වොලිබෝල් රජු – ඉවාන්

වොලිබෝල් පුරාවෘත අංක 2

982

ලොව ජනප්‍රියතම වොලිබෝල් ක්‍රීඩකයා ලෙසින් හැඳින්වෙන්නේ ඔහුයි. කිසිවෙකුට නොදෙවෙනි ක්‍රීඩා විලාශයකින් ලොවපුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් ඔහු උපතින්ම ඉතාලි ජාතිකයන්ට හිමිවන ආකර්ෂණීය විලාසිතා ක්‍රීඩා පිටිය තුළත් ප්‍රදර්ශනය කිරීමට සමතෙක්. ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ දෙවැන්න වෙන් වන්නේ ඔහු වෙනුවෙන්.

වාසනාවන්ත අංක 7 – ගිබා

අංක 7 වාසනාවන්ත ඉලක්කමක් බව පුරාවෘත වල සඳහන් …….

ඉවාන් (z)සයිට්සෙව්

ලොව පුරා වොලිබෝල් ප්‍රේක්ෂකයන් අතර වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩකයා ඉවාන් බවට විවාදයක් නැහැ. අන්තර්ජාලයේ වෙබ් අඩවිය හරහා ඔහුගේ වීඩියෝ නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 10 ද ඉක්මවනවා. ඉවාන් ක්‍රීඩාව වෙනුවෙන් කරන කැපකිරීම කෙතරම්ද යන්න ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ කියමනක් මඟින් තහවුරු කරගත හැකියි. 

“ඔබ දෙවැනියායි සිතා පුහුණුවීම් කරන්න.. ඔබ පළමුවැනියායි සිතා ක්‍රීඩා කරන්න”

ලොව ආකර්ෂණීයම වොලිබෝල් ක්‍රීඩකයා ලෙසින් හැඳින්වෙන්නේ ඉවාන්ගේ දැක්ම එයයි. ඉවාන්ට පටබැඳී ඇති සුරතල් නාමය වන්නේ “ද සා(ර්)” යන්නයි .ඔහුට එම නම පටබැඳී ඇත්තේ රුසියාවේ පළමු සාර් වරයාගේ නමත් ඉවාන් වූ නිසා. සාර් වරයා යන්නෙහි අධිරාජ්‍යයා යන්නට සමාන තේරුමක් ඇති බව කියවෙනවා.

  • නම – ඉවාන්  ව්‍යචෙස්ලවොවිච් සයිට්සෙව් (Ivan Vyacheslavovich Zaytsev)
  • අන්වර්ථ නාමයද සා(ර්)  – ‘The Tsar’
  • උපත – 1988/10/02
  • උස – 2.04 m (අඩි 6 අඟල් 8)
  • බර – 92 kg
  • ක්‍රීඩා කරන ස්ථානය දකුණුපස ප්‍රහාරක (Right Side Hitter)
  • ජර්සි අංකය – 9
  • ප්‍රහාරක උස – 370 cm (146 in)
  • ආවරණ උස –355 cm (140 in)
  • නියෝජනය කළ රට ඉතාලිය

වෙනත් කණ්ඩායම් – Umbria Perugia – Italy (2004–2006), M. Roma Volley – Italy (2006–2007), Andreoli Latina – Italy (2007–2008), M. Roma Volley – Italy (2008–2012), Lube Banca Macerata – Italy (2012–2014), Dinamo Moscow – Russia (2014–2016), Al Arabi – Doha Qatar (2016), Sir Safety Perugia – Italy (2016-2018), Modena Volley – Italy (2018- )

ඔහුගේ විශේෂත්වය

වොලිබෝල් පිටිය තුළ දී දක්වන දස්කම්වලින් ලොව පුරා තරුණ තරුණියන්ගේ සිත් පැහැරගත් ඉවාන් කලින් කලට භාවිතා කරන වර්ණවත් කොණ්ඩා විලාසිතා තරග නරඹන්නන් හට ගෙන එන්නේ චමත්කාරයක්. පච්චා විලාසිතාවලට බෙහෙවින් ප්‍රියකරන ඉවාන් තම ශරීරයේ ස්ථාන කිහිපයක්ම පච්චාවලින් සරසාගෙන සිටිනවා. 

වොලිබෝල් පිටිය තුළ ඉවාන්ගේ සුවිශේෂී දක්ෂතාවය වන්නේ ප්‍රතිවාදීන්ගේ ද්විත්ව හා ත්‍රිත්ව ආවරණවලට හසු නොවී ආවරණ මඟ හරවමින් පිටිය තුළට උස පන්දු ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාවයි. තමාගේ උස හා ඉපිලීම හොඳින් ප්‍රයෝජනයට ගන්නා ඉවාන් ප්‍රතිවාදී ආවරණ අතර ඇති කුඩා ඉඩ ප්‍රමාණයන් තුළින් පන්දුව ප්‍රතිවාදී පිටිය තුළට යොමු කිරීමට ඉතා දක්ෂයි. 

ඔහුගේ ක්‍රීඩා රටාවේ ශක්තිමත්ම අංගය නම් පිටියේ ඉදිරි කලාපයේ දකුණු පස අන්තයෙන් උස පන්දු ප්‍රහාර එල්ල කිරීමයි. මේ නිසාම ඔහුට බොහෝ විට ක්‍රීඩා කිරීමට සිදු වන්නේ ප්‍රතිවාදී කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයා සමඟයි. මෙම කාරණය නිසාම ඉවාන් මේ වන තෙක් දක්වා ඇති දස්කම් ඉතා සුවිශේෂී ලෙසින් පිළිගැනෙන්නේ ඒවා ලොව ප්‍රමුඛතම ක්‍රීඩකයන්ට එරෙහිව වාර්තා කර ඇති නිසායි.

එසේම වර්තමානයේ ජාත්‍යන්තර තලයේ බොහෝ ප්‍රහාරකයින් උත්සාහ කරන්නේ ප්‍රතිවාදී ආවරණවල වැදී පන්දුව පිටියෙන් ඉවතට ගමන් කරන ආකාරයට ප්‍රහාර එල්ල කිරීමට වුවත් ඉවාන්ගේ ක්‍රීඩා රටාව නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ ඔහුගේ ක්‍රීඩා රටාව ඊට හාත්පසින්ම වෙනස් එකක් බවයි. 

ඔහු හැකි සෑම විටකම පන්දුව ප්‍රතිවාදී පිටිය තුළටම එල්ල කිරීමට උත්සාහ කරන අතර ඔහු තුළ ඇති ආක්‍රමණශීලී මානසිකත්වය එමඟින් හොඳින් පෙන්නුම් කරනවා. ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා තරගවල දී එල්ල වන ඉතා උස් වූ ද්විත්ව හා ත්‍රිත්ව ආවරණ හමුවේ පිටිය තුළට ප්‍රහාර එල්ල කිරීම කිසිසේත්ම පහසු කාර්යයක් නොවෙයි. නමුත් ඉවාන් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බවට ඔහුගේ වේගවත් ප්‍රහාර සාක්ෂි දරනවා.

එසේම ඉවාන්ගේ පන්දු පිරිනැමීම ද ලොව පුරා පන්දු ගොඩගන්නන් හට නිදිවර්ජිත රාත්‍රීන් බොහොමයක්ම උදාකර දී ඇති බවට සැකයක් නැහැ. ඔහුගේ පිරිනැමීම් වල වේගය පැයට කිලෝමීටර 125130 තරම් වේගවත්. මෙය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වේගපන්දු යවන්නකුගේ පන්දු යැවීමේ වේගයට සමානයි. එනිසා ඉවාන්ගේ පිරිනැමීම් වලට මුහුණ දෙන පන්දු ගොඩගන්නන් මුහුණ දෙන සානුකම්පිත තත්ත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ.

2016 ඔලිම්පික් තරගාවලියේ වේගවත්ම පිරිනැමීමේ වාර්තාවේ හිමිකරු වන්නේ ඉවාන්. එහි දී පන්දුවේ පිරිනැමීමේ වේගය සටහන් වී තිබුනේ පැයට කිලෝමීටර 127ක් වශයෙන්.

කුඩා කල දිවිය

ඉවාන් උපතින්ම ක්‍රීඩා උරුමයක් සහිතව මෙලොව එළිය දුටු අයෙක්. ඔහුගේ පියා 1980 දී මොස්කව් ඔලිම්පික් උළෙලේ දී සෝවියට් වොලිබෝල් කණ්ඩායම සමඟ රන් පදක්කම දිනා ගත් වජෙස්ලාව් සාජ්සෙව්. ඔහුගේ මව වයස අවුරුදු 13 දී ලෝක වාර්තාවක් තැබූ පිහිනුම් ශූරියක් වන ඉරීනා පොස්න්ජකෝවා.

ඉවාන් උපත ලැබුවේ ඔහුගේ පියා ඉතාලියේ ස්පොලෙටෝ හි වොලිබෝල් ක්‍රීඩා කරමින් සිටිය දී. එහෙත් ඉවාන් වොලිබෝල් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ ඔහුට වයස අවුරුදු හතේ දී. ඒ තම පවුලේ සාමාජිකයින් රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නගරය ජීවත් වන අවධියේ.

ඔහුට වයස අවුරුදු 10 දී ඔහුගේ පවුල ඉතාලියට සංක්‍රමණය වූ අතර වසර කිහිපයකට පසු ඔහු පෙරුජියා වොලී හි තරුණ කණ්ඩායමට එක් වුනා. ඒ තමයි ඉවන්ගෙ ක්‍රීඩා දිවියේ නිල ආරම්භය.

පුද්ගලික දිවිය

2008 මැයි 12 වන දා, ඉතාලියේ වසර දහයක අඛණ්ඩ පදිංචියකින් පසුව ඉවාන්ට ඉතාලි පුරවැසිභාවය හිමි වුනා. 

2013 මැයි 18 වන දින ඔහු ඈෂ්ලින් සිරොචි සමඟ විවාහ වුනා. 2014 අප්‍රේල් මාසයේ දී මෙම යුවළ තම පළමු දරුවා අපේක්ෂා කරන බව නිවේදනය කළා. 2014 ඔක්තෝබර් 31 වන දින ඔහුගේ බිරිඳ ඈෂ්ලින් සිරොචි විසින් ඔවුන්ගේ පුත් ඇලෙක්සැන්ඩර් “සාෂා” බිහි කළාය. 2017 ජූලි මාසයේ දී මෙම යුවළ නිවේදනය කළේ ඔවුන් තම දෙවන දරුවා අපේක්ෂා කරන බවයි. 2018 ජනවාරි 4 වන දින ඔවුන්ගේ දියණිය වන සියෙනා උපත ලැබුවා. මේ වන විට ඉවාන් දෙදරු පියෙක්.

ඉවාන්ගේ දිවියේ වඩාත් හැඟීම්බර මොහොත ලෙස ඔහු හඳුන්වන්නේ 2016 වසරේ දී රියෝ ඔලිම්පික් උළෙල සඳහා තරග වැදුණ අවස්ථාවයි. ක්‍රීඩා ලෝකයේ ඔහු ගරු කරන ක්‍රීඩකයන් අතර මයිකල් ජෝඩන් සහ රොජර් ෆෙඩරර් ඉහළින්ම සිටින බව පැවසෙනවා. ඔහු තම ජීවිතයේ වැදගත්ම පුද්ගලයා ලෙසින් සලකන්නේ ඔහුගේ බිරිඳවයි.

ඉවාන්ගේ ප්‍රියතම ආහාරය සාම්ප්‍රදායික ඉතාලි ආහාරයි. එසේම ඔහු තම විනෝදාංශය වන මෝටර් රථ සඳහා තම ධනයෙන් විශාල කොටසක් වැය කරන බව පැවසෙනවා. ඉවාන් තමාගේ ජීවිතයේ අරමුණ වශයෙන් සඳහන් කරන්නේ තමා කරන ඕනෑම දෙයකට සැමවිටම ආදරය කිරීමයි.

වෘත්තීය දිවිය

ඉවාන් 2004 වසරේ දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ පන්දු ඔසවා දෙන්නෙකු ලෙසයි. පසු කලෙක දී එය අත්හල ඔහු පන්දු ප්‍රහාරකයෙකු බවට පත්වුනා. ඔහු වයස අවුරුදු 16 දී Serie A1 ලීගයේ ක්‍රීඩා කරන්නට සමත් වුනා. එහි දී ඔහුගේ පළමු සමාජය වූයේ Umbria Perugia කණ්ඩායමයි. එම කණ්ඩායම වෙනුවෙන් ඔහු ඔහු තරග වාර දෙකක් ක්‍රීඩා කළා. ඉන්පසුව ඔහු 2006 වසරේ දී M. Roma Volley කණ්ඩායම සමඟින් එක් වුනා. අනතුරුව 2007/2008 තරග සමයේ දී ද ඔහු Andreoli Latina කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

එයින් පසුව ඉවාන් 2008 වසරේ දී නැවතත් M. Roma Volley කණ්ඩායම වෙනුවෙන් එක් වූ අතර 2008 වසරේ සිට 2012 වසර වනතෙක් ඔහු එහි රැඳී සිටිමින් ක්‍රීඩාවේ යෙදුණා. පසුව 2012 වසරේ දී ඔහු Lube Banca Macerata කණ්ඩායම සමඟින් එක් වීමට තීරණය කළා. එම කණ්ඩායමත් සමඟින් ඉවාන් 2012 වසරේ ඉතාලියානු සුපිරි කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එසේම 2013/2014 සමයේ ඉතාලියානු ශූරතාවලිය ජයග්‍රහණය කිරීමටත් ඔවුන් සමත් වුනා. 

2014 වසරේ දී ඉවාන් එතෙක් ක්‍රීඩා කළ ඉතාලි ක්‍රීඩා සමාජ අත්හරිමින් රුසියාවේ Dinamo Moscow ක්‍රීඩා සමාජය සමඟින් එක් වුනා. එහි දී ද තරග සමයන් දෙකක් ක්‍රීඩා කළ ඔහු 2016 වසරේ දී දෝහා කටාර් හි ක්‍රීඩා සමාජයක් වන Al Arabi කණ්ඩායම සමඟින් එක් වුනා. නමුත් ඔහු එහි රැඳී සිටියේ එම වසර වෙනුවෙන් පමණයි.

2016 වසරේ නැවතත් ඉතාලිය වෙත පැමිණි ඉවාන් එහි දී Sir Safety Perugia කණ්ඩායම හා එක් වුනා. පසුව 2018 වසරේ Modena Volley කණ්ඩායම හා එක්වුන ඔහු දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ එම කණ්ඩායම වෙනුවෙනුයි.

ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය

ඉවාන්ගේ ජාත්‍යන්තර වොලිබෝල් දිවිය 2008 වසරේ දී ඉතාලියේ පිරිමි ජාතික වොලිබෝල් කණ්ඩායම සමඟ ආරම්භ වුනා. 2013 යුරෝපීය ශූරතාවලියේ දී තම දස්කම් මුළුමහත් ලෝක වාසීන් වෙතම ප්‍රදර්ශනය කළ ඉවාන් තරගාවලියේ “හොඳම පිරිනමන්නා” ලෙස නම් කෙරුණා. 

2014 ලෝක ලීග් තරගාවලියේ දී ඔහු කණ්ඩායමේ ප්‍රධාන ලකුණු ලාභියා සහ කණ්ඩායම් නායකයා වූ අතර එම තරගාවලියේ දී ඉතාලිය ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් වුනා. ඒ වෙනුවෙන් ඉවාන්ගෙන් ලැබුණ දායකත්වය ඉතා ඉහළයි.

ලෝක ලීගයේ දී ඉවාන් සහ ඔහුගේ සගයන් 2013 සහ 2014 වසර දෙකෙහිම අඛණ්ඩව ලෝකඩ දෙකක් දිනා ගන්නට සමත් වුනා. ඔහු 2014 වසරේ පෝලන්තයේ පැවති ලෝක ශූරතාවලියට සහභාගී වන්නට වරම් ලබා ගත්තත් එහි දී ඔහුට අවාසනාව හරස් වුනේ කිසිවෙකුත් නොසිතූ අයුරින්. 

පළමු වටයේ දී  කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළත් එක්සත් ජනපදයට එරෙහි තරගයේ දී ක්‍රීඩා කරමින් සිටින අතරතුර ඔහුගේ වළලුකර අනතුරකට ලක් වුනා. එම නිසා ඉතාලි කණ්ඩායම දෙවන වටයට සුදුසුකම් ලබන්නට සමත් වුවත් ඉවාන් හට ඒ සඳහා දායකත්වයක් සැපයීමට ඉඩක් ලැබුණේ නැහැ.

2015 දී ඉවාන් සහ ඔහුගේ සගයින්ගෙන් සැදුම්ලත් ඉතාලි කණ්ඩායම 2015 යුරෝපීය ශූරතාවලියේ රිදී පදක්කම දිනා ගන්නට සමත් වූ අතර එහි දී ඉවාන් හොඳම ප්‍රතිවිරුද්ධ පහර දෙන්නා ලෙසින් නම් කෙරුණා. 2016 වසරේ දී ඔලිම්පික් උළෙල නියෝජනය කළ ඉතාලි වොලිබෝල් කණ්ඩායමේ ප්‍රමුඛතම සාමාජිකයා වූ ඉවාන් එහි දී සුවිශේෂී දස්කම් රැසක් දක්වමින් තම කණ්ඩායමට රිදී පදක්කමක් දිනා දෙන්නට සමත් වුනා. එය ඉවාන්ගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂීතම අවස්ථාව ලෙසටයි සැලකෙන්නේ.

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණ

ඔලිම්පික් ක්‍රීඩා උළෙල 

  • 2016 රියෝ ඩි ජෙනයිරෝ –  රිදී පදක්කම / 2012 ලන්ඩන් – ලෝකඩ පදක්කම
  • ලෝක කුසලාන
  • 2015 ජපානය රිදී පදක්කම
  • යුරෝපා ශූරතාවලිය
  • 2011 ඔස්ට්‍රියාව හා චෙක් ජනපදය – රිදී පදක්කම / 2013 ඩෙන්මාර්ක් සහ පෝලන්තය – රිදී පදක්කම / 2015 බල්ගේරියාව හා ඉතාලිය – ලෝකඩ පදක්කම
  • ලෝක වොලිබෝල් ලීග් ශූරතාවය
  • 2013 ආර්ජන්ටිනාව ලෝකඩ පදක්කම / 2014 ඉතාලිය – ලෝකඩ පදක්කම

තනි ජයග්‍රහණ

  • 2010 Serie A2 – වටිනාම ක්‍රීඩකයා 
  • 2012 ඉතාලියානු ශූරතාවලිය – වටිනාම ක්‍රීඩකයා 
  • 2013 FIVB වොලිබෝල් ලීගය දක්ෂතම පිටත ප්‍රහාරකයා
  • 2013 CEV යුරෝපානු කුසලානය දක්ෂතම පිරිනමන්නා
  • 2013 සුපර් වොලි දක්ෂතම ඉතාලි ජාතික වොලිබෝල් ක්‍රීඩකයා
  • 2015 FIVB ලෝක කිසලානය දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2015 CEV යුරෝපානු කුසලානය දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයා
  • 2016 කටාර් හි එමීර් කිසලානය වටිනාම ක්‍රීඩකයා
  • 2017 CEV ශූරයන්ගේ ලීගය දක්ෂතම පිටත ප්‍රහාරකයා

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<