ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ප්‍රබල කාණ්ඩයකට

280

ආසියානු වොලිබෝල් සංගමය මගින් 19 වන වරටත් සංවිධානය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතා තරගාවලිය මේ මස 24 වන දා සිට අගෝස්තු 1 වැනි දා දක්වා ඉන්දුනීසියාවේ, සුරාභායා නුවර දී පැවැත්වේ.

ලාංකිකයන් ආසියානු වොලිබෝල් වේදිකාවට

ජාත්‍යන්තර වොලිබෝල් කණ්ඩායම් 16ක් සහභාගී වන “ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය” එළඹෙන ජූලි 24 වැනිදා සිට අගෝස්තු 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව…

එම තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පවත්වන අතර, ඒ සඳහා ආසියාවේ ප්‍රබලතම වොලිබෝල් කණ්ඩායම් 16ක් සහභාගී වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ දී C කාණ්ඩය යටතේ තරග වදින අතර, ශ්‍රී ලංකාව සමඟින් දකුණු කොරියාව සහ වියට්නාමයට අමතරව ගියවර ශූරතාවය ජයග්‍රහණය කළ ජපානය C කාණ්ඩය යටතේ තරග කරනු ඇත.

තරගාවලිය සඳහා තරග වදිනු ලබන කණ්ඩායම් කාණ්ඩගත කිරීම සිදු කරන ලද්දේ, තායිලන්තයේ ඩුසිට් ප්‍රින්සස් ශ්‍රීනාකාරින් හෝටලයේ දී ය. ඒ සඳහා ආසියානු වොලිබෝල් ක්‍රීඩා ඉසව් කවුන්සිලයේ සභාපති ආචාර්ය ඉයම් හැන් ජෝ මහතා හා තායිලන්ත වොලිබෝල් සම්මේලනයේ සභාපති සොම්පර්න් චයිබන්ග්යාන්ග් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

“මෙම වර්ෂයේ දී ආසියානු වොලිබෝල් සංගමය මගින් ප්‍රධාන වොලිබෝල් තරගාවලි 8ක් පවත්වනු ලබනවා, මෙමගින් තායිලන්තය තුල ද වොලිබෝල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට විශාල සවියක් ලැබෙනවා. ආසියානු වොලිබෝල් සංගමයේ මූලස්ථානය බැංකොක් නුවර පිහිටා තිබීම නිසා අපිට (තායිලන්තය) ඔවුන්ගේ සමීපතමයන් ලෙස ක්‍රියා කිරීමට හැකි වීම පිළිබඳව මා සතුටට පත්වෙනවා. නුදුරු අනාගතයේ දී ම තායිලන්තයේ වොලිබෝල් ක්‍රීඩාව තවදුරටත් සවිමත් කිරීමට අවශ්‍ය ශක්තිය තව තවත් ලැබෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.” යැයි තායිලන්ත වොලිබෝල් සම්මේලනයේ සභාපති සොම්පර්න් චයිබන්ග්යාන්ග් මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ශූරතාවය දරා සිටින ජපාන කණ්ඩායම දැනට 8 වතාවක් මෙම තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කර තිබෙන අතර, ඊට අමතරව දෙවන හා තෙවන ස්ථානය තෙවතාවක්ම ජයග්‍රහණය කර තිබේ. ඔවුන් දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 14 වන ස්ථානයේ පසුවන අතර, ඔවුන්ට නොදෙවෙනි දකුණු කොරියානු කණ්ඩායම පසුගිය වසරේ තරගාවලියේ අවසන් කළේ 7 වැන්නා වෙමිනි. ඊට අමතරව ඔවුන් රන් පදක්කම් හා රිදී  පදක්කම් 4ක් ජයග්‍රහණය කර ඇති අතර, ලෝකඩ පදක්කම් ද 8 වතාවක් ජයග්‍රහණය කර තිබේ. ඔවුන් ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වල 22 වන ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ 77 වැනි ස්ථානයේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ (2015) තරගාවලිය අවසන් කළේ 13 වන ස්ථානය ජයග්‍රහණය කරමිනි. ඒ රටවල් 16ක් අතරිනි.

  • A කාණ්ඩය – ඉන්දුනීසියාව, කටාර්, කසකස්තානය, සවුදි අරාබිය
  • B කාණ්ඩය – ඉරානය, චීන තායිපේ, පාකිස්තානය, ඉරාකය
  • C කාණ්ඩය – ජපානය, දකුණු කොරියාව, වියට්නාමය, ශ්‍රී ලංකාව
  • D කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, චීනය, තායිලන්තය, හොංකොං

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට