කෝලිගේ වදන සහ අපේ සටන

6641

ජූලි 26 වැනිදා ඇරඹීමට නියමිත ඉන්දියා – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට පෙරාතුව සිය සුපුරුදු වචන හරඹ පෑමට ඉන්දියානු නායක විරාත් කෝලි උත්සාහ දරන බව පෙනෙන්නට පටන් ගෙන තිබේ. ඒ ඉන්දියාවේ 2015 ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය සිහිකරමිනුයි.

2015 ඉන්දියා – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය කෝලිට විශේෂ එකක් වූයේ ඔහුගේ පූර්ණකාලීන ටෙස්ට් නායකත්වය ඉන් ඇරඹීම නිසයි. එහිදී 2-1ක් ලෙස තරගාවලිය ජය ගන්නට ඉන්දියානු කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකාවේදී ඔවුන් ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ වසර 22කට පසුව විය.

“මං හිතන්නේ ඒක සිහිවටනාත්මක සංචාරයක්. ඒ දවස්වල ක්‍රීඩකයන්ගේ වයස බැලුවහම දැන් ඔවුන් ඊට වඩා පරිණත වෙලා තිබෙනවා. මාස 24ක් ගතවෙලා. එය අපට ඉන්දියාවෙන් පිට තරගාවලි ජයග්‍රහණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා.” ලකුණු යන්ත්‍රයක් සේ හැඳින්වෙන කෝලි 2015 සංචාරය ගැන සිහිපත් කළේ එසේයි.

2015 සංචාරයේ පළමු ටෙස්ට් තරගය පරාජය වීමෙන් පසුව ඉන්දියානුවන් දෙවන සහ තෙවන ටෙස්ට් තරග දෙකම ජය ගනිමින් තරගාවලිය තමන් සතු කරගත්තේය.

ධවාන් සහ කෝලි යන දෙදෙනාම එහි පළමු ටෙස්ට් තරගය තුළ ශතක වාර්තා කළත් ජයග්‍රහණය හිමිවුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටයි. ඊට පිත්තෙන් දායකත්වය දුන් චන්දිමාල් දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 162ක් රැස්කළ අතර අද ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා බවට පත්ව තිබේ. ඉන්දියානු දෙවන ඉනිම සිය පන්දු යැවීමෙන් සුනුවිසුණු කර දැමුවේ ලකුණු 48කට කඩුලු 7ක් දවාගත් රංගන හේරත් ය. ඔහුද තවමත් ශ්‍රී ලංකාව සතු සම්පතකි. එහෙත් කෝලි ප්‍රමුඛ ඉන්දියානු කණ්ඩායම ලකුණු 278කින් දෙවන ටෙස්ට් තරගය ජය ගත්තේය.

තරගාවලිය සමව පැවතීම නිසා තෙවන ටෙස්ට් තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම වැදගත් වූ අතර එහිදී කෝලිගේ පිතිකරණය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූයේ ඉනිම් දෙකේදීම ලකුණු 39ක් පමණක් සටහන් වෙමිනි. එහෙත් ඉශාන්ත් ශර්මා ඉනිම් දෙකේදී කඩුලු 8ක් දවාගනිමින් ඉන්දියාවට ලකුණු 117ක ජයක් ලබාගැනීමට අවශ්‍ය මාවත විවර කොට දුන්නේය.

“මොන විදිහේ ටෙස්ට් තරගයක් හෝ දිනන්න අවශ්‍ය සංස්කෘතිය අපි කණ්ඩායම තුළ ගොඩනගාගෙන තියෙනවා. අපි ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරද්දී හිතට දාගන්නේ ඒක දිනන්න ඕන කියලයි. එදා පළමු ටෙස්ට් තරගය පරාජය වීම අපට කම්පනය දනවන්නක් වුනා. නමුත් තරුණ ක්‍රීඩකයන් එක්ක වුනත් ශ්‍රී ලංකාව එක්ක සසඳද්දී ඔවුන් ඉන්දියාව තරම් ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න හිතලවත් නෑ.” කෝලි ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පාරම් බෑවේය.  

2015 තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවන ප්‍රධානම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර යි. එම කණ්ඩායමේ සිටි කුසල් පෙරේරා, ධම්මික ප්‍රසාද්, කෞෂාල් සිල්වා, ලහිරු තිරිමාන්න යන ක්‍රීඩකයන්ද මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් නොවන අතර ඊට සාපේක්ෂව ඉන්දියානු කණ්ඩායමේ සිදුවන වෙනස්කම් ප්‍රමාණය ඉතා අඩු ය. එය ඔවුන්ට වාසිදායක විය හැකි වූවත් මේ වන විට ශ්‍රී ලංකාවේ තත්වය ඊට වෙනස්ය. අපට ක්‍රිකට් ආරක්ෂා කිරීම සඳහා රාජකාරියේ යොදවන ලද “අසේල ගුණරත්න” නම් සොල්දාදුවෙකු සහ “නිරෝෂන් දික්වැල්ල” නම් මහපොළොවේ සිට සටන්කරන ක්‍රීඩකයන් දෙදෙනෙකු ලැබී තිබේ.

මානසික මට්ටම අතින් ඉතා පහළ අඩියකට වැටී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගය ජය ගැනීම සැනසුමක් විය. ඔවුන්ට පමණක් නොව ක්‍රිකට්ලෝලී අපටත් එසේමය. නවක ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සමඟින් ඔවුන් ආක්‍රමණශීලී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට සූදානම් බව පෙනෙන්නට තිබේ. ඒ, අපහසු අඩියක සිට සිම්බාබ්වේට එරෙහි ටෙස්ට් තරගය ගොඩ දාගැනීමට ඔවුන් සමත් වීම නිසයි. ආරක්ෂා වන්නට උත්සාහ දැරුයේ නම් පරාජය ශ්‍රී ලංකාවේ දෑතටම උරුම වී තිබිණි.

එහෙත් අපගේ ක්‍රිකට් සන්නාමය “ආක්‍රමණයයි”. “ඔවුන් සැබෑම සටන්කරුවන්!” (They’re real fighters). මෙය ශ්‍රී ලාංකිකයන් අරඹයා 90 දශකයේ අගභාගයේදී ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගෙන් නිතර දෙවේලේ ඇසුනකි. එබැවින්ම කෝලිගේ සියලු පාරම් බෑම් දෝෂ සහගත බැව් ඔප්පු කිරීමට අවශ්‍ය බොහෝ දෑ ශ්‍රී ලංකාව සතු බව ඔහු මතක තබා ගත යුතුය.

“ශ්‍රී ලංකාව සිම්බාබ්වේ තරගය ජයග්‍රහණය කොට ඉන්දියාවට එරෙහිව 3-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගතහොත්, ඉන් පසුව පාකිස්තානයද ලංකාවට පැමිණීමට නියමිත නිසා ඔවුන්ට ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායම වන්නට හැකියි” පසුගියදා විචාරක රසල් ආනෝල්ඩ් ට්විටර් පණිවිඩයක් මඟින් දන්වා තිබිණි.

“මට ඕන ශ්‍රී ලංකාව ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම කරන්න.” තරුණ ශ්‍රී ලංකා නායකයාද එසේ පැවසුවේ නායකත්වය භාර ගැනීමෙන් අනතුරුවයි. ඉතින් කෝලි ජය ගනියිද? චන්දිමාල් පියවරකින් ඉදිරියට යයිද? සියල්ල ජූලි 26 වැනිදා ගාල්ලේදී ඇරඹෙන තරගයෙන් පසු විසඳේවි.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට