංගට කඩුලු 2ක් හිමිවුණු අතර විකුම්, අසේල සහ ප්‍රසන්න අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. තරගය ආරම්භයට මොහොතකට පෙර ඇද වැටුනු වර්ෂාව නිසා පිටියේ තිබුණු තෙත බරිත ස්වභාවය නිසා පන්දුව ලිස්සා යෑමෙන් ඇතිවූ අතපසුවීම් කිහිපයක් හැරෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු රැකීමද අද සැලකිය යුතු මට්ටමක පැවතිණි.

ලකුණු 156ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි උපුල් තරංග සහ කුසල් පෙරේරා ප්‍රේමදාස පිටිය දෙවනත් කරමින් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක වේගවත් සබඳතාවයක් පැවැත්වීය. ප්‍රථම පන්දුවාර කිහිපයේ දී හොඳින් පන්දුවට පහර දුන් උපුල් තරංග ලකුණු 24ක් ලබාගත් අතර ක්‍රම ක්‍රමයෙන් තම ලකුණු වේගය වැඩි කර ගනිමින් දර්ශනීය පිතිකරණයක යෙදුනු කුසල් පෙරේරා අද තම විස්සයි විස්ස දිවියේ ස‍යවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

කලකට පසුව නැවතත් තම පිතිකරණ රිද්මය හඳුනාගත් කුසල්ගේ මෙම ක්‍රීඩා රටාව දිගටම පවත්වා ගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇත. මුල්පෙළ පිතිකරුවන් ලබාදුන් ජයග්‍රාහී ආරම්භය ඉදිරියට ගෙනගිය මැදපෙළ පිතිකරු අසේල ගුණරත්න අවස්ථාවට ගැලපෙන පරිදි පිතිකරණයේ යෙදෙමින් ලකුණු 17ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගය නිමා කිරීමේ වගකීම සීක්කුගේ ප්‍රසන්න භාරගත් අතර ඔහු පන්දු 12ක් තුලදී එක් හතරේ පහරක් සහ දැවැන්ත හයේ පහර 2ක් සමගින් රැස්කල වේගවත් ලකුණු 22 ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කිරීමට දැඩි ලෙස උපකාරී විය.

තරගයේ වීරයා සම්මානය පන්දු 53කදී හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 77ක් රැස්කල කුසල් ජනිත් පෙරේරාට හිමිවිය. මීට අමතරව දීර්ඝතම හයේ පහරට හිමි සම්මානය සීක්කුගේ ප්‍රසන්නට ද, Smart Player සම්මානය ලසිත් මාලිංගට ද හිමිවිය. තරගාවලියේ දෙවැනි සහ අවසන් එක්දින තරගය අනිද්දා (06) ආර්. ප්‍රේමදාස පිටියේදීම පැවැත්වීමට නියමිතව ඇත.

බංගලාදේශය – කඩුලු 6ක් දැවී ලකුණු 155 (පන්දුවාර 20): මොසැද්දික් හුසේන් 34*, මහමදුල්ලා රියාද් 31, සෞම්‍ය සර්කාර් 29, සබ්බීර් රෙහ්මාන් 16, ශකීබ් අල් හසන් 11, ලසිත් මාලිංග 2/38, සීක්කුගේ ප්‍රසන්න 1/19, විකුම් සංජය 1/24, අසේල ගුණරත්න 1/24.

ශ්‍රී ලංකාව – කඩුලු 4ක් දැවී ලකුණු 158 (පන්දුවාර 18.5): කුසල් පෙරේරා 77, උපුල් තරංග 24, සීක්කුගේ ප්‍රසන්න 22, අසේල ගුණරත්න 17, මශ්රාෆි මොර්ටාසා 2/32, ටස්කින් අහමඩ් 1/33.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට