සිංහ පැටවුන්ගේ පළමු අභියෝගය සුපිරි ජයග්‍රහණයකින් නිමාවෙයි

1103
U19 Asia Cup Sri Lanka Cricket v UAE

මැලේසියාවේ දී අද (10) ඇරඹුණු වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල්ම තරගයම විශිෂ්ට අයුරින් ජය ගැනීමට ශ්‍රී ලංකා සිංහ පැටවුන්ට අද අවස්ථාව උදාවිය. ඒ ප්‍රතිවාදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 7කින් පහසුවෙන්ම පරාජය කරමිනි. තරග ආරම්භයේ සිටම ශ්‍රී ලංකා යොවුන් පිළේ ආධිපත්‍යයට යටත් වූ මෙම තරගයේ වැඩි වශයෙන් කැපී පෙනුණේ වේග පන්දු යවන්නන් දැක්වූ සුවිශේෂී දක්ෂතායි.

ශ්‍රී ලංකාව පන්දු යවන්නන් 04කට මාරු වෙයිද? චන්දිමාල්ගෙන් ඉඟියක්

පාකිස්තාන කණ්ඩායම සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා..

ශ්‍රී ලංකා නායක කමිඳු මෙන්ඩිස් සහ එක්සත් අරාබි එමීර් නායක ෆහාඩ් නවාස් අතරින් ඉහළ නැගුණු කාසිය අද බිම පෙරළී ගියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වාසි ගෙන දෙමිනි. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර වශයෙන් ෆහාඩ් නවාස් ගත් තීරණය නම් ඔහුගේ කණ්ඩායමට සියතින් ගෙල සිඳ ගැනීමකට හේතු විය. ඒ ජාත්‍යන්තර තරග අත්දැකීම් රාශියක් සහිත ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව මුලින් පිතිකරණයේ යෙදීම නවක ක්‍රීඩකයින් රැසක් පිරිවරා ගත් එක්සත් අරාබි එමීර් පිළට කිසිසේත් ලෙහෙසි පහසු නොවන හෙයිනි.

එය තහවුරු කරමින් ඔවුන් මහත් බලාපොරොත්තු තබා සිටි මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනාම ලකුණු පුවරුව යන්තමින් ලකුණු 7ක් වන විට දැවී ගියහ. ඒ වෙනුවෙන් ආරම්භක වෙඩි මුරය දියත් කළේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් 19න් පහළ ජාතික කණ්ඩායම හා එක්වුණු තිසරු රෂ්මිකයි. ඔහුගේ වමත් වේගපන්දුව ඉදිරියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිතිකරුවන් සිව්දෙනෙකුම දණ නැමීය.

යෙශාන්, මිතිල හා සාලිය අර්ධ ශතක අතරට

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා උරගා බැලීමට හොඳම තෝතැන්නක් බඳු 2017/18 සිංගර්..

තිසරුගෙන් පසුව පන්දුව අතට ගත් අත්දැකීම් බහුල යොවුන් ක්‍රිකට් තරුවක් වන ජෙහාන් ඩැනියෙල් තවත් කඩුලු 3ක් දවා ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරාජයේ දොරටු හැර දුන්නේය. දකුණතින් වේගපන්දු යවන ජෙහාන් කොළඹ සාන්ත ජෝසප් විදුහල නියෝජනය කරමින් දැක්වූ අද්විතීය දස්කම් නිසාම ජාතික කණ්ඩායමට තෝරාගත් දක්ෂ ක්‍රීඩකයෙකි. මීට අමතරව වමත් පිට දඟ පන්දු යවන්නන් ලෙස තම කාර්‍යභාරය මැනවින් ඉටු කළ ප්‍රවීන් ජයවික්‍රම සහ කළණ පෙරේරා ප්‍රතිවාදීන්ගේ ඉතිරි කඩුලු ත්‍රිත්වයට පහසුවෙන්ම වග කියූහ.

ශ්‍රී ලංකා පිළෙන් එල්ල වූ මෙම දරුණු ප්‍රහාරය හමුවේ ලකුණු 10 සීමාව පවා පසුකර යාමට සමත් වූයේ එක්සත් අරාබි පිතිකරුවන් දෙදෙනෙකු පමණි. ඒ දකුණතින් පිත්ත හසුරුවන රිතික් (11) සහ සයිඩ් හයිඩර් (16) යන ක්‍රීඩකයින් දෙපළයි. එම දායකත්වය තරග ජයකට කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 66යි පමණි. ඒ පන්දුවාර 22ක් තුලදීයි.

බංගලියන්ට හතුරු වූ හතුරුසිංහ ලංකාවට මිතුරු වෙයිද?

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සිය..

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් දළ ලකුණු වේගය ඉහළ දමා ගැනීමේ අරමුණෙන් ප්‍රවේගකාරී ලෙස පිත්ත හසුරවනු දැක ගන්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය වන හසිත බෝයගොඩ (03) සහ ධනංජය ලක්ෂාන් (11) තරමක් වේලාසනින් පිටිය හැර ගිය ද, එය දක්ෂ පිතිකරුවන් රැසකගෙන් අනූන ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනයක් එල්ල කිරීමට හේතු නොවීය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රිච්මන්ඩ් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් අද හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් රැස්කළේ ඊට සාක්ෂි සපයමිනි.

කමිඳුට අනගි සහයක් වෙමින් ලකුණු 15ක් රැස්කළ ක්‍රිෂාන් ආරච්චිගේ ජයග්‍රහණය ආසන්නයේ දී දැවී ගිය ද අංක 5 පිතිකරුවා ලෙස පිටියට පිවිසි නිපුන් රංසික නොදැවී ලකුණු 11ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට ජයග්‍රහණයට මුද්‍රා තැබීය. ඉතාමත් කුසලතා පූර්ණ දකුණත් වේග පන්දු යවන්නෙකු ලෙස යොවුන් ක්‍රිකට් පිටියේ නම් දරා සිටිය ද අද එක්සත් අරාබි පිතිකරුවන් මෙල්ල කිරීමට නිපුන්ගේ එකදු පන්දුවක් හෝ අවශ්‍ය වූයේ ද නැත. ඒ ශ්‍රී ලංකා පිළේ අනෙක් පන්දු යවන්නන් සිව්දෙනාම තම වගකීම් හරියාකාරව ඉටු කළ බැවිනි.

ඒ අනුව පන්දුවාර 16ක දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 68ක් ලබා තරගය පහසුවෙන්ම ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. මේ අතරතුර ශ්‍රී ලංකාව තරග කරන B කාණ්ඩයේ අද පැවති අනෙක් තරගයේ දී ඇෆ්ගනිස්තානු කණ්ඩායම ප්‍රබල පාකිස්තානු කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් පෙරළිකාර ජයක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින්නේ ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාවයි. එම කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැසෙන අතිශය තීරණාත්මක සහ උණුසුම් තරගය හෙට (11) දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – සියල්ලන්ම දැවී ලකුණු 66 (පන්දුවාර 22): සයිඩ් හයිඩර් 16, රිතික් 11, බ්‍රෙන්ඩන් ඇඩම් 8, තිසරු රශ්මික 4/17, ජෙහාන් ඩැනියෙල් 3/14, ප්‍රවීන් ජයවික්‍රම 2/13.

ශ්‍රී ලංකාව – කඩුලු 3ක් දැවී ලකුණු 68 (පන්දුවාර 16): කමිඳු මෙන්ඩිස් 27*, ක්‍රිෂාන් ආරච්චිගේ 15, නිපුන් රංසික 11*, ෆයිසාල් කාන් 2/30.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<