චයිනමන් පන්දුවෙන් සාන්ත මරියා ජය සෙවූ පාසල් ක්‍රීඩකයා

302

තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන 18 හැවිරිදි යොවුන් ක්‍රීඩකයෙකු වන සුපුන් කුමාරගේ සුවිශේෂී හැකියාවන් හේතුවෙන් අද (25) ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව පැවති තරගය ලකුණු 77කින් ජය ගැනීමට කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට හැකි විය. ඒ හැරුණු කොට අද ආරම්භ වුන ලුම්බිණි – ඉසිපතන ටෙස්ට් සටනේ පළමු දිනය උණුසුම් අවසානයක පෙරනිමිති පහළ කරමින් නිමාවට පත්විය.

ජනිඳු හා අකලංක තුන් ඉරියව් දස්කම් අතරට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ තවත් තරගයක් අද (24) ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය හා කෑගල්ල..

කෑගල්ල සාන්ත සාන්ත මරියා විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර තරගය

මීගමුව කදිරාන ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූ මෙම තරගය අවසානයේ ජයපැන් බීමට කෑගල්ල සාන්ත මරියා ක්‍රීඩකයින්ට අවස්ථාව උදා විය. ඒ දෙවැනි දිනයේ සන්ධ්‍යා කාලයේ දී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පරාජය කරමින් ලකුණු 77ක ජයක් හිමිකර ගැනීමට ඔවුන්ට හැකි වූ බැවිනි.

කාසියේ වාසිය දිනාගත් සාන්ත මරියා විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළත් පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත්තේ ලකුණු 109ක් පමණි. එහි දී කිසිදු සාන්ත මරියා පිතිකරුවෙකු ලකුණු 25 සීමාව පවා ඉක්මවා නොගිය අතර පන්දු යැවීමේ දී ජනිඳු වත්සල කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.

කෙසේ නමුත් ප්‍රථම ඉනිම අසාර්ථක වීමෙන් තම ජයග්‍රහණ බලාපොරොත්තු බිඳ නොගත් සාන්ත මරියා පන්දු යවන්නන් බණ්ඩාරනායකයන් ලකුණු 74ක් තුල දවා ගනිමින් තම වරද නිවැරදි කර ගත්හ. එහි දී සුපිරි දක්ෂතා දැක්වූ චයිනමන් පන්දු යවන ක්‍රීඩක සුපුන් කුමාර ලකුණු 22කට කඩුලු 4ක් බිඳ හෙලීය. ඒ අනුව පළමු ඉනිමේ ලකුණු 35ක වාසියක් සමඟින් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සාන්ත මරියා පිතිකරුවන් ලකුණු 114ක් රැස් කරමින් බණ්ඩාරනායක විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 149ක ඉලක්කයක් ලබා දුන්හ. එහි දී පිත්තෙන් ද දස්කම් දැක්වූ වමත් ක්‍රීඩක සුපුන් කුමාර ලකුණු 32ක් රැස්කර ගත්තේය.

ඒ පසුපස හඹාගිය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 72ක් පමණි. ඒ අනුව කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයේ ලකුණු 77ක ජයග්‍රහණය ස්ථිර විය. නැවතත් තම ගුප්ත චයිනමන් පන්දුවෙන් බණ්ඩාරනායක පිතිකරුවන් අන්දමන්ද කළ සුපුන් කුමාර ලකුණු 40කට කඩුලු 5ක් දවා ගනිමින් තම විදුහල් මාතාව ජය කණුව කරා රැගෙන යාම සඳහා අපරිමිත සේවයක් ඉටු කළේය. ඔහු තරගය පුරාවට ලකුණු 62ට කඩුලු 9ක් දවා ගනිමින් තරගයේ සුවිශේෂීම ක්‍රීඩකයා බවට පත්විය.

සාන්ත මරියා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 109 (පන්දුවාර 43.1): අකලංක දිනේෂ් 24, සුජිත් කුමාර 23, ජනිඳු වත්සල 3/24, දිනුෂ්ක ඉමේෂ් 2/03, අරෝෂ මධුෂාන් 2/14, හචිත තිමල් 2/19.

බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 74 (පන්දුවාර 29.3): ජනිඳු වත්සල 42, සුපුන් කුමාර 4/22, අකලංක දිනේෂ්  2/06, සජීව ජයමාල් 2/19.

සාන්ත මරියා විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 46.3): සුපුන් කුමාර 32, සචින් ෆොන්සේකා 22, දිනුෂ්ක ඉමේෂ් 2/06, ජනිඳු වත්සල 3/30, හචිත තිමල් 3/46, අරෝෂ මධුෂාන් 2/21.

බණ්ඩාරනායක විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 72 (පන්දුවාර 29): සයුරු රුෂේන් 25, සුපුන් කුමාර 5/40, සංජය ජයමාල් 3/15.


කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය

පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ පාසල් ද්විත්වයක් අතර මෙම තරගය ක්‍රියාත්මක වූයේ කොළඹ BRC පිටිය කේන්ද්‍ර කර ගනිමිනි. තරගය ආරම්භ කරමින් උරගා බැලුනු කාසියේ වාසිය දිනාගත් කොළඹ ඉසිපතන විද්‍යාලය සියල්ලට පෙර වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමේ අදහසින් පිත්ත අතට ගත්හ. කෙසේ නමුත් ඔවුන් සියලු දෙනාම අද ලකුණු 183කට දැවී ගියේ පන්දුවාර 68ක් තුලදීයි.

ඉසිපතනය වෙනුවෙන් මෙවැනි ලකුණු පුවරුවක් හෝ ගොඩ නැගුණේ අශේන් ගුණවර්ධන රැස්කළ ලකුණු 84 නිසාවෙනි. පන්දු යැවීමේ දී විමුක්ති කුලතුංග කඩුලු 4ක් බිඳ හෙලීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ලුම්බිණි විද්‍යාලය පළමු දිනය වෙනුවෙන් තරගය නතර කරන විට කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 56ක් රැස් කරගෙන සිටින්නේ හෙට දිනයේ දී ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් පවා දැඩි සටනක් ඇතිවිය හැකි බවට ඉඟි පළ කරමිනි.

ඉසිපතන විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 183 (පන්දුවාර 68): අශේන් ගුණවර්ධන 84, ඉශාන් ප්‍රනාන්දු 29, කලීක් අමත් 30, විමුක්ති කුලතුංග 4/57, ගයාශාන් කරුණාරත්න 2/8.

ලුම්බිණි විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 56 (පන්දුවාර 25): පූර්ණ සඳරුවන් 24.


කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය

වර්ෂාවට සේදී ගිය මෙම තරගයේ පළමු දිනයේ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 16ක් පමණි. එහි දී කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහර දීම තෝරාගත් කුරුණෑගල මලියදේව විද්‍යාලය වර්ෂාව ඇද හැලෙන මොහොත වන විට කිසිවෙකු නොදැවී ලකුණු 40ක් ලබා සිටියහ. ඒ වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙන සුපුන් සුමනරත්න නොදැවී ලකුණු 27ක් රැස් කරගෙන ඉනිම ගොඩ නගමින් සිටියි. මලියදේව විද්‍යාලයීය ක්‍රීඩා පිටිය පදනම් කර ගනිමින් පැවැත්වෙන තරගයේ දෙවැනි සහ අවසන් දිනය හෙටයි.

මලියදේව විද්‍යාලය – කිසිවෙකු නොදැවී ලකුණු 40 (පන්දුවාර 16): සුපුන් සුමනරත්න 27*.


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

අද වේල්ස් කුමර විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම තරගයට වර්ෂාව නිසාවෙන් දැඩි බලපෑම් එල්ල විය. එහි දී කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව හිමි කර ගත් සත්කාරක වේල්ස් කුමරුවන්ට අද දිනයේ දී ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 11ක් පමණි. එම කාල පරාසය පුරාවට පිත්තෙන් ඉහළ දස්කම් පෑමට නොහැකි වූ වේල්ස් කුමාර විද්‍යාලයේ කඩුලු 4ක් ලකුණු 36ක් තුල බිඳ වැටුණි. ඉන් කඩුලු 3ක් තර්ස්ටන් විද්‍යාලයේ නිපුන් ලක්ෂාන්ට හිමි විය.

වේල්ස් කුමර විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 36 (පන්දුවාර 11): නිපුන් ලක්ෂාන් 3/22.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට