ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් තරගයත් ජය ගනී

344

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (25) අවසන් වූ පස්වැනි සහ අවසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ද ඉතා පහසු ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ තරග 5කින් සමන්විත වූ තරගාවලිය 4-0ක් ලෙසින් ජයග්‍රහණය කළෝය. තරගාවලියේ දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ තරගයක් විය.

පටිල්ගේ දක්ෂතා සමඟින් ඉන්දීය ක්‍රීඩිකාවෝ තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති සිව්වැනි …

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාවෙන් පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ තම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 156ක් රැස් කළහ. එම ඉනිමේ දී හර්මන්ප්‍රීට් කෞවුර් පන්දු 38ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා ය. එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6 වැනි අර්ධ ශතකයයි.

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේ තෙවැනි පන්දුවේ දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවද දෙවැනි කඩුල්ල වෙනුවෙන් මිතාලි රාජ් (12) සහ ජෙමීමා රොද්‍රිගෝස් ලකුණු 28ක සබඳතාවක් ලබා ගැනීමට සමත් වූහ.

මිතාලි රාජ්ගේ දැවී යෑමෙන් පසු තෙවැනි කඩුල්ල වෙනුවෙන් ජෙමීමා සමඟ එක්වූ හර්මන්ප්‍රීට් කෞවුර් ඉන්දීය ලකුණු පුවරුව 105ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. ලකුණු 75ක් වූ එම සබඳතාවේ දී කෞවුර් රැස් කළ ලකුණු සංඛ්‍යාව 46ක්. ඇය ඒ වෙනුවෙන් පන්දු 36කට මුහුණ දී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් තම ඉනිමට එක්කර තිබුණි.

ඉන්දිය ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 4ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. පන්දු යැවීමේ දී ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළාය. ඊට අමතරව ඉනෝෂී ප්‍රියදර්ශනී ද ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ශ්‍රීපාලි වීරක්කොඩි, ඕෂදී රණසිංහ සහ චමරි අතපත්තු කඩුල්ල බැගින් දවා ගත්හ.

ඉන්දීය ඉනිමේ ක්‍රීඩිකාවන් 8 දෙනෙක්ම ලකුණු දහයේ සීමාවට මෙපිටින් තැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණුනි.

චමරි අතපත්තු සිය හොඳම ප්‍රසාද ලකුණ වාර්තා කරයි

සත්කාරක ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව …

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 105ක් පමණි. සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකා ඉනිම යශෝධා මෙන්ඩිස් සහ චමරි අතපත්තු විසින් ආරම්භ කළ ද පළමු පන්දු වාරයේ සිව්වැනි පන්දුවේ දී චමරි (00) ගේ ඉනිම නිමා වුණි.

දෙවැනි කඩුල්ල ලෙසින් යශෝධා මෙන්ඩිස් (10) ද දැවී ගිය පසු පිටියේ එක් වූ අනුශ්කා සංජීවනී සහ ශෂිකලා සිරිවර්ධන තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සබඳතාවක් එක් කළහ. ශෂිකලා පන්දු 18කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා ය.

අනතුරුව පැවති කඩුල්ල වෙනුවෙන් අනුශ්කා සංජීවනී සහ ඕෂදී රණසිංහ ලකුණු 39ක් එක් කළහ. ඕෂදී පන්දු 20කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු22ක් ලබා සිටිය දී දුවද්දී දැවී යමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව අඩපණ කළාය.

එතැන් සිට තරගයේ පාලනය ඉන්දීය ක්‍රීඩිකාවෝ සතු කර ගත්හ. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 19ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නියෝ සමත් වූහ. ඒ අනුව නිලක්ෂි ද සිල්වා (02), ඒෂානි ලොකුසූරිය (03), රෙබේකා වැන්ඩොට් (01), ශ්‍රීපාලි වීරක්කොඩි (01), කවීෂා ඩිල්හාරි (02*) සහ ඉනෝෂී ප්‍රියදර්ශනී (02) අඩු ලකුණුවලට දැවී ගියා ය.

කඩුලු ලබා ගැනීමේ දී පූනම් යාදව් ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර දීප්ති ශර්මාසහ රාධා යාදව් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවි 156 (18.3) ජෙමීමා රොද්‍රගෝස් 46, හර්මන්ප්‍රීට් කෞවුර් 63, ශෂිකලා සිරිවර්ධන 3/19, ඉනෝෂි ප්‍රියදර්ශනී 3/24

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 105 (17.4) අනුෂ්කා සංජිවනි 29, ශෂිකලා සිරිවර්ධන 22, ඕෂදී රණසිංහ 22, දීප්ති ශර්මා 2/1, පූනම් යාදව් 3/18, රාධා යාදව් 2/14

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <