ශ්‍රී ලංකා ජයග්‍රහණ බලාපොරොත්තුවලට පාකිස්තානයෙන් බාධා!

1835

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද දිනය (30) නිමා වන විට පාකිස්තානු කණ්ඩායම කඩුලු 4ක් බිඳ වැටී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 266කි. ඒ අනුව පාකිස්තානු කණ්ඩායමට ශ්‍රී ලංකා ඉනිම අභිබවා යාමට නම් තවත් ලකුණු 154ක් ලබාගත යුතුව ඇත. කෙසේ වෙතත් පිතිකරුවන්ට වඩා හිතකර තණතිල්ලක් මතදී පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කඩුලු දවා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.

දෙවැනි දිනය වර්ණ ගන්වමින් චන්දිමාල්ගෙන් විශිෂ්ට ශතකයක්!

වර්තමානයේ ශ්‍රී ලංකාව සතු විශ්වාසනීයම ටෙස්ට් පිතිකරුවා වන දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කළ සුපිරි ඉනිම නිසා ප්‍රථම ඉනිම…

අද උදෑසන තෙවැනි දිනය වෙනුවෙන් තරගය ආරම්භ කරන විට පාකිස්තානු කණ්ඩායම සිටියේ බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙනයි. ඒ ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඊයේ කණ්ඩායමේ ලකුණු තත්ත්වය 64ක් දක්වා ඉදිරියට ගෙන ආ බැවිනි. ශ්‍රී ලංකා පිළ ඉතාමත් හොඳින් පිත්ත හැසිරවූ තණතිල්ලේ තමන්ටද යමක් කළ හැකි බව ඔප්පු කළ ශාන් මසූඩ් සහ සැමී අස්ලාම් අද එම සබඳතාවය ශතක සබඳතාවයක් බවට පත්කර ගත්හ. ඒ අතරතුර දී වමත් ආරම්භක පිතිකරු ශාන් මසූඩ් තම ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කර ගන්නට ද සමත් විය. ඒ මනරම් හතරේ පහර 6ක් සමඟිනි.

පාකිස්තානු ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 114ක් දක්වා ඉහළ නැගෙද්දී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් පළමු කඩුලු දඩයම සාර්ථක කර ගත්තේ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරායි. ඔහු ටෙස්ට් දිවියේ සත්වැනි අර්ධ ශතකය වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකාවට අභියෝගයක් වෙමින් සිටි සැමී අස්ලාම්ව නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැව්වේ නයිජල් ලෝන්ග් ලබා දුන් විනිසුරු තීරණය පවා අභියෝගයට ලක් කරමිනි. කඩුල්ල මුවා කිරීමේ වරද වෙනුවෙන් සිදු කළ ඉල්ලීම පසුව Hawk eye තාක්ෂණය යොදාගෙන පිරික්සූ තෙවැනි විනිසුරුවරයා තීරණය කළේ පන්දුව කෙලින්ම කඩුල්ලේ ගැටිය යුතු බවයි.

ඊට පසුව යැවූ පන්දුවේ දී දිල්රුවන් පෙරේරා අසාර් අලි කඩුල්ල මුවා කළ බවට කළ ඉල්ලීම විනිසුරු නයිජල් ලෝන්ග් පිළිගත් නමුත් ශ්‍රී ලංකාවට එම කඩුල්ල වැඩි වේලාවක් සැමරීමට ඉඩ ලැබුණේ නැත. ඒ අසාර් අලීගේ ඉල්ලීම පිට DRS අවස්ථාව ලබාගත් පාකිස්තානු පිළ එය යන්තමින් පිත්තේ ගැටී පසුව පා ආවරණයේ දැවටෙන පන්දුවක් බව තහවුරු කළ හෙයිනි. ඒ අනුව දක්ෂ ටෙස්ට් පිතිකරුවෙකු ලෙස සැලකෙන අසාර් අලිට තවදුරටත් ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට වාසනාව උදා විය.

කෙසේ වෙතත් අස්ලාම්ගේ දැවී යාමෙන් පසු වැඩි කල් නොයවාම දෙවැනි කඩුල්ලත් ශ්‍රී ලංකා පිළට ලබා දීමට වමත් දඟපන්දුවේ විශිෂ්ටතමයා වන රංගන හේරත්ට හැකි විය. ඔහුගේ අතින් ගිලිහී හොඳින් දඟ කැවුණු පන්දුව බිඳ දැමුවේ ශාන් මසූඩ්ගේ කඩුල්ලයි. ටෙස්ට් දිවියේ තමන් වාර්තා කර ගත් එකම ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරගෙන ඇති මසූඩ් අද ලකුණු 59කට දැවී යාම ශ්‍රී ලංකා පිළට සැනසුමක් ගෙන දුන්නේය. ඒ මෙම තරගයට ක්‍රීඩා කරන පාකිස්තානු කණ්ඩායම සතුව මිස්බා උල්-හක් සහ යූනිස් කාන් යන සුපිරි පිතිකරුවන් දෙදෙනා නොමැති බැවිනි.

