ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින් විසින් බ්ලූ ස්ටාර් සිහින විනාශ කරදමයි

21

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන තරගය ලෙස පැවති ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය සහ බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරගය ඊයේ (13) රාත්‍රියේ කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී අවසන් වූයේ ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් ගෝල 3-1ක් ලෙස එම තරගවාලියේ ශූරතාවය ද හිමිකර ගනිමිනි.

දෙවැනි අර්ධයේ ප්‍රහාරයෙන් ශූරතාවය කොළඹට

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන …

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ කිරුළ පළඳින කණ්ඩායම තීරණය කෙරෙන මෙම තීරණාත්මක තරගය සඳහා කණ්ඩායම් දෙකම පිටියට පිවිසියේ දැඩි සූදානමකින් යුතුව ය. ඒ අනුව බ්ලූ ස්ටාර් කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මෙම තරගය ජය-පරාජයකින් තොරව අවසන් කරගැනීම ප්‍රමාණවත් වූ අතර අනෙක් පසින් ඩිෆෙන්ඩර්ස් කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යාවශ්‍ය විය.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින් තරගය ආරම්භ වූ මොහොතේ සිටම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර එහි දී මොහොමඩ් ඉසදීන්ගේ ක්‍රීඩා විලාශය කැපී පෙනෙන්නට විය. ඒ අනුව තරගය ආරම්භ වී මිනිත්තු දෙකක් පමණක් ගතවද්දී ක්‍රියාත්මක වූ ඔහු තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනු ලැබුවේ සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යමිනි.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් ද දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ප්‍රතිවාදී පසුපෙළ ක්‍රීඩකයින් හට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට විය. කෙසේ නමුත් එහි දී ගෝලයක් වාර්තා කරගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

පළමු අර්ධයේ මැද භාගයේ දී මොහොමඩ් ඉසදීන් හට කමලේස්වරන් කජන්තන් ලබා දුන් පන්දුවකට ගෝල රාමුව ආසන්නයේ සිට හිසින් පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවක් ලැබුනත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට පිටතින් ඇදී යාම නිසා ඔවුන්ට එම අවස්ථාව අහිමිව ගියේය.

බැඳිවැව හා කළුතර පොඩ්ඩෝ 14න් පහළ ශූරතා දිනති

සමපෝෂ අනුග්‍රහයෙන් පැවැත්වුණු 2018 වයස අවුරුදු 14න් පහළ …

අනතුරුව බ්ලූ ස්ටාර් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් අතින් සිදු වූ අතපසුවීමක් හරහා ගෝල රාමු කලාපය තුළ දී පන්දුව ලබා ගන්නට අසිකුර් රහුමාන් සමත් වූ අතර ඉන් උපරිම ඵල නෙළාගත් ඔහු බ්ලූ ස්ටාර් ගෝල රකින ක්‍රීඩක මංජුල ප්‍රනාන්දු පසුකරමින් ඉතා විශිෂ්ට ලෙස පන්දුව ගෝල රාමුව තුළට යොමු කළේ ඩිෆෙන්ඩර්ස් කණ්ඩායමේ ශූරතා බලාපොරොත්තු ඉහළ නංවමිනි.

කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වන්නට පෙර ක්‍රියාත්මක වූ බ්ලූ ස්ටාර් කණ්ඩායමේ ඊ. බී. චන්න විසින් බී. සී. සම්පත් විසින් ලබාදුන් පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමුකළේ සිය කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කරමිනි.   

පළමු අර්ධය: ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය 02 – 01 බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය

පළමු අර්ධය අවසානයේ ක්‍රියාත්මක කළ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දෙවන අර්ධයට ද ඒ අයුරින්ම රැගෙන ගිය බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් හට දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවද්දී ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවක් ලැබුනත් එහි දී මොහොමඩ් නජ්මාන් ගෝල රාමු කලාපය තුළ සිට එල්ල කළ පහර ගෝල රාමුවට පිටතින් ඇදී ගියේය.

අනෙක් පසින් දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කිරීමට යොමු වූ ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින් තරගයේ වේගය අඩාල කරමින් බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින්ගේ ආක්‍රමණය පාලනය කරන්නට උත්සාහ දැරීය. එමෙන්ම ඔවුන් ලැබුණු අවස්ථාවන් හිදී ඉක්මන් අවස්ථාවන් හරහා ක්‍රියාත්මක වෙමින් ගෝලයක් වාර්තා කරගන්නට උත්සාහ දැරුවත් ඒ සඳහා සාර්ථක අවස්ථාවක් නිර්මාණය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් ‘long throw’ අවස්ථාවන් ඉතා සුලබ ලෙස භාවිතා කරන ස්වරූපයක් දිස්වූ අතර ඒ හරහා ඩිෆෙන්ඩර්ස් ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් ලුත්ෆි හට පීඩනයක් එල්ල කරන්නට ඔවුන් සමත් විය.

කොළඹ ක්‍රීඩා සමාජයේ AFC කුසලාන කාල සටහන නිකුත් වේ

2019 AFC කුසලානයේ පළමු තේරීම් වටයේ පළමු තරගය …

දෙවන අර්ධයේ මැද භාගයට පමණ වන්නට බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් හට ගෝල රාමු කලාපය ආසන්නයේ නිදහස් පහර අවස්ථාවක් හිමිවූ අතර එහිදී එය ලබාගත් චන්න එල්ල කළ පහර ගෝල රාමුවේ වැදී ඉවතට යොමුවීම නිසා ඔවුන්ගෙන් එම අවස්ථාව ගිලිහී යන්නට විය.

තරගය අවසන් වන්නට මිනිත්තු 10ක කාලයක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ රහුමාන් ගෝල රාමු කලාපය අන්තයේ දී පන්දුව ලබා ගනිමින් ඉදිරියට පැමිණි මංජුල පසුකරමින් එය ඉතා විශිෂ්ට ලෙස ගෝල රාමුව තුළට යොමු කරනු ලැබුවේ බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් හට තරගයට අවතීර්ණ වීමට තිබූ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහුරාලමිනි.

ඒ අනුව ඉතිරි මිනිත්තු කිහිපය තුළ දැඩි අභියෝගයකින් තොරව එම ලකුණු පරතරය ඒ අයුරින්ම පවත්වා ගන්නට සමත් වූ ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු 34ක් ද සමඟ 2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය සිය ඉතිහාසයේ දෙවන වරට ජයග්‍රහණය කරනු ලැබුවේ FA කුසලානයත්, මෙම කුසලානයත් සමඟින් දේශීය ශූරතා ද්විත්වයම සිය ක්‍රීඩා සමාජය වෙත රැගෙන යමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

සම්පූර්ණ කාලය: ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය 03 – 01 බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – අසිකුර් රහුමාන් (ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය)

ගෝල ලාභීන්

  • ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය – මොහොමඩ් ඉසදීන් 2’, අසිකුර් රහුමාන් 32’ 81’
  • බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය – ඊ. බී. චන්න 45’

කහ කාඩ්පත්

  • ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය – කමලේස්වරන් කජන්තන් 70’, සජිත් කුමාර 84’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<