බංගලියන් නිසා ඉදිරිය අහිමි වූ ශ්‍රී ලංකා දක්ෂතා

198

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් සත්කාරකත්වයෙන් යුත් වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට උත්සාහ කිරීමට තිබූ  අවස්ථාව වර්ෂාව හේතුවෙන් අහිමි වූයේ පැය 5කට වැඩි කාලයක් බංකුවේ සිටිමට සලස්වමිනි. 

පන්දුවක් හෝ ක්‍රීඩා නොකරම ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට!

මේ දිනවල ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන එක්දින තරගාවලිය දෙස ඇස ගසාගෙන…

B කාණ්ඩයෙන් තරග වැදුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු වටයේ දී එකී කාණ්ඩයේ ලබා ගත්තේ දෙවැනි ස්ථානයයි. ඒ බංග්ලාදේශය වෙතින් පරාජය වෙමින් සහ නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් පරාජයට පත් කරමිනි. 

A කාණ්ඩයෙන් තරග වැදුණ ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, කුවේට් සහ පාකිස්තානය අතර පළමු වටයේ තරගවල දී ඉන්දියාව අපරාජිතව පළමු ස්ථානයටත් ඇෆ්ගනිස්තානය දෙවැනි ස්ථානයටත් පත් විය. 

ඒ අනුව අවසන් පූර්ව වටය සඳහා B කාණ්ඩයෙන් බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවත් A කාණ්ඩයෙන් ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානයත් සුදුසුකම් ලැබුවේ ය. ඒ අනුව පැවැත්වීමට තිබූ එම වටයේ තරග පසුගිය 13 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි.

නමුත් වර්ෂාව එම තරග දෙකම බිලි ගත්තේය. 

තරගාවලියේ නීති රීති අනුව අවසන් පූර්ව වටයේ තරග විසඳුමක් නොවූයේ නම් පළමු වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලබන්නේය. 

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටි ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩකයෝ සහ බංග්ලාදේශ ක්‍රීඩකයෝ එතෙක් තරගාවලියේ අපරාජිතව සිටි බැවින් ඔවුන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්හ. එම තරගය අද (14) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත ය. 

පාකිස්තානෙට යන්න බැරි නම් කොදෙව් යන්නත් බැහැ

මේ මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය සඳහා …

පළමු තරගය

ශ්‍රී ලංකාව සහභාගී වූ තරගාවලියේ පළමු තරගයේ දී නේපාල කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය කිරීමේ දී ය. 

මෙම තරගයේ දී පන්දු යැවීමෙන් දක්ෂතා දැක්විමට නවෝද් පරණවිතාන සහ ඩිල්ශාන් මධුශංක සමත් වීම කැපී පෙණුනි. පිතිකරණයේ දී ආරම්භක වමත් පිතිකරු පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේය. කමිල්ගේ එම ඉනිම තරගයේ වීරයා වීමට ද හේතු විය.  

නමුත් කමිල් මිෂාරට අන් තරගවල දී එතරම්ම ලකුණු අතරට පිවිසීමට නොහැකි වීම විශාල පාඩුවක් විය. තරගාවලියෙන් ඔවුන් ඉවත් වෙන විට කමිල්ගේ දක්ෂතාව වී තිබුණේ තරග 3කට ලකුණු 88කි. එය 29.33ක සාමාන්‍යයකි. වඩාත් තීරණාත්මක තරගය වී බංග්ලාදේශය සමග තරගයේ දී කමිල් මිෂාරට දීර්ඝ ඉනිමකට යෑමට හැකි වී නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි. 

දෙවැනි තරගය

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග පැවති තරගයයි. එම තරගයේ දී ලකුණු 52ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූයේ තරගයේ වීරයා ලෙසින් නවෝද් පරණවිතාන සම්මාන දිනා ගනිමිනි. 

මෙම තරගයේ දී ආරම්භක පිතිකරු නවෝද් පිතිකරුවෙක් ලෙසින් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 61ක් ලබා ගන්නේ ය. ඔහු මෙම ඉනිම ගොඩ නගන්නේ තම සහායක ආරම්භක පිතිකරු කමිල් මිෂාර පළමු පන්දුවෙන් ම කඩුල්ල අහිමි කර ගනිද්දීය. 

පන්දු යැවීමේ දී වැදගත් කාර්ය භාරයක් කළ නවෝද් පරණවිතාන ලකුණු 54කට කඩුලු 4ක් දවා ගන්නේය. වමතින් මද වේගපන්දු යැවූ ඔහුගේ මෙම දක්ෂතාව මෙම තරගාවලියේ ශ්‍රී ලාංකිකයන් පෑ දක්ෂතා අතුරින් පළමු තැන ගත්තේය. 

ඔහු තරගාවලිය නිමා කරන විට එම අර්ධ ශතකයත් සමඟින් ලකුණු 90ක් ලබා ගත් අතර ලබා ගත් කඩුලු සංඛ්‍යාව 8කි. එම කඩුලු සංඛ්‍යාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් හොඳම දක්ෂතාව ලෙසින් සටහන් විය. 

මෙම තරගයේ දී නවෝද්ට අමතරව නායක නිපුන් ධනංජය සහ අහන් වික්‍රමසිංහ ද අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුනි. නිපුන්ගේ මෙම අර්ධ ශතකයක් සමඟින් ඔහු තරගාවලියේ දී ලකුණු 114ක් ලබා ගන්නේය. එය පිතිකරු ලැයිස්තු ගත කිරීමේ දී දෙවැනි තැන ගත්තේය. 

අහන් වික්‍රමසිංහ මෙම තරගයේ දී පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 73ක් ලබා ගත්තේය. එය ශ්‍රී ලංකා පිතිකරුවෙක් මෙම තරගාවලියේ දී වාර්තා කරන ලද ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය. 

එමෙන්ම තරගාවලියේ ශ්‍රී ලාංකිකයන් අතුරින් වැඩිම ලකුණු ලාභියා වූයේ ද ඔහුය. ඔහු තරග 3ට සහභාගී වෙමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 136කි. එහි සාමාන්‍ය 45.33කි. 

ත්‍රස්ත ප්‍රහාරයකට අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට පෙර කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් …

තෙවැනි තරගය

වඩාත් වැදගත් වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම වගකීම කුමක් දැයි වටහා නොගනිමින් ක්‍රීඩා කළ අයුරකි දකින්නට තිබුණේ. විශේෂයෙන්ම අවසන් පූර්ව වටයේ දී උඩ-යට ක්‍රීඩකයන් හමුවීමේ න්‍යාය අමතක කිරීම ඊට හේතු වූවා යැයි විශ්වාස කළ හැකිය. 

තරගය ආරම්භයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ පාලනය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූවද තෙවැනි කඩුල්ලේ දී එය තමන් වෙත නතුකර ගැනීමට බංග්ලාදේශිකයන් සමත් වූහ. ඔවුන් එම කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 25ක් වැය කරමින් තම ඉනිම තරගයක් දිය හැකි ලකුණු මට්ටමකට ගෙනාහ. එම කඩුල්ලේ සබඳතාව ලකුණු 121කි. 

ශ්‍රී ලංකා ඉනිමේ දී නායක නිපුන් දනංජය අනවශ්‍ය පහරකට යමින් දැවී යෑම තරගයේ දිශානතිය වෙනස් කිරීමට බෙහෙවින් හේතු විණැයි පැවසිය හැකිය. ඒ අවස්ථාවේ තරගාවලියේ තව දුරටත් ඉදිරියට යා යුතු නම් මෙම තරගයේ ජයග්‍රහණය ඇවැසි බැව් ඉහළින් දැනුවත් කිරීමක් වී නම් මේ ඇබැද්දිය සිදු වන්නේ නැත. ඒ වන විට ද අනෙක් කාණ්ඩයෙන් ඉන්දියාව සහභාගී තරග 3 ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු වැනියා වී තිබුණි. 

කෙසේ වෙතත් යටි පෙළින් පිටියට පිවිසි රොහාන් සංජය පන්දු 36කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා ගනිමින් අවසන් පන්දුවාර කිහිපයේ දී ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ලබා දුන්න ද ඔහුගේ දැවී යෑමත් සමඟින් සියල්ල නිමාවට පත් විය.  

මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණය කර තිබුණි නම් B කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකි වන අතර එසේ වූවා නම් අද (14) පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබන්නේ ඔවුන් ය. නමුත් එම අවස්ථාව අවාසනාවන්ත ලෙසින් අපේ ක්‍රීඩකයන්ට අහිමි විය. 

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතා
පිතිකරු තරග ඉනිම් ලකුණු වැඩිම ලකුණු
නිපුන් දනංජය (නායක) 3 3 114 60
නවෝද් පරණවිතාන 3 3 90 61
කමිල් මිෂාර 3 3 88 55
රවිඳු රසාන්ත 3 3 54 22
අහන් වික්‍රමසිංහ 3 3 136 73
අවිශ්ක තරිඳු 3 3 60 25*
චමිඳු විජේසිංහ 3 3 29 27
රොහාන් සංජය 3 2 78 42
අශේන් ඩැනියෙල් 3 2 21 16*
ඩිල්ශාන් මධුශංක 2 1 13* 13*
අම්ෂි ද සිල්වා 2 1 7* 7*
යසිරු රොද්‍රිගෝ 1 0 0 0
කවිඳු නදීශාන් 1 1 0 0
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා
පන්දු යවන්නා තරග පන්දුවාර නිලකුණු පන්දුවාර ලකුණු කඩුලු හොඳම පන්දු යැවීම
නිපුන් දනංජය (නායක) 3 7 0 41 2 2/41
නවෝද් පරණවිතාන 3 23 0 110 8 4/54
චමිඳු විජේසිංහ 3 14 0 81 1 1/36
රොහාන් සංජය 3 27 0 117 3 2/36
අම්ෂි ද සිල්වා 2 10 0 58 0 0
අශේන් ඩැනියෙල් 3 25 0 110 3 2/39
ඩිල්ශාන් මධුශංක 2 18 0 77 6 3/23
කවිඳු නදීශාන් 1 10 0 76 1 1/76

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<