ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ලෝක කුසලානයට එක්වීමේ අවස්ථාව මග හැරෙයි!

388

1996 වසරේ ජගත් එක්දින ලෝක ශූරතාවය ද දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟ ලෝක කුසලානය සඳහා නිතරගයෙන්ම සුදුසුකම් ලබා ගැනීමට නම් මේ දිනවල පැවැත්වෙන ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ දී තරග 2ක් ජය ගැනීම අත්‍යාවශ්‍ය විය. නමුත් මේ දක්වා පැවති එක්දින තරග 4ම අඛණ්ඩව පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට එම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට හැකි නොවීය.

තවත් වසර දෙකකට පසුව ක්‍රිකට් ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය බඳුවූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ එක්සත් රාජධානිය පදනම් කරගෙනයි. ඒ 2019 වසරේ මැයි මස 30 වැනිදා සිට ජූලි මස 15 වැනිදා දක්වායි. සත්කාරක එංගලන්ත කණ්ඩායම හැරුණු විට මෙම තරගාවලියට සහභාගි වන අනෙකුත් ප්‍රධාන රටවල් 7 තෝරා ගැනෙන්නේ මෙම වසරේ සැප්තැම්බර් 30 වැනිදා වන විට ලෝක එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුරූපවයි.

මව්බිමේ දී ලැබූ දරුණුම එක්දින තරග පරාජය ශ්‍රී ලංකාවට!

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ සිව්වැනි තරගයත් ඊයේ (31) ඉන්දියානු කණ්ඩායම ජය ගත්තේ කිසිදු තරගයකින් තොරවයි. ඒ අනුව ජයග්‍රහණයක…

නමුත් ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම තරග 4 – 0ක් ලෙස එක්දින තරගාවලියේ ඉදිරියට පැමිණීමත් සමඟ දැන් ශ්‍රී ලංකාවට සිදුව තිබෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියේ දී සහභාගි වීමට නියමිත තරගවලින් එක් තරගයක් හෝ පරාජය වනතුරු බලා සිටීමටයි. වාසනාවකට හෝ එසේ සිදු වුවහොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග ක්‍රීඩා නොකර සිටීමට අවස්ථාවක් ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඉරිදා පැවති එක්දින තරගය හෝ ජය ගැනීමට සමත් වූවා නම් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 88ක් දක්වා ඉහළ නැගෙන නමුත් ලෝක කුසලානයට ස්වයංක්‍රීයව සුදුසුකම් ලබා ගැනීමට නම් එම ප්‍රසාද ලකුණු ගණන ද ප්‍රමාණවත් වන්නේ නැත.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ශ්‍රී ලංකා පිළ අභිබවා යෑමට මෙන්ම නිශ්චිතවම ප්‍රසාද ලකුණු 88 බැගින් ලබාගෙන දෙරට අතර සුදුසුකම් ලබා ගැනීමේ සටන දශමය සංඛ්‍යා දක්වාම ඉදිරියට ගෙන යාමට ද ඉදිරියේ දී පැවැත්වෙන තරග 6 දී අවස්ථාව හිමිව ඇත. ඔවුන්ට ඉදිරියේ දී අයර්ලන්ත කණ්ඩායම සමඟ සැප්තැම්බර් 13 වැනිදා ජාත්‍යන්තර එක්දින තරගයක් යෙදී ඇති අතර මීට අමතරව එංගලන්ත කණ්ඩායම සමඟ තරග 5කින් සමන්විත එක්දින තරගාවලියක් ද ඔවුන්ට හිමිව තිබේ. ඒ සැප්තැම්බර් මස 19 වැනිදා සිට 29 වැනිදා දක්වායි.

එසේම ශ්‍රී ලංකාව තරග 5 – 0ක් ලෙස එක්දින තරගාවලිය පරාජය වුවහොත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අයර්ලන්ත කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා පිළ අභිබවා යෑමේ අවස්ථාව ඇති අතර එංගලන්තය සමඟ පැවැත්වෙන තරග 5ම හෝ අවම වශයෙන් තරග 4ක් හෝ ජය ගනිමින් එම ස්ථානය රැක ගැනීමට සිදු වේ. ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කෙලින්ම එක්වීමට වරම් නොලැබූ කණ්ඩායම්වලට ද තවත් අමතර අවස්ථාවක් සුදුසුකම් ලැබීමේ වටයේ දී හිමි වනු ඇත.

අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටය 2018 දී පැවැත්වෙන්නේ එක්දින ශ්‍රේණිගත කිරීම්වල සුදුසුකම් ලැබූ රටවල්වලට ආසන්නවම පහළින් ඇති රටවල් හතර අතරයි. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රථම ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් දෙක 2019 වසරේ දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී රටවල් 10කින් සමන්විත කණ්ඩායම් ලැයිස්තුව සම්පූර්ණ කිරීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට