ගෙවුණු දවස සැප්තැම්බර් 09 – ශ්‍රී ලංකාව ආසියාවේ රැජිනියන් වෙයි

271

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

  දැල්පන්දු  –

දැල්පන්දුවේ ආසියානු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට

සැප්තැම්බර් මස 1 වැනිදා ආරම්භ වූ 11 වන ආසියානු දැල්පන්දු ශූරතා කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (9) සිංගප්පූරුවේ OCBC ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී ලකුණු 69-50ක් ලෙස සත්කාරක ප්‍රබල සිංගප්පූරු කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම 5 වන වරටත් ආසියානු දැල්පන්දු ශූරියන් ලෙස කිරුළු දිනාගත්තාය.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනා ගත්තේ 2009 වසරේ දී වන අතර එහි දී ද ශ්‍රී ලංකා හමුවේ පරාජය වූයේ සිංගප්පූරු කණ්ඩායමයි.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරග කිහිපය ඉතාමත් සාර්ථක ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට පැමිණියේ අපරාජිතව වන අතර අවසන් පූර්ව තරගයේ දී ලකුණු 55-46ක් ලෙස හොංකොං කණ්ඩායම පරාජයට පත්කරමින් මේ තරගාවලි ඉතිහාසය තුල නොකඩවා සිව්වැනි වතාවටත් අවසන් මහා තරගාවලියක් සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

සම්පූර්ණ වාර්තාව: වසර 9කට පසුව ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරියෝ වෙති


  රග්බි  –

මොරටුව සිසුන් ශූරතාවය දිනයි

2018 අන්තර් විශ්ව විද්‍යාල රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (9) පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා මොරටුව විශ්ව විද්‍යාලය අතර කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති අතර ලකුණු 40-24ක් ලෙස පේරාදෙණිය ක්‍රීඩකයින් පරාජය කරමින් මොරටුව විශ්ව විද්‍යාලය 2018 අන්තර් විශ්ව විද්‍යාල රග්බි ශූරතාව දිනා ගැනීමට සමත් විය.

මේ අතර මෙම තරගයට පෙර තරගාවලියේ තෙවන ස්ථානය සඳහා කොළඹ විශ්ව විද්‍යාලය හා කැළණිය විශ්ව විද්‍යාලය තරග වැදුණු අතර කැළණිය පරාජය කළ කොළඹ විශ්ව විද්‍යාලය තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

සම්පූර්ණ වාර්තාව:පේරා’ පළවාහරිමින් ‘මෝරා’ ශූරතාවය ජයග්‍රහණය කරයි