දිවා විවේකයෙන් අනතුරුව ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් තරගය තම ග්‍රහණයට ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද පාකිස්තානු පිතිකරුවන් ඊට කිසිදු ඉඩක් ලබා දුන්නේ නැත. ඊට ප්‍රධානතම හේතුව වූයේ දකුණත් පිතිකරු අසාර් අලි ඊයේ දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කළ ආකාරයේම මැරතන් ඉනිමක් ක්‍රීඩා කිරීමයි. මෙම තණතිල්ලේ සාර්ථක වීමට නම් කලබල වී විශාල පහරවල් කරා යාම නුසුදුසු බව වටහාගත් ඔහු ඉතාමත් ප්‍රවේසමෙන් ඉනිම ගොඩ නැගුවේය. ඒ හේතුවෙන් අසාර් සහ අසාද් ශෆීක් අතරේ ගොඩ නැගුණු සබඳතාවය ද ලකුණු 79ක් දක්වා දළුලා වැඩුණි.

ධනංජයට නායකත්වය; සුපිරි කණ්ඩායමක් කොදෙව් රටට

ශ්‍රී ලංකා A හා බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම් අතර ඔක්තෝබර් මස 11 වැනිදායින් ආරම්භ වීමට නියමිත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකාව…

අවසානයේ රංගන හේරත් යැවූ අනපේක්ෂිත ලෙස ඉහළ නැගුණු පන්දුවකට අසාද් ශෆීක් ස්ලිප් කලාපය වෙත උඩපන්දුවක් ලබා දුන් නිසා ශ්‍රී ලංකාවට තෙවැනි කඩුල්ල දවා ගැනීමේ අවස්ථාව උදා විය. ඒ වන විට ශෆීක් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් රැස් කරගෙන සිටියේය. ඒ පන්දු 119කට මුහුණ දෙමිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි බාබර් අසාම් සමඟ එක් වෙමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක් එක් කරන්නට අසාර් අලිට හැකි විය. කෙසේ වෙතත් දිනය නිමාවන්නට මොහොතක් තිබිය දී බාබර් අසාම්ව ලකුණු 28කට දවා ගැනීමට නුවන් ප්‍රදීප් සමත් වීම නිසා තවමත් තරගය පවතින්නේ දෙපිළටම පක්ෂග්‍රාහී ලෙසයි.

ශ්‍රී ලංකාවට ප්‍රථම ඉනිමේ වාසියක් ලබා ගැනීමට ප්‍රධානතම බාධාව වී ඇති අසාර් අලි මේ වන විට නොදැවී ලකුණු 74ක් ලබාගෙන සිටියි. ඒ පන්දු 200කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් පමණක් එල්ල කරමිනි. අසාමාන්‍ය ලෙස සෙමින් පන්දුවට පහර දුන් පාකිස්තානුවන් මේ වන විට පන්දුවාරයකට ලබාගෙන ඇත්තේ ලකුණු 2.36 බැගිනි. හෙට දිනයේ පිතිකරණයේ යෙදීමට හැරිස් සොහේල් සහ නායක සෆ්රාස් අහමඩ් ඉතිරිව සිටින නිසා මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවීමට ද වැඩි ඉඩක් පවතී. එය වෙනස් කිරීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් හෙට තේ විවේකයට පෙර පාකිස්තානු ඉනිම බිඳ දමා දෙවැනි ඉනිම සාර්ථක කර ගැනීමට ඔවුන්ට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 419 (පන්දුවාර 154.5): දිනේෂ් චන්දිමාල් 155*, දිමුත් කරුණාරත්න 93, නිරෝෂන් දික්වැල්ල 83, දිල්රුවන් පෙරේරා 33, මොහොමඩ් අබ්බාස් 3/75, යසීර් ෂා 3/120, හසන් අලි 2/88.

පාකිස්තානු (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 266 (පන්දුවාර 112.4): අසාර් අලි 74*, ශාන් මසූඩ් 59, සැමී අස්ලාම් 51, අසාද් ශෆීක් 39, බාබර් අසාම් 28, රංගන හේරත් 2/47.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට