මානසික අවපීඩනයෙන් ලෝක කුසලානයට සමුදුන් ක්‍රීඩකයා

ලෝක කුසලානයේ නෑසූ කතා (18)

1362

2011 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබපු රටක් එංගලන්තය. ඔවුන්ට අර්ධ අවසන් පූර්ව තරගයේ දී ක්‍රීඩා කරන්නට තිබුණේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවයි.

මේ තරගයට පෙර එංගලන්ත සංචිතයේ වෙනස්කමක් සිදු කරන්නට එංගලන්ත බලධාරීන්ට සිදු වුනා. ඒ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක මයිකල් යාඩි වෙනුවට පා දඟපන්දු යවන අදිල් රෂීඩ් සංචිතයට එක් කර ගැනීම.

චක් දේ ඇෆ්ගනිස්තාන්

2019 එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගී වන පෙරළිකාරීම….

මයිකල් යාඩි මෙලෙස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වූයේ කලක් තිස්සේ ඔහුට වද දුන් මානසික අවපීඩනය හෙවත් විෂාදය (Depression) නිසයි.

“මේ වගේ වෙලාවක ලෝක කුසලාන තරගාවලියෙන් අයින් වෙනවා කියන එක ලෙහෙසි කාරණයක් නෙවෙයි. නමුත් මම අවංක විය යුතුයි. මෙතැන් පටන් මම ඔබෙන් යම් පෞද්ගලිකත්වයක් අපේක්ෂා කරනවා. මම එංගලන්ත කණ්ඩායමට සුබපැතුම් එක් කරනවා ජයග්‍රහණය වෙනුවෙන්.”

අවසන් පූර්ව තරගයට දින දෙකක් තිබිය දී මාර්තු 24 වැනිදා යාඩි එංගලන්ත සංචිතයෙන් ඉවත් වුනේ එලෙස පවසමින්.

2011 ලෝක කුසලාන තරගාවලිය යාඩිට එතරම් යහපත් එකක් වුණේ නැහැ. තරග තුනකට ක්‍රීඩා කළ යාඩි දවා ගත්තේ කඩුලු දෙකක් පමණයි. පිතිකරණයෙන් පවා ඔහු එතරම් සාර්ථක බවක් පෙන්නුම් කළේ නෑ.

ඔහු අවසන් වරට ක්‍රීඩා කළ තරගයේ දී එංගලන්ත කණ්ඩායම ඔහුව යොදාගත්තේ ආරම්භක පන්දු යවන්නා ලෙසින්.  එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ දඟපන්දු යවන ක්‍රීඩකයෙකු එක්දින තරගයක ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ දෙවැනි අවස්ථාව එය වුනා.

මීට පෙර 1996 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ ෆයිසලාබාද්හි පැවති අර්ධ අවසාන පූර්ව තරගයේ දී රිචර්ඩ් ඉලිංවර්ත් ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළා. මෙම දකුණු අප්‍රිකානු තරඟය යාඩි එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය වුනා. එදා ෆයිසලාබාද් තරගයෙන් මෙන්ම 2011 අර්ධ අවසාන පූර්ව තරගයෙන් ද එංගලන්ත කණ්ඩායමට අත්වුණේ දරුණු පරාජයක්.

මයිකල් යාඩි යනු 2010 කොදෙව් දේශයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය එංගලන්තයට දිනාදී මට විශාල කාර්‍යභාරයක් කළ ක්‍රීඩකයෙක්. නමුත් ඔහු බොහෝ කාලයක සිට විෂාදයෙන් පෙළුණා.

“ඇඳෙන් නැගිටීම පවා මට අපහසුතාවයක් ගෙන දුන්නා. ක්‍රිකට් ක්‍රීඩාවට මම පැමිණියේ හඬමින්. එය හරිම අසීරු කාලයක්.”

එංගලන්ත කණ්ඩායම නියෝජනය කළ මාකස් ට්‍රෙස්කොතික් සහ ජොනතන් ට්‍රොට් ද මේ ආකාරයෙන් මානසික අවපීඩනයෙන් පීඩා විඳි ක්‍රීඩකයින් දෙදෙනෙක්.

එසේ එංගලන්ත ජාතික කණ්ඩායමෙන් ඉවත් වූ යාඩි 2011 වසරේ සසෙක්ස් කණ්ඩායමට නායකත්වය දෙමින් එංගලන්ත ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කළා.

සීමිත පන්දුවාර ක්‍රිකට් රටාවට ඉන්දියාවෙන් පැමිණි හොඳම තරග දිනවන්නා

දිනය 2000 වසරේ ජනවාරි 25 වෙනිදාය. යොවුන් ලෝක කුසලානයේ අවසන් පූර්ව….

අකාලයේ මියගිය නවසීලන්තයේ ඇඩම් ගිල්ක්‍රිස්ට්

කේන් වැඩ්ස්වර්ත් බොහෝ දෙනෙක් අහල නැති නමක් වෙන්න පුළුවන්. වැඩ්ස්වර්ත් කියන්නේ 1975 පෘඩෙන්ෂල් ලෝක කුසලානයට නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙක්. වැඩ්ස්වාර්ත් සතුව අපූරු ලෝක කුසලාන වාර්තාවක් තිබෙනවා. ලෝක කුසලාන ඉතිහාසයේ මුලින්ම කඩුල්ල බිඳ දමා ක්‍රීඩකයෙකු දවා ගත් එනම් ස්ටම්ප් කිරීමකින් ක්‍රීඩකයෙකු දවා ගත් වාර්තාව තිබෙන්නේ වැඩ්ස්වර්ත්ගේ නමින්.

1975 ලෝක කුසලානයේ නැගෙනහිර අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වුණ තරගයේ දී වැඩ්ස්වර්ත් ෆ්‍රසාට් අලීව ස්ටම්ප් කිරීමට ලක් කරගන්නවා. ඒ ජෙෆ් හොවාර්ත් යැවූ පන්දුවකට. එය ලෝක කුසලාන ඉතිහාසයේ කඩුලු රකින්නෙකු ලබාගත් මුල්ම ස්ටම්ප් කිරීම මෙය වුනා.

කේන් වැඩ්ස්වර්ත්ගේ නමින් ඇත්තේ ලෝක කුසලානයක මුල්ම ස්ටම්ප් කිරීමේ වාර්තාව පමණක් නොවේ. එක්දින ඉතිහාසයේ කඩුලු රකින්නෙකු රැස්කරගත් මුල්ම ශතකය ලියැවෙන්නේත් ඔහුගේ නමින්. ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ක්‍රයිස්ට්චර්ච් නුවර දී ලබා ගත් මෙම ශතකයේ තවත් අපූරු වාර්තාවක් ගැබ්ව තිබෙනවා.

1974 වසරේ දිනක වැඩ්ස්වාර්ත් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලබා ගත් මෙම ශතකය එක්දින තරග ඉතිහාසයේ පිතිකරුවෙකු  ප්‍රහාරක වේගය (Strike Rate) සියය ඉක්මවමින් ලබාගත් ප්‍රථම ශතකය ලෙසයි සැලකෙන්නේ.

මෙම තරගයේ දී ඔහු නායක බ්‍රයන් කොංඩන් සමඟ හයවැනි කඩුල්ලට ලකුණු 130ක සබඳතාවයක් ගොඩනගනවා. එය 2007 වසරේ බ්‍රෙන්ඩන් මැකලම් සහ ක්‍රේග් මැක්මිලන් අතින් බිඳ වැටෙන තුරු හයවැනි කඩුල්ලේ නවසීලන්ත වාර්තාව ලෙසින් පැවතියා.

1975 ලෝක කුසලානයෙන් පසු කේන් වැඩ්ස්වර්ත් නැවත කරළියට එන්නේ තරමක අභාග්‍යසම්පන්න ප්‍රවෘත්තියක් සමඟින්. ඒ 1976 වසරේ අගෝස්තු මාසයේ දිනක අවාසනාවන්ත ලෙස ඔහු මෙලොව හැරගිය පුවත.

1946 වසරේ නවසීලන්තයේ නෙල්සන් නුවර දී උපත ලැබූ වැඩ්ස්වර්ත්ගේ පෙනුම වඩාත් සමීප වූයේ නවසීලන්ත ජාතිකයෙකුට වඩා ඕස්ට්‍රේලියානුවෙකුට හෝ එංගලන්ත ජාතිකයෙකුගේ පෙනුමට. රන්වන් කෙස් කළඹ සහ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය ඊට හේතුවක් වුනා. ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී පිතිකරුවෙකු වූ වැඩ්ස්වර්ත්ට අවස්ථාවට අනුකූලව පන්දුවට පහර දීමේ හැකියාවකුත් තිබුණා.

මේ සමයේ එක්දින පිටියේ විශේෂඥ කඩුලු රකින්නන්ට මද පිතිකරණ හැකියාවක් තිබීම ප්‍රමාණවත් වුනා. කේන් වැඩ්ස්වර්ත් යනු තරමක් දුරට මේ සංකල්පය වෙනස් කළ අයෙක් ලෙසට හඳුන්වන්න පුළුවන්.

මෙන්ඩිස්, මේක තමයි වෙලාව

“මේක නවතින්න ඕන. ඔහු එනවා ඒත් එක්කම ඔහු යනවා. මොකක්ද මේකේ අරමුණ?”…..

ලෝක කුසලානයෙන් පසු 1976 වසරේ මුල ඉන්දියාව සමඟ ඕක්ලන්ඩ්හී පැවති එක්දින තරගය ඔහු ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරඟය වුනා. ඔහු එහි දී පන්දු 56කින් ලකුණු 46ක් ලබාගත්තා. මේ තරගයෙන් පහසු ජයක් නවසීලන්තයට ලැබුණා. මේ නිසාම තරගයේ වීරයා ලෙසින් තෝරාගත්තේත් වැඩ්ස්වර්ත්.

අවසන් වරට වැඩ්ස්වර්ත්ට ක්‍රීඩා කරපු පළමුපෙළ තරගයත් ඔහුට සුවිශේෂී එකක්. නවසීලන්තයේ පැවැත්වෙන ෂෙල් කුසලානය කැන්ටබරි කණ්ඩායමට දිනා දීමට ඔටාගෝ කණ්ඩායමට එරෙහිව ඔහු ලකුණු 117ක් රැස් කරනවා. ඊට හරියටම මාස පහකට පස්සේ වැඩ්ස්වර්ත් අසාමාන්‍ය ලෙස හමේ ඇතිවුණ පිළිකාවකින් මරණයට පත්වෙනවා. වැඩ්ස්වර්ත්ට වැළඳුණු සමේ පිළිකාව ඉතාම ආක්‍රමණශීලී එකක් බවයි කියවුණේ. එවිට ඔහුගේ වයස අවුරුදු 29ක්.

ක්‍රිකට් ලෝකයට වැඩ්ස්වර්ත්ගේ අකල් මරණය තදින්ම දැණුනා. 1977 දවසක නවසීලන්ත ආරාධිත කණ්ඩායමක් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් අතර පන්දුවාර 35 බැගින් වූ වැඩ්ස්වර්ත් අනුස්මරණ තරගයක් ක්‍රයිස්ට්චර්ච් නුවර දී පැවැත්වුණා.

අකාලයේ මිය නොයන්නට නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඇඩම් ගිල්ක්‍රිස්ට් වැන්නෙකු බිහි කරගන්නට තිබූ බවයි බොහෝ දෙනෙකු පවසන්නේ. වැඩ්ස්වර්ත් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කළේ එක්දින තරඟ දහතුනකට පමණක් වුවද ලෝක එක්දින වංශ කතාවේ ඔහුට හිමිවන්නේ සුවිශේෂී තැනක් බව නොකියාම බැහැ.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<