“නායකත්වයේ කිසිදු වෙනසක් නැහැ” – සනත් සහ තිලංග

1283
Sanath Jayasuriya

දකුණු අප්‍රිකාව හමුවේ 03-00ක් ලෙස ලැබූ පරාජය හමුවේ බොහොමයක් ක්‍රිකට්ලෝලීන් සහ ක්‍රිකට් විචාරයකින් පවසා සිටියේ කණ්ඩායමේ නායකත්වය වෙනස්විය යුතු යැයි සහ පවතින තරග සංචාරයේ නායකත්වය ද වෙනස් කරනා ලෙසයි.

පසුගිය ලිපි: ටෙස්ට් තරගාවලියේ සම්පූර්ණ ගෞරවය දකුණු අප්‍රිකානුවන්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය අද අවධාරණය කරමින් පවසා සිටියේ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔවුන් සිතාවත් නොමැති බවයි.

“අපි තවම ඉන්නේ තරග සංචාරය අතරතුර, මේ අවස්ථාවෙදි අපිට කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම ගැන කිසිම අරමුණක් නැහැ. අඩුම තරමේ අපි ඒ ගැන වචනයක්වත් සාකච්ඡා කරලා නැහැ. මම ගිය අවුරුද්දේ කියපු විදිහටම ඇන්ජලෝ මැතිව්ස් 2019 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකත්වය හොඹවාවි. ක්‍රීඩකයෙකු සහ නායකයෙකු ලෙස ඔහුට විශාල වගකීම් කොටසක් තියෙනවා.” බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී තිලංග සුමතිපාල පැවසීය.

“අපි පරාජය වෙනකොට ගොඩක් පුද්ගලයෝ නායකත්වය දිහාට ඇඟිල්ල දික්කරනවා, නමුත් ඒක හරි දෙයක් නෙවෙයි. මේක නෙවෙයි නිවැරදි වෙලාව නායකත්වය ගැන සාකච්ඡා කරන්න. මොකද අපි තවමත් ඉන්නේ තරග සංචාරයක් අතරතුර. මැතිව්ස්ගේ නායකත්වයේ අඩුපාඩුකම් තියෙනවා ඇති, මොකද හැම කෙනෙක්ම 100% නිවැරදි නැහැ. නමුත් මේ අවස්ථාවෙදි එලඹෙන විස්සයි 20 තරගාවලියට සහ එක්දින තරගාවලියට හොඳින් මුහුණ දෙන්නට අපි ඔහුව ශක්තිමත් කරන්න අවශ්‍යයි. අපි ඒ තරගත් මේ විදිහටම පරාජය වුනොත් එතකොට නායකත්වය ගැන කතා කරමු. නමුත් මේ අවස්ථාවෙදි නායකත්වයේ කිසිදු වෙනසක් සිදුවෙන්නේ නැහැ.” ජයසූරිය මාධ්‍යට පැහැදිලිව අදහස් දක්වමින් පැවසීය.

ඉකුත් අඟහරුවාදා ශ්‍රී ලංකා ක්‍රිකට් බළදාරීන් විසින් කණ්ඩායම් කළමනාකාරීත්වය සමඟ විශේෂ සාකච්ඡාවක් සංවිධානය කරමින් එළඹෙන විස්සයි 20 තරග වලට සහ පන්දුවාර 50 තරගවලදී අනුගමනය කල යුතු උපාය මාර්ග පිළිබඳව සාකච්ඡාවට බඳුන් කර ඇති අතර එම සාකච්ඡාවේදී කණ්ඩායමේ ජවය වර්ධනය කිරීමටත් බලදාරීන් කටයුතු කරන ලදී.

“අපි ඔවුන්ට යම්කිසි ආත්ම විශ්වාසයක් ඇති කල යුතුයි විදේශීකයින්ට එරෙහිව හොඳින් තරග වදින්නට. අපි ඇත්තටම කනගාටුවෙනවා ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කල ආකාරය පිළිබඳව, විශේෂයෙන්ම පිතිකරුවන් ගැන. නමුත් මට විශ්වාසයක් තියෙනවා කණ්ඩායම ආපසු ජයග්‍රාහී මාවතට පිවිසෙයි කියලා. අපේ වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා හොඳයි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන හොඳ පෙරනිමිත්තක්. අපේ ප්‍රධාන අවධානය යොමුවෙන්නේ පැයට කිලෝමීටර 140 වඩා වැඩි වේගයකින් පන්දුයවන්නන් අඩුම ගානේ 4-6ක්වත් හදා ගන්න එක ගැන.” සුමතිපාල වැඩිදුරටත් පැවසීය.

ටෙස්ට් තරග තුනම පැවති ක්‍රීඩාංගන දකුණු අප්‍රිකානු පන්දුයවන්නට පහසුවක් වෙන ආකාරයෙන් නිර්මාණය වුනු ඒවා. නමුත් අපේ ක්‍රීඩකයින්ට පුළුවන් වුනා එම ක්‍රීඩාංගණයේ තත්වයන්ට කෙටි කාලයකදී අනුගත වෙන්න.

“පවතින තත්වය පිළිබඳව සාකච්ඡා කරන්න මේ අවස්ථාවේ ඉන්න අකමැතිම පුද්ගලයා තමයි මම.  නමුත් මෙවැනි තරුණ කණ්ඩායමක් සමඟ අපිට මෙවැනි දෑ බලාපොරොත්තු වෙන්න පුළුවන්. පිතිකරණ අංශය සලකා බැලීමේදී අපිට තවත් වර්ධනය කරගත යුතු දේවල් තියෙනවා” සනත් ජයසූරිය පැවසීය.

2016 අගභාගයේදී ඇතැම් මාධ්‍ය වාර්තා කර සිටියේ ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ක්‍රිකට් ආයතනයේ බලදාරීන්ගේ සිදුවන ඇඟිලි ගැසීම නිසාවෙන් සනත් සහ ඔහුගේ තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට නියමිත බවයි, නමුත් සනත් ජයසූරිය සඳහන් කලේ ඒවැනි ඉල්ලා අස්වීම් කිසිවක් ඔහුගෙන් හො ඔහුගේ සාමාජිකයින්ගේ ඉදිරිපත් නොවූ බවයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට