දේශප්‍රියගේ උත්සාහය අපතේ යවමින් ඉන්දියාව ජය ගනී

213

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම, ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අද (5) ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමඟ බැංගලෝර් නුවර දී පැවැත්වුණු අතර එම තරගයෙන්  කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම, ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 145ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් වමතින් පිත්ත හසුරුවන B3 කාණ්ඩයේ ක්‍රීඩක හිටපු නායක චන්දන දේශප්‍රිය ලකුණු 33යි. ඔහුගේ ඉනිමට 4 පහර 4ක් සටහන් විය. ඊට අමතරව කේ. සිල්වා පන්දු 21කට මුහුණ දෙමින් ලකුණු 30ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. සිල්වාගේ ඉනිමට 4 පහර 3ක් අන්තර්ගත විය.

පන්දු යැවීමේ දී ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූ එස්. රමේෂ් ලකුණු 20කට කඩුලු 2ක් දවාලමින් දස්කම් දැක්වීමට සමත් විය.

තියුණු ජයක් සමඟින් ශ්‍රී ලංකාව නැවතත් තරගාවලියට

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර

ලකුණු 147ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුවත්  ඔවුන්ගේ පළමු කඩුලු 2ක ලකුණු 35ක් තුල බිඳ වැටුණු පසුව එස්. රමේෂ් හා ජී. මුදාකර් දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේය. එහි දී ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 55ක් තුල වේගවත් ලකුණු 107ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි.

කෙසේ නමුත් චන්දන සූරියආරච්චි තරගය පුරාවට තුන් ඉරියව් දස්කම් දැක්වූ එස්. රමේෂ්ගේ කඩුල්ල දවා ගත්තේය. එස්. රමේෂ් පන්දු 29කට මුහුණ දෙමින් අගනා අර්ධ ශතකයක් ලබා ගත්තේ 4 පහර 7ක් හා 6 පහර දෙකක් සිය නමට ඉදිරියෙන් සටහන් කරමිනි. අවසානයේ පන්දුවාර 14යි පන්දු 4ක් තුල සිය ඉලක්කය පසුකර යාමට ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමත් වූයේ කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමිනි.  එස්. රමේෂ් සමඟින් එක්ව ඉනිම ගොඩනැංවූ වමතින් පිත්ත හසුරුවන ජී. මුදාකර් 4 පහර 9ක් සමඟින් ලකුණු 55*ක් ලබාගත්තේ පන්දු 38ක් තුලයි.

ශ්‍රී ලංකාව – 145/10 (18.5): චන්දන දේශප්‍රිය 33,  කේ. සිල්වා 30, එස්. රමේෂ් 2/20

ඉන්දියාව – 146/3 (14.4): එස්. රමේෂ් 57, ජී. මුදාකර් 55*.

තරගයේ වීරයා – එස්. රමේෂ් (ඉන්දියාව)

ශ්‍රී ලංකාව සහභාගී වෙන මීළඟ තරගය මේ මස  8 වැනිදා එංගලන්ත දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමඟින් ගෝවා හිදී පැවැත්වේ. එහි තොරතුරු ද ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<