ගාල්ල මහින්ද විදුහලෙන් කොළඹට දැවැන්ත සංග්‍රහයක්

1065

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක්ම අද (28) ක්‍රියාත්මක වූ අතර ඒ අතරින් නිමා වූ තරගයක දී කොළඹ ඉසිපතන විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 29කින් පරාජය කිරීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත් විය.

එසේම සංගා – මහේල අභියෝගතා කුසලානය වෙනුවෙන් නාලන්දා විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී දෙපිලම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළේ තරගයේ දෙවන දිනය තරගකාරිත්වයෙන් සපිරුණු දිනයක් බවට පත් කිරීමේ අපේක්ෂාව ඇතිවයි.

සාන්ත තෝමස් – මොරටු විද්‍යාල ගැටුමේ කඩුලු 26ක් දිනක් තුල දැවී යයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (27) ක්‍රියාත්මක වූ අතර ඒ අතරින් කැළණිය ගුරුකුල විද්‍යාලයට පළමු…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

මොරටු මහා විද්‍යාල පිටියේ  දී නිමාව දුටු මේ තරගය ඉතාමත් තියුණු තැනකට පැමිණි නමුත් අවසානයේ දී මේ තරගයෙන් පළමු ඉනිමේ ජයකින් පමණක් සෑහීමකට පත්වීමට සාන්ත තෝමස් විද්‍යාලයට සිදු විය.

කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. A කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මේ තරගයේ පළමු දිනය තුල කඩුලු 26ක් බිඳ වැටීම කාගේත් කතාබහට ලක්විය.

තරගයේ දෙවන දිනය ආරම්භ කරන විට සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 22ක් රැස් කරගෙන තිබුණි. අවසානයේ ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 122ක් දක්වා ඔසවා තැබීමට මැදපෙළ පිතිකරුවෙක් වන ඩෙලන් පීරිස් සමත් වූයේ සටන් සටන්කාමි අර්ධ ශතකයක් ලබා ගෙනයි.  ඒ නිසාවෙන් ලකුණු 213ක තරගකාරී ඉලක්කයක් මොරටු විද්‍යාලයට ලබා දීමට ඔවුන්ට හැකි විය. පන්දු යැවීමේ දී විශ්ව දිදුලන ලකුණු 45කට කඩුලු 4යි.

එම ලකුණු 213 ඉලක්කය හඹා යාමේ දී නිශාන් මදුෂ්ක (ලකුණු 105*)  නැවතත් මේ තරගයේ දී ශතකයක් ලබාගත්තේ මේ තරග වාරය තුල ලබාගත් තෙවන ශතකය වාර්තා කරගෙන වන අතර මොරටු විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 166ක් ලබාගෙන සිටිය දී තරගය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 147 (47.5): සිතිර හපුහින්න 26, ශලින් ද මෙල් 25, ඒරන් හංසමාල් 5/41, ජනිත් සෙව්මිත් 2/18, විශ්ව දිදුලන 2/28.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම – 57 (31.1): නිශාන් මදුෂ්ක 26, ඩෙලන් පීරිස් 3/02, දිල්මින් රත්නායක 3/06, ශැනොන් ප්‍රනාන්දු 3/07.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 122 (57.1): ඩෙලන් පීරිස් 54, සිතාර හපුහින්න 31, විශ්ව දිදුලන 4/45, හෂේන් ආධිත්‍ය 3/19.

මොරටු විද්‍යාල දෙවන ඉනිම – 166/6 (73): නිශාන් මදුෂ්ක 105*, මිරාජ් කවිෂ්ක 21*, කලන පෙරේරා 3/31, ඩෙලෝන් පීරිස් 2/45

කොළඹ ඉසිපතන විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

මහින්ද විද්‍යාලයීය පිටියේ දී නිමා වූ මේ තරගය ඉනිමකින් හා ලකුණු 29කින් ජය ගැනීමට මහින්ද විද්‍යාලය සමත් විය.

තරගයේ දෙවන දිනයේ ආරම්භය වන විට මහින්ද විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 83ක් ලබාගෙන සිටියේ ඉසිපතන විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව තවත් ලකුණු 128ක් පසුපසින් සිටිමිනි. කෙසේ නමුත් දෙවන දිනයේ පළමු කාර්තු දෙක තුල සිය පළමු ඉනිම තවදුරටත් මුවහත් කර ගත් මහින්ද විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ විනුර දුල්සර හා සඳෙව් ඉඳුවර පිළිවෙළින් ලකුණු 73ක් හා ලකුණු 47ක් ලබා ගනිමින් ලකුණු 305 සීමාව දක්වා සිය කණ්ඩායම රැගෙන ගියේය.

ලකුණු 81ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි ඉසිපතන විද්‍යාලයට පළමු ඉනිමේ දී මෙන් සාර්ථක ලෙස ලකුණු අතරට පිවිසීමට නොහැකි වූයේ තණතීරුවේ සහාය ක්‍රමයෙන් පන්දු යවන්නන් දෙසට නතු වෙන බවට යම් ඉඟි ද පළකරමිනි. පන්දු යැවීමේ දී ඉසිපතන දෙවන ඉනිම සුනුවිසුනු කළ පසන් පෙතන්ගොඩ ලකුණු 23කට කඩුලු 5ක් දවා ගන්නා ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කඩුලු රකින පිතිකරු තෙවිඳු දික්වැල්ල ලකුණු 31යි.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 214 (71): රවිඳු රත්නායක 38, මදුෂික සඳරුවන් 37*, කාලික් අමත් 29, තෙවිඳු දික්වැල්ල 24, කුෂාන් මදූශ 4/53, පසන් පෙතන්ගොඩ 2/32.

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 305 (87.1): විනුර දුල්සර 73, සඳෙව් ඉඳුවර 47, ධනුජ ඉඳුවර 41, උශාන් මදුශාන් 35*, සවිඳු උත්සර 3/45.

ඉසිපතන විද්‍යාල දෙවන ඉනිම – 62 (19.4): තෙවිඳු දික්වැල්ල 31,  පසන් පෙතන්ගොඩ 5/23, සුභානු රාජපක්ෂ 3/28.

නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්

කාර්තුවකට එක් කඩුල්ලක් බැගින් පමණක් අහිමි කර ගනිමින් ගිය ගමන කඩුලු 4ක් දැවී ලකුණු 585ක් ව තිබිය දී සෑහීමකට පත්ව ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 660ක ඉලක්කයක් ලබා දුන්….

පළමු දිනයට පැවැත්වූ තරග

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය

සංගා – මහේල අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන මේ සුහද ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් නාලන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීම වෙනුවෙන් ත්‍රිත්ව විද්‍යාලයට ආරාධනා කළේය.

Photos: Nalanda College vs Trinity College | Singer U19 Cricket Tournament 2018/19 – Day 01

ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පුබුදු බණ්ඩාර හා අග්බෝ අමරසිංහ ලකුණු 51ක සාර්ථක හා වේගවත් ආරම්භක සබඳතාවයක් ගොඩනංවන ලදි. ඉන්පසුව ක්‍රියාත්මක වූ නායක ලක්ෂිත රසාංජන හා කවීෂ මදුරප්පෙරුම යන දෙදෙනා ත්‍රිත්ව විද්‍යාල මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන්ව ඉතාමත් හොඳින් පාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම ලකුණු 165කට සීමා විය.

ඉන් අනතුරුව පිටියට පිවිසුණු නාලන්දා විද්‍යාල පිතිකරුවන් ද සාර්ථක හා ඉවසිලිවන්ත ලෙස ඔවුන්ගේ මුල් පෙළ ස්ථාවර කර ගත් අතර එහි දී කඩුලු රකින පිතිකරු දිල්හාර පොල්ගම්පොල 4 පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේය. රනිඳු ද සිල්වා ලකුණු 26යි.

පන්දු යැවීමේ දී මේ තරගය පුරාවටම දඟපන්දු යවන්නන් විසින් වැඩි ලෙස දස්කම් අතරට පිවිසුණු අතර ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන කවිෂ්ක සේනාධීර තරගයේ පළමු දිනයේ කඩුලු 3ක් දවා ගන්නා ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට නාලන්දා විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 123ක් ලබාගෙන සිටින්නේ ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 42ක් පසුපසින් සිටිමිනි.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 165 (48): පුබුදු බණ්ඩාර 35, අභිෂේක් ආනන්දකුමාර් 30, අග්බෝ අමරසිංහ 25, කවිෂ්ක සේනාධීර 24, කවීෂ මදුරප්පෙරුම 3/12, ලක්ෂිත රසාංජන 3/48.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 123/7 (51): දිල්හාර පොල්ගම්පොල 32, රනිඳු ද සිල්වා 26, කවිෂ්ක සේනාධීර 3/48.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට ආරාධනා කළ අතර සාන්ත ජෝසප් විද්‍යාලයේ ශාලින්ද සෙනෙවිරත්න ඇතුළු සාන්ත ජෝසප් විද්‍යාල පන්දු යවන්නෝ සාන්ත සිල්වෙස්ටර් පළමු ඉනිම ලකුණු 123කට සීමා කළේය. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උසිඳු නිස්සංක ලකුණු 32යි.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 115ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටියි. එහි දී දිනෙත් ජයකොඩි ලකුණු 47ක් වාර්තා කරගනිමින් සාන්ත ජෝසප් පළමු ඉනිම පළමු දිනය තුලම ඔසවා තැබුවේය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම – 123 (64.3): උසිඳු නිස්සංක 32, ශාලින්ද සෙනෙවිරත්න 5/43, දුනිත් වෙල්ලාලගේ 2/20.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 115/4 (36): දිනෙත් ජයකොඩි 47, ශෙවෝන් ඩැනියල් 27

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය

පසිඳු තෙන්නකෝන්ගේ හා මොවින් සුබසිංහගේ පන්දු යැවීමේ දස්කම්වලින් විචිත්‍රවත් වූ මේ තරගය කොළඹ වෙස්ලි විදුහල් පිටියේ දී පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සාන්ත ආනා විද්‍යාලය සිය මුල් ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 96ක් පමණි.

එහි දී සාන්ත ආනා විද්‍යාල පන්දු යවන්නන් අසීරු අඩියකට ඇඳ දැමූ දඟපන්දු යවන ක්‍රීඩක සුබසිංහ ලකුණු 12කට කඩුලු 4ක් දවා ගත්තේය. තරගයේ පළමු දිනය අවසන් වෙද්දී සිය පළමු ඉනිම ද අවසන් කර ගත් වෙස්ලි විද්‍යාලය සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගත්තේ ලකුණු 12ක් ලබාගෙන වන අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශෙනාල් දංගල්ල ලකුණු 68ක් ලබාගන්නා ලදි. සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් දක්ෂ ලෙස පන්දු යැවූ පසිඳු ලකුණු 21කට කඩුලු 6යි. මේ තරගය D කාණ්ඩයේ තරගයකි.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම – 96 (48.5): ලසිත වර්ණකුලසූරිය 20, මොවින් සුබසිංහ 4/12, තේනුක පෙරේරා 3/05, කාවින්ද දිසානායක 2/30.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 126 (42.2): ශෙනාල් දංගල්ල 68, පසිඳු තෙන්නකෝන් 6/21.

පොන්ටින් ඉහළම සම්මානයෙන් පුද ලබයි

ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන ඕස්ට්‍රේලියානු පිළට තම නායකත්වය යටතේ දෙවරක් ලෝක ශූරතා කිරුළ හිමි කර දෙමින් වසර ගණනක් විශිෂ්ඨ ලෙස කණ්ඩායම මෙහෙයවනු ලැබූ…

කොළඹ මහානාම විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක මහානාම විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව උදාකරගත් අතර එහි දී විනුක රූබසිංහ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 32ක් ලබාගෙනයි.

මහානාම  විද්‍යාලය ලබාගත් ලකුණු 126ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 129ක් ලබාගෙන තරගයේ පළමු දිනය තුලම පළමු ඉනිමේ ජය තහවුරු කරගත්තේය. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින චේතක දෙනුවන් ලකුණු 66යි.

තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 126 (57.1): විනුක රූබසිංහ 32, පසිඳු මනුප්‍රිය 2/08, චේතක දෙනුවන් 2/09.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 129/2 (37): චේතක දෙනුවන් 66*, පුෂ්පිත ඩිල්ෂාන් 29, විසුර ලක්මින් 32*.

කුරුණෑගල මලියදේව විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

තවත් A කාණ්ඩයේ තරගයක් වූ මේ තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් පිටියේ දී පැවැත්විය. තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමි සිටි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය මලියදේව විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 19ක් පමණක් පසුපසින් සිටින්නේ තරගයේ වැඩි වාසිය ලබාගෙනයි.

කාසියේ වාසිය දිනා ගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය  කළ මේ තරගයේ දී මලියදේව විද්‍යාල පළමු ඉනිම ලකුණු 128කට සීමා විය. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිත්ත හසුරුවන මුදිත ප්‍රේමදාස ලකුණු 37යි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක රවිඳු ප්‍රනාන්දු ලකුණු 42කට කඩුලු 5ක් දවා ගනිමින් ඉතාමත් දක්ෂ ලෙස සිය වගකීම ඉටු කරන ලදි.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 128 (53.5): මුදිත ප්‍රේමදාස 37, රවිඳු ප්‍රනාන්දු 5/42, අදීශ කේෂාන් 3/36.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 109/3 (28): කෙවින් පෙරේරා 52*, අවන්ත පෙරේරා  37*.

පළමු දිනයට පැවැත්වූ තරග හෙට (29) දෙවන දිනයටත් පැවැත්වෙන අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. එසේම සංගා – මහේල අභියෝගතා කුසලානය වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන පළමු පෙළ සුහද පාසල් ක්‍රිකට් තරගය හෙටත් උදෑසන 9.30 සිට සජීව ලෙස ඔබ වෙත රැගෙන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<