සුපිරි අටේ ප්‍රථම දිනයේ ජය බ්ලූ ස්ටාර් සමාජයට

1385
DCL super 8 Air Force SC v Army SC report

ඩයලොග් ආයතනය මගින් සවිබල ගැන්වෙන ශ්‍රී ලංකාවේ දැවැන්තම පාපන්දු තරගාවලිය වන “ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ” සුපිරි 8 දෙනාගේ වටය අද (2) කොළඹ තුරඟ තරඟ පිටියේදී ආරම්භ විය.

පසුගිය ලිපි: “මුදල් පිළිබද අක්‍රමිකතා තිබුනේ අපේ පත්වීම් වලට කලින්” – අනුර ද සිල්වා

අද දිනය තුළ තරඟ දෙකක් පැවැත්වු අතර එහි පළමු තරඟය ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා  ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර පැවැත්විණි. මෙම තරඟය ගෝල 2-2 ක් ලෙස තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ප්‍රේක්ෂකාගාරයේ ඔල්වරසන් මැදින් සවස 4.00ට පමණ තරගය අාරම්භ වූ අතර, මෙම තරඟයට යුධ හමුදා කණ්ඩායම පිවිසෙන්නේ ඔවුන්ගේ අපරාජිත කිරුල පවත්වාගෙන යාමේ අරමුණ ද ඇතිවයි. තරඟය මුල සිටම උණුසුම්කාරී ස්වභාවයක් ගත් අතර තරගයේ ප්‍රථම අර්ධය තුළ යුධ හමුදා කණ්ඩායමට ලබාගැනීමට හැකියාව තිබූ ගෝල අවස්ථාවන් කිහිපයක්ම මඟ හැරිනි.

නමුත් 35 වන මිනිත්තුවේදී ගුවන් හමුදා දැල් රකින්නා නොසිතූ ලෙස ක්‍රියාත්මක වූ සජිත් කුමාර, මදුෂාන් ද සිල්වාගේ සහය ද ඇතිව යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය.

විනිසුරුතුමන් විසින් පළමු අර්ධය තුළ ගුවන් හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනකු වන කෝලිත ලංකේසර හා චතුරංග ප්‍රනාන්දු හට පිළිවෙලින් 36 වන හා 45 වන මිනිත්තු වලදී කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

පළමු අර්ධය තුළ කැපී පෙනෙන දස්කම් දක්වමින් යුධ හමුදා කණ්ඩායම පෙරමුණේ ගැනීමට සමත් විය.

පළමු අර්ධය,

යුධ හමුදා ක්‍රීඩා සමාජය  01 – 00  ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය සවස 5.00ට ආරම්භ වූ අතර තරගය ආරම්භ වූ වහාම ගුවන් හමුදා කණ්ඩායමේ ක්‍රීඩක ඩී. කේ. දුමින්ද විසින් ගෝලයක් ලබාගැනීමට වෑයම් කලත් එම වෑයම ව්‍යවර්ථ කිරීමට යුධ හමුදා කණ්ඩායමේ දැල් රකින්නා වන කුමාර සිරිසේන සමත් විය.

තරගයේ 55 වන මිනිත්තුවේදී ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය ලබාගැනීමට කවිදු ඉෂාන් සමත් විය. අනතුරුව ගුවන් හමුදා කණ්ඩායමට ලැබුණු නිදහස් පහර සාර්ථක කරගැනීමට සුමේධ ප්‍රනාන්දුට නොහැකි විය.

යලිත් ක්‍රියාත්මක වූ ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ දෙවන ගෝලය ලබාගැනීමට කැලුම් පෙරේරා සමත් වන්නේ 70 වැනි මිනිත්තුවේදී ය.

ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණයක් පිළිබඳ සිතමින් සිටියදී තරගයේ අතිරේක කාල‍යේ 95 වන මිනිත්තුවේදී තරගයේ ප්‍රතිඵලය වෙනස්කරමින් මදුෂාන් ද සිල්වා ගෝලයක් ලබාගෙන තරඟය 2-2 ක් ලෙස සම කිරීමට සමත් විය. ඒ අනුව පළමු තරඟයම මෙම තරගාවලියේ උණුසුම් බව කෙතරම්ද යන්න විදහා දක්වමින් ගෝල 2-2 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරඟය අවසානයේ දී,

යුධ හමුදා ක්‍රීඩා සමාජය 02 – 02 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ගෝල ලබාගැනීම්,

  • ගුවන් හමුදා කණ්ඩායම 02 – කවිදු ඉෂාන් (55), කැලුම් පෙරේරා (70),
  • යුධ හමුදා කණ්ඩායම 02 – සජිත් කුමාර (35), මදුෂාන් ද සිල්වා (95)

කහ කාඩ්පත්,

  • ගුවන් හමුදා කණ්ඩායම – කෝලිත ලංකේසර (36), චතුරංග ප්‍රනාන්දු (45), ඩී.කේ දුමින්ද (73), දමිත් දිසානායක (85)
  • යුධ හමුදා කණ්ඩායම – අසිකෝ රහුමාන් (71)

රතු කාඩ්පත් –

  • යුධ හමුදා කණ්ඩායම – ඩිලාන් උදයංග (66)

ThePapare.com තරගයේ වීරයා – මදුෂාන් ද සිල්වා (යුධ හමුදා කණ්ඩායම)

තරගයේ ප්‍රධාන විනිසුරු – බුද්ධික ඩයස්  


රිනවුන් ක්‍රීඩා සමාජ කණ්ඩායම හා බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජ කණ්ඩායම

තුරඟ තරඟ පිටියේ කෘතීම ආලෝකය මධ්‍යයේ පැවැත්වූ මෙම තරඟය සවස 6.10 ට පමණ විනිසුරුතුමාගේ නලා නාදයත් සමඟින් ආරම්භ විය. තරගය 02 – 00 ලෙස නිමාව දුටුවේ බ්ලූ ස්ටාර් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරමිනි.

තරගයේ පළමු අර්ධයේ සිටම බ්ලූ ස්ටාර් කණ්ඩායම තරගයේ වැඩි වාසියක් ඇතිව ක්‍රීඩා කරන ලදී. එම උණුසුම සමඟම ක්‍රියාත්මක වූ බ්ලු ස්ටාර් කණ්ඩායම 22 වන මිනිත්තුවේදී ගෝලයක් ලබාගන්නා ලදි. එම ගෝලය දැල වෙතට එල්ල කරන ලද්දේ ඊ. බී. චන්න විසින් වන අතර එය ගෝලයක් බවට පරිවර්තනය කරගැනීමට මොහොමඩ් ෆර්සීන් සමත් විය.

රිනවුන් කණ්ඩායම ද බ්ලු ස්ටාර් කණ්ඩායම සමඟ තියුණු තරඟයක නිරත වූ අතර ඔවුන් 31 වන මිනිත්තුවේදී ගෝලයක් ලබාගැනීමට උත්සාහ කලද එය සාර්ථක නොවීය. පළමු අර්ධය තුළ පෙරමුණ ගැනීමට බ්ලු ස්ටාර් කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය,

රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 01 බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධය රාත්‍රි 7.11 ට පමණ ආරම්භ වූ අතර දෙවන අර්ධයේ දී දැල අසල බොහෝ වේලාවක් පන්දුව රඳවා තබාගෙන ක්‍රීඩා කිරීමට රිනවුන් කණ්ඩායම සමත් විය.

දෙවන අර්ධයේ අවසන් භාගයේ නැවතත් තරඟයට පිවිසි බ්ලූ ස්ටාර් කණ්ඩායම වෙනුවෙන් ඊ. බී. චන්න 82 වන මිනිත්තුවේදී, රිනවුන් කණ්ඩායම මෙන්ම දැල්රකින්නා ද විශ්මයට පත්කරමින් තවත් ගෝලයක් බ්ලු ස්ටාර් කණ්ඩායමේ නම ඉදිරියෙන් සටහන් කිරිමට සමත් විය.

තරඟය නිමාවන විට,

රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 02 බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය

ගෝල ලබාගැනීම්

  • බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජ කණ්ඩායම – මොහොමඩ් ෆර්සීන් (22), ඊ.බී චන්න (82)

කහ කාඩ්පත්

  • බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජ කණ්ඩායම – මොහොමඩ් රිෆ්කාන් (12),
  • රිනවුන් ක්‍රීඩා සමාජ කණ්ඩායම – මොහොමඩ් රිස්නි (70), ෆසූල් රහුමාන් (86)

ThePapare.com තරඟයේ වීරයා – ඊ. බී. චන්න (බ්ලු ස්ටාර් කණ්ඩායම)

මෙම සතියට නියමිතව ඇති ඉතිරි තරඟ ද්විත්වය හෙට (4) කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

  • ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම හා සොලිඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරඟය සවස 4.00 ට හා ,
  • නිව් යංග්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම හා කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම අතර තරඟය සවස 6.00

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට