හේලි හා මෙරීසා ලංකාවට එරෙහි වෙයි

293
Sri Lanka womens v West indies womens

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ පළමු එක්දින ක්‍රිකට් තරගය අද (12) අවසන් වූයේ කොදෙව් කාන්තාවන්ට  කඩුලු 6ක ජයක් හිමිකර දෙමිනි. තරගය ට්‍රිනිටෑඩ් හි බ්‍රයන් ලාරා පිටියේ දී පැවැත්විය. එහි දී හේලි මැතිව්ස් හා මෙරීසා ඇගියුලේරියා වැඩි දස්කම් දැක්වීමට සමත් විය.

ශ්‍රී ලංකාව ඉදිරියට; පාකිස්තානය පස්සට

ඊයේ (10) අවසන් වූ ශ්‍රී ලංකා – පාකිස්තානු ටෙස්ට් තරගාවලියට පසුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකා ඉනෝකා රණවීර පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගත්තාය. නමුත් එය ශ්‍රී ලංකාවට සුභදායී තීරණයක් බවට පත්කර ගැනීමට කොදෙව් කාන්තා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත. නිපුනි හංසිකා හා යසෝදා මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ආරම්භයක් ලබා දුන්න ද, එය වැඩි වේලාවක් පවත්වා ගෙන යාමට ඇෆී ෆෙලෙචර් අවස්ථාව ලබා නොදුනි.  ඒ ලකුණු 8ක් ලබා සිටි නිපුනිව කඩුල්ල මුවාකිරීමේ වරදකට හසුකර ක්‍රීඩාගාරයට හරවා යවමිනි.

අනතුරුව පිටියේ එක්වූ මෙන්ඩිස් හා චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ සබඳතාවයක් එක්කරමින් පිළිවෙළින් ලකුණු 34ක් හා 25ක් ලබා ගත්හ. එහි දී අතපත්තු සිය ඉනිම වර්ණවත් 4 පහර තුනකින් හැඩගන්වන ලදි. ඔවුන් දෙදෙනොම දැවී ගිය පසුව ඩිලානි මනෝදරා එක් අන්තයත් රැක ගනිමින් නොදැවී ලකුණු 28*ක් ලබාගෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 136ක් දක්වා රැගෙන යන ලදි.

පන්දු යැවීමේ දී කොදෙව් කාන්තා කණ්ඩායම වෙනුවෙන් හේලි මැතිව්ස් ලකුණු 18කට කඩුලු 3ක්, ස්ටෙෆනි ටේලර් ලකුණු 24කට කඩුලු 3ක් සහ ඇෆී ෆෙලෙචර් ලකුණු 42කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව කොදෙව් කාන්තා කණ්ඩායම ලකුණු 137ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසියාය. නමුත් කයිසියා නයිට් හා කණ්ඩායම් නායිකා ස්ටෙෆනි ටේලර් පිළිවෙළින් එක් ලකුණකට හා ලකුණු දෙකකට දැවී යන ලදි. ඒ අනුව යම් තරමක වාසියක් ශ්‍රී ලංකාව දෙසට බරවුවත්, හේලි මැතිව්ස් හා චීඩීන් නැටියන් පිළිවෙළින් ලකුණු 22ක් හා ලකුණු 24ක් ලබා ගත්තාය. නැටියන් 4 පහර 3ක් සමඟින් එම ලකුණු 24 ලබාගන්නා ලදි. අමතරව දේනද්‍ර ඩොටින් ද දැකුම්කළු 4 පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබාගෙන ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තරමක් දුරස් කළාය.

පස්වන කඩුල්ල සඳහා සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ ඇගියුලේරියා හා කියොශ්නා නයිට් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිළිවෙළින් නොදැවී ලකුණු 32*ක් හා නොදැවී ලකුණු 21*ක් ලබා ගත්තාය.

අවසානයේ කොදෙව් කණ්ඩායම පන්දුවාර 39ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 138ක් ලබාගෙන මෙම තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කරමින් තරගාවලිය 1–0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී කණ්ඩායම් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් නායිකා රණවීර කඩුලු 2ක් දවා ගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 136/10 (49.4): යසෝදා මෙන්ඩිස් 34, ඩිලානි මනෝදරා 28*, චමරි අතපත්තු 25, හේලි මැතිව්ස් 3/18, ස්ටැෆනි ටේලර් 3/24, ඇෆී ෆෙලෙචර් 3/42.

කොදෙව් කාන්තා කණ්ඩායම – 138/4 (39): මෙරීසා ඇගියුලේරියා 32*, චීඩීන් නැටියන් 24, දේනද්‍ර ඩොටින් 22, හේලි මැතිව්ස් 22, ඉනෝකා රණවීර 2/27.

දෙරට අතර පැවැත්වෙන මීළඟ එක්දින තරගය හෙට (13) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11.30ට ආරම්භ වෙනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